ආදායම් මාර්ගය වඩාත් සුරක්ෂිත කර ගන්න..

ජනවාරි 10, 2022

 

එළඹුණ නව වසර අනෙක් වසරවලට වඩා අපිට වැඩි අභියෝග සංඛ්‍යාවකට මුහුණ දීමට සිදුවන වසරකි. රෝ බිය පමණක් නොව, ආර්ථික අපහසුතා ආදී බොහෝ ගැටලු සමඟින් මේ වසරට පා තැබීමට සිදු වීම එයට හේතුවයි.

 

නව වසරේ නැවුම් වූ සිතුවිලි සමඟින් ඔබේ ජීවිතය ද ඉලක්කයක් කරා යොමු කරන්න. පසුගිය වසරවල සිදු වූ අපහසුතාවන්, බාධා ආදිය ගැන සිතමින් කාලය වැය කිරීම ඔබේ ජීවිතය වැය කිරීමකි. එනිසා තමාගේ ඉලක්කය නැතිනම් අරමුණු ජය ගැනීම සඳහා නිතරම සිත මෙහෙයවන්න.

ඔබේ ඉලක්කය වෙත ගමන් කිරීමේ දී ඇතිවන බාධා ජය ගැනීම සඳහා සිදු කළ යුතු දේවලින් අතනොහැරීම යන ගුණාංගය පිළිබඳ අපි කතා බහ කළෙමු. අද එහි අනෙකුත් ගුණාංග මොනවාදැයි බලමු.

අනෙක් ගුණාංගය වන්නේ වෙනස් වීමයි. මේ වෙනස්වීම පිළිබඳ අතනොහැරීම ගැන කතා කිරීමේ දී යම් දුරකට කතාබහ කළා ඔබට මතක ඇති. ඒ ගැන තවත් කරුණු දැන ගැනීම ඔබේ දියුණුවට වඩාත් වැදගත් වේවි.

සටනකට යන සෙබළුන් අපේක්ෂා කරන්නේ ජයග්‍රහණයයි. නමුත් ඇතැම් වේලාවට ඔවුනට තාවකාලිකව සටන් බිමේදී පසුබැසීමට සිදු වේ. පසුබැසීම දුර්වලකමක් නොවේ. එය යුද උපක්‍රමයකි. එසේ මඳ වේලාවකට හෝ මඳ කාලයකට පසුබසින හමුදාව නැවතත් ඉදිරියට යන්නේ තමාගේ යුද උපක්‍රම වෙනස් කරගනිමිනි.

එලෙසින් අපි ද මේ අවස්ථාවේ දී පවතින තත්ත්වයට මුහුණ දිය යුත්තේ උපක්‍රම උපයෝගී කරගනිමිනි. ඔබ කරන යම් කටයුත්තක් එලෙසින් ම මේ වේලාවේ දී කළ නොහැකි නම් එය මඳක් වෙනස් කරන්න. උදාහරණයක් ලෙස, ඔබ වෙනදා කළ වියහියදම් දැනුත් එලෙසින් ම කිරීමට නොහැකි වේවි. ඒවා අඩු කිරීමට සිදු වේවි.

ඇතැම් විට ඔබ ව්‍යාපාරය කළ ආකාරය වෙනස් කිරීමට ඔබට සිදු වේවි. උදාහරණයක් ලෙස, මේ පවතින තත්ත්වය අනුව පාරිභෝගිකයන් ඔබේ ව්‍යාපාරයෙන් බඩු ගැනීමට නොඑන තත්ත්වයක් පවතී නම් ඔබ වෙනස් විය යුතුය. ඔබේ නිෂ්පාදන පාරිභෝගිකයා අසලට ගෙන යාමට කටයුතු කිරීමෙන් ඔබේ ව්‍යාපාරය දිගින් දිගට ම පවත්වාගෙන යාමට පුළුවන.

මේ අනුව ඔබේ ක්‍රමවේද, උපක්‍රම, ක්‍රමශිල්ප පවතින ක්‍රමයට අනුව වෙනස් කිරීම වැදගත්.

එළඹුණු වසරේ දී අපි යථාර්ථවාදීව කටයුතු කළ යුතුය. දැනට රටේ මෙන්ම ලෝකයේ පවතින තත්ත්තවය හොඳින් වටහා ගෙන එයට අනුකූල වෙන තමාගේ ව්‍යාපාරය මෙන්ම තම සිතුවිලි ද වෙනස් කරගත යුතුය. රටේ පවතින ආර්ථික අර්බුදය, ආහාර අර්බුදය අපිට මුහුණ දීමට සිදුවන ගැටලු ය. මේ ඒ දේවල් පිළිබඳ අනිසි බියක් නොවේ. අපි කැලයක ඇවිදින්නට යන්නේ නම් එම කැලයෙහි සොර සතුරන්, වනසතුන් සිටිය හැකි බව දැන එයට සූදානමින් යන්නා සේ ඉලක්කය වෙත ගමන ද සූදානමකින් යුතුව යා යුතුය. එවිට කිසිදු ගැටලුවකින් තොරව අපිට ඒවාට සූදානම් විය හැකියි.

දැනට ඔබට ඇති ආදායම් මාර්ග සුරක්ෂිත කරගන්න. ඔබ රැකියාවක් කරන අයෙක් නම් යම් හෙයකින් ඔබගේ ආයතන ප්‍රධානීන් මේ අවස්ථාවේ දී ආයතනයට බරක් වන පිරිස ඉවත් කිරීමට තීරණයක් ගතහොත් එම ලැයිස්තුවට අයත් නොවන කෙනකු වීමට ඔබට හැකි විය යුතුය. ඒ සඳහා අනෙක් අය සමඟ සහයෝගයෙන් වැඩ කරමින් වැඩි ඵලදායීතාවක් ආයතනයට ලබා දීමට කටයුතු කළ යුතුය. එම ආයතනය පවතින තත්ත්වයෙන් දියුණුව කරා ගෙන යාමට ඔබට හැකි පමණින් දායක වන්න. ඔබ සතු අලුත් අදහස් ආයතනය වෙනුවෙන් ලබා දෙන්න. මෙසේ ඔබ ආයතනයට අවශ්‍ය සේවකයකු වීමෙන් ඔබේ රැකියා සුරක්ෂිතතාව ඇතිකර ගත හැකියි.

එලෙසින් ඔබ වැඩි දායකත්වයක් ලබා දෙමින් වුවමනාවෙන් වැඩ කිරීමෙන් ආයතනය පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගතහොත් ඔබගේ පමණක් නොව හැම දෙනාගේම රැකියා සුරක්ෂිතතාව ඇති කිරීමට දායක විය හැකියි. අනෙක් අය කුමක් හෝ කරගනීවි යි සිතන්නේ නැතිව එකමුතුව කටයුතු කළ යුතුය. වැද්දාගේ උගුලෙන් ගැලවුණ වටුකුරුලු රැළ සේ සමඟියෙන් එක්ව කටයුතු කරන්න. එසේ කිරීමෙන් හැමදෙනාගේම රැකියා රැක ගැනීමට පුළුවන්.

එමෙන්ම ඔබ ව්‍යාපාරයක් කරන අයෙක් නම් කුමක් හෝ පාරිභෝගිකයාට දී කීයක් හෝ ඉපයීමට යාම සුදුසු නැත. මේ අවස්ථාවේදී පාරිභෝගිකයා පවා අමාරුවෙන් ජීවත් වන බැවින් ඔබ විසින් පාරිභෝගිකයා ද රැකගෙන සාධාරණ ලෙස ව්‍යාපාරය කළ යුතුය. මාළුවාට පවතින්නට ජලය අවශ්‍ය වන්නා සේ ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නම් පාරිභෝගිකයන් ද සිටිය යුතුය.

එමෙන්ම ඔබ රැකියාවක් නොකරන ගෘහණියක් නම්, මවුපියන්ගෙන් යැපෙන දරුවකු නම් මේ අවස්ථාවේ දී රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන තම සැමියාට, මවුපියන්ට උදවු කළ යුතුයි. මන්ද මේ අවස්ථාවේ දී නිවෙසට ලැබෙන ආදායම් මාර්ගය නැතිව ගියහොත් එය ඉතාමත් අසීරු අවස්ථාවක් ඔබේ ජීවිතයට උදා කරන නිසයි. එමනිසා යමක් කමක් තේරෙන වයසේ සිටින හැම අයෙකු ම මේ අවස්ථාවේ දී කළ යුත්තේ නිවෙසට ආදායම් ලැබෙන ක්‍රම හැකි හැම විටෙකම සුරක්ෂිත කිරීමයි. නිවෙසේ ආදායම් උපයන්නාට ඒ වෙනුවෙන් හැකි තරම් උපකාර කළ යුතුයි. පවතින අර්බුදයට මුහුණ දීමට අපි සූදානම් විය යුතුයි.

අප මෙලෙසින් හෝ ජීවත් වන්නේ යම් යම් ආදායම් මාර්ග අපට ඇති නිසයි. එම ආදායම් මාර්ග රැකගෙන දියුණු කරගැනීමට ඔබ උනන්දු වීම වැදගත් ය.

මේ අසීරු කාලයේ දී අප ඒ වෙනුවෙන් ලක ලැහැස්ති වන ආකාරය, අපේ දියුණුවට ඉලක්ක සාර්ථකව ජය ගැනීමට හේතුවේ. එම නිසා හැකි තරම් සාධාරණ ලෙස කටයුතු කළ යුතු අතර මනස ශක්තිමත්ව බලාපොරොත්තු සහගතව තබා ගත යුතුය.

 

 

උපදෙස් - ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු