මනසට වදදෙන පීඩාකාරී සිතිවිලිවලින් මිදෙන්න..

ඔබේ සමීපතමයාට උදව් කරන්න...
ඔක්තෝබර් 17, 2022

 

පීඩනය නිසා උපරිමයෙන් පීඩාවිඳින පුද්ගලයාට දැනෙන්නේ මුළු ලෝකයම එක පැත්තක් ගෙන තමාව පමණක් තනි කර ඇත යන හැඟීමකි. එවිට සමාජය සහ මිනිසුන්ව ඔහුට පෙනෙන්නේ තමා ගිලගන්නට පැමිණ හිස වටා භ්‍රමණය වන යක්ෂයන් සේය.

 

වත්මන් සමාජ රටාවත් සමඟ මානසික පීඩනය හා ඒ වටා ඇතිවෙන්නා වූ සිදුවීම් සමුදාය වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාවක් වෙමින් පවතී.

 

මානසික පීඩනය පුද්ගලයකුට ඇතිවෙන්නා වූ ස්වාභාවික හැඟීමකි. එය ඕනෑම පුද්ගලයකුට ඕනෑම අවස්ථාවක ඕනෑම ප්‍රමාණයකින් ඇතිවිය හැකියි. එහෙත් මෙහි භයානකකම වන්නේ එක් එක් පුද්ගලයා විසින් තමාගේ මනසට දැනෙන පීඩනය කළමනාකරණය කරගන්නට, දරාගෙන සිටින්නට දක්වන දක්ෂතාව එකිනෙකාට වෙනස් වන හෙයිනි.

 

දරා ගැනීම විවිධයි

 

සමාජයේ සිටින සියල්ලෝම එක සමාන දක්ෂයන් නොවේ. ඔවුන් දරාගන්නා ආකාරයන් ද ඔවුන් ජීවත්වෙන පරිසරය ද ඔවුන්ගේ ජීවන රටාවන් සහ එදිනෙදා මුහුණ දෙන්නට සිදුවන බාධක හැලහැප්පීම් ද එකිනෙකාට වෙනස්ය. එහෙයින් ඔවුන්ට මානසික පීඩනය ඇති කරවන්නට සමත් වන ගැටලුව වටා ඇති පරිසරය ද එකිනෙකට වෙනස් වනු ඇත. එවිට ඔවුන්ගේ කළමනාකරණය සහ දරාගැනීමේ හැකියාව අනුව තම මානසික පීඩනය වටා ගෙතුණු ජීවිත කතාව කෙනකු සෘණාත්මකව ද කෙනකු ධනාත්මකව ද විසඳා ගැනීමට පෙලඹෙනු ඇත. ඒ සියල්ල එසේ නම් සමාජය විසින් මෙවැනි ගැටලුවලට මුහුණ දෙන සියලු පුද්ගලයන් එකම රාමුවකට දමා නිරීක්ෂණය කරන්නාගේ මතයන්ට අනුව නිගමනයක් ලබාදීමට කටයුතු කිරීම කොතරම් සාධාරණ ද...?

 

සමච්චල් එපා

 

මානසික පීඩනය රුදුරු යක්ෂයකු වැනිය. ඒ වටා සැරිසරන්නේ අප විසින් ඇතිකර ගන්නා සිතුවිලිවලට වඩා ස්වාභාවයෙන්ම ඇතිවන සිතුවිලි හෙයින් දමනය කිරීම ඉතාමත් අපහසුය. පිටතින් සිට බලන කෙනකුට අනිකාගේ මානසික පීඩනය විහිළුවක් විය හැකියි. එසේ නැතිනම් එය එතරම් ප්‍රශ්නයක් නොවන බව පවසන්නට හැකියි. එසේ නැතිනම් පීඩිතයාව සමච්චලයට ලක් කරන්නට පෙලඹෙන්නට හැකිය. නමුත් අදාළ පුද්ගලයාගේ මානසික පීඩනය තවත් දෙගුණ තෙගුණ කරන්නට බාහිර පුද්ගලයන්ගේ එම සිතුවිලි හේතුවක් විය හැකිය.

මානසික පීඩනය නම් වූ මනස ගිලගන්නට උපන් යක්ෂයා ස්වරූප කීපයකින් පැමිණිය හැකියි. එහෙයින් භයානකම තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ මනසට වදදෙන ගැටලුවකින්, ගැටලු කිහිපයකින් හෝ ගැටලු රාශියකින් පීඩා විඳින පුද්ගලයකුගේ ජීවිතය තුළ හොල්මන් කරන්නා වූ සිතුවිලි පාලනයෙන් තොර වුවහොත් ඔවුන්ට අත්විය හැකි ඉරණමයි. දිගින් දිගටම මනසට ලැබෙන්නා වූ පීඩනය හේතුවෙන් පුද්ගලයා තුළ විවිධ වූ සිතිවිලි හටගන්නට හැකියි. ඒවා සිතාමතා ඇති කර ගන්නා සිතිවිලි නොව ස්වාභාවයෙන්ම ලැබෙන්නා වූ හැඟීම්ය. මනස තුළ කැරකෙන යක්ෂයාගේ ස්වරූපයන් ලෙසින් මානසික පීඩනය, මානසික අවපීඩනය, මානසික ආතතිය වැනි තත්ත්වයන් දැක්විය හැකි අතර එවැනි තත්ත්වයන් ක්‍රමයෙන් විශාදය වැනි තත්ත්වයන් බවට පරිවර්තනය විය හැකියි. අදාළ පුද්ගලයාට දැනෙන හැඟීම් සහ සිතුවිලි වෙනස් ආකාරයකින් අමුතුම ස්වරූපයකින් දැනෙන්නට පටන් ගැනීම සිදුවිය හැකියි.

 

පිට කරන ආකාරය වෙනස්

පීඩනය පුපුරා ගිය කල මනස දුර්වල වනු ඇත. දුර්වල මනසත් සමඟින් ශක්තිමත් බාහිර ලෝකය සමඟ සටන් කිරීමට සිදුවන පීඩිතයාට අන් අයට වඩා වෙනස්ම ආකාරයේ සිතිවිලි පහළ වෙන්නට ද හැඟීම් ආත්මයම වෙලා ගන්නට ද පටන් ගනී. තමාගේ ජීවිතය පිළිබඳව තමාට නිතරම හිස් බවක් දැනෙන්නට පටන් ගනී. පුද්ගල ඇසුර අප්‍රිය කරන්නට පටන් ගනී. හුදෙකලාව නිස්කලංක බව තමාට ඇති එකම සැනසීම බව සිතෙයි. විටෙක කෑ ගසා හඬන්නට ද විටෙක මහා හයියෙන් සංගීත රාවයන්, ගීත රස විඳින්න ද සිතෙයි. පීඩනය පිට කළ යුතු නිසාම අන් අයට සිනහා පහළ වීමට හේතුවක් නොවන අවස්ථාවලදී ද කොක් හඬලා හෝ පමණට වඩා සිනාසීමට යුහුසුලු වෙයි. විටෙක සිතට නැගෙන කේන්තිය ඔහේ දියකර හරින්නට ද විටෙක පිටකළ හැකි උපරිමයෙන් පිට කරන්නට ද පටන් ගනී. කිසිදු හේතුවක් නොමැතිවම තමාට තමා පිළිබඳ හෝ අන් අය පිළිබඳ කේන්තියක් පහළ වෙයි. වටපිට ඇති සියල්ල පොළොවේ ගසා කඩා බිඳ දමන්නට ද සිතෙයි. මනස තුළ සැරිසරන ආවේගකාරී, පීඩාකාරී, ආත්මවිශ්වාසය බිඳ වැටුණු, ඉච්ඡාභංගත්වයට පත්වූ, කලකිරීම් සහගත සහ කැළඹිලි සහගත සිතිවිලි නිසාම නිදි නොමැති රාත්‍රීන් රාශියක් ගෙවා දමන්නට ද සිදුවිය හැකියි.

 

මෙවන් තත්ත්වයන් දිගින් දිගටම දැනෙන විට මානසික පීඩනය නිසා උපරිමයෙන් පීඩාවිඳින පුද්ගලයාට දැනෙන්නේ මුළු ලෝකයම එක පැත්තක් ගෙන තමාව පමණක් තනි කර ඇත යන හැඟීමකි. එවිට සමාජය සහ මිනිසුන්ව ඔහුට පෙනෙන්නේ තමා ගිලගන්නට පැමිණ හිස වටා භ්‍රමණය වන යක්ෂයන් සේය. මෙවන් අවස්ථාවන්වල මානසික ඒකාග්‍රතාවය ඇත්තේ සෘණාත්මකතාවයේ පතුලේමය. විසිරී ගිය සිතිවිලිවල බල පැවැත්ම අනුව හිස දෙදරා යන්නට ආසන්න යැයි දැනේ. මහාමේරු පර්වතය හිස මත පැටෙව්වා මෙන් දැනෙන්නට පටන් ගන්නා හිසේ බර ගතිය ගෙනෙන්නේ තවත් අමතර වේදනාවකි. මේ සියලු හැඟීම් තමා හිතාමතා උපදවන සිතිවිලි නොව තමාටවත් පාලනය කළ නොහැකි අයුරින් මනසට ආරූඪ වන සිතුවිලි සහ වේදනාවන්ය.

 

මේ සියලු සිතිවිලි සමඟ සටන් කරන මනසට දැනෙන්නට පටන්ගන්නේ පුදුමාකාර වෙහෙසකි. එහෙයින් මනස සොයන්නේ කෙටි කලකට හෝ විවේකයකි. බාහිර ලෝකයෙන් මිදී අඳුරු ලොවක නිස්කලංකව සිටින්නට හැකි පරිසරයකි. එහෙයින් එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන පුද්ගලයන්ට කිසිවක් නොදැනෙන, නොපෙනෙන, නොඇසෙන ලෙස සිහිමූර්ඡා වී සිටින්නට ඇවැසි යැයි සිතුවිලි පහළ විය හැකිය.

 

 

අවසානය

 

මේ සියල්ල අතරින් කෙනකුට මාරයාගේ ලෝකයට ප්‍රවිෂ්ට වීමෙන් සියලු මානසික ප්‍රශ්නයන් අහවර වී මානසික සැනසීම උදා කරගන්නට හැකිවේ යැයි සිතෙන්නට ද පුළුවනි. අන් සියලු සිතිවිලි පසු කරමින් මෙවැනි දරුණු සිතිවිල්ලක් ළඟ නතර වෙන පුද්ගලයා එය ක්‍රියාත්මක කරන්නට ද පසුබට නොවනු ඇත. තමා ගැන විමසීමට සෙවීමට බැලීමට කිසිවකු හෝ නොමැති කළ තමා විසින්ම කෙනකුගේ උපකාරයක් නොපතන කල දරාගැනීම ඉක්මවා යන ඔවුන් එක්තරා මොහොතකදී දුර්ලභව ලැබෙන මිනිස් ජීවිතයට සමු දෙන්නට සිත තුළ පහළ වූ සිතුවිල්ල කිසිදු විමසීමකින් තොරවම ක්‍රියාත්මක කරන්නට පෙලඹෙයි. ඒ ඇතැමකුගේ මානසික පීඩනයේ අවසාන ප්‍රතිඵලයයි.

 

අපේ වගකීම

 

සමාජය ඇහැරෙන්නේ ඉන්පසුවය. මෙතෙක් කල් නිහඬවම ප්‍රශ්න සමඟ සටන් කරමින් සිටි පුද්ගලයා ඔහුගේ අවසාන ප්‍රතිඵලය ක්‍රියාත්මක කළ විට මෙතෙක් ඔහුව අඳුරු ලොවක තනි වෙන්නට හැර බලා සිටි සමාජය ගතු කියන්නට පටන් ගනියි. එහි හරි වැරැද්ද සොයන්නට යයි. දෝෂාරෝපණය කරයි. ඇතැම් විටෙකදී මරණයට පත් පුද්ගලයාගේ චරිතය විකෘති කරයි. මීට අමතරව තව බොහෝ දේ සිදු කරයි. නමුත් ඔහුට මඟ හැරුණු, සමාජයට අතහැරුණු ඔහුගේ ජීවිතය ඔහු සදහටම අතැරගොස් අවසානය. එහෙයින් සමස්ත සමාජයක් ලෙස, තනි පුද්ගලයකු ලෙස දෝෂාරෝපණය කරන්නට, මැසිවිලි නගන්නට, චෝදනා කරන්නට අමතක නොකරන අපි සමාජයක් වශයෙන් තනි පුද්ගලයකු වශයෙන් අපගේ වගකීම පැහැරහැර තිබෙනවා නොවේද ..?

 

මේ සියලු පීඩනයන් කෙසේ හෝ තනිව දරාගෙන මරණයෙන් සැනසීම ලබා නොගෙන උපදින සිතිවිලි කෙසේ හෝ කළමනාකරණය කරගනිමින් ජීවිතයේ තමා තබාගත් අරමුණ කෙරෙහි ළඟා වන්නට තරම් ඇතැම් පුද්ගලයන් දක්ෂ වෙයි. ගලේ ගැසුවත් නොමැරෙන පුද්ගලයන් බවට දිනක පත්වන්නේ ද ඔවුන්ය. පීඩනයන් සමඟ ගැටෙමින් කෙසේ හෝ තම අරමුණ කරා ළඟා වන්නට අප්‍රතිහත ධෛර්යයකින් යුතුව ජීවන සටන ගෙන යයි. ඔවුන් අවසානයේ ඕනෑම වෙලාවක ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ඕනෑම බාධාවක් ජය ගත හැකි ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් අත්හැරිය හැකි අයයි. කිසිදු දෙයක් පිළිබඳව ඕනෑවට වඩා නොසිතන නොඇලෙන අහිමි වුණ සහ අහිමි වෙන සියල්ලටම සතුටින් සමුදිය හැකි සියලු සිතිවිලි තරමක් දුරට හෝ පාලනය කළ හැකි අපූර්වත්වයෙන් යුතු ශක්තිවන්තයන්ය. මාරයා සිතට දුන් සිතිවිලි පසෙකලා මනසට දැනෙන පීඩනයන් පන්නරයක් කරගන්නා එවැනි පුද්ගලයන් දිනෙක අත්දැකීම්වලින් සැදුම්ලත් නිර්මාණශීලී, ශක්තිමත්, ධෛර්යවන්ත මිනිසකු බවට පත්වේ.

 

සමාජය විෂමය. පරාර්ථකාමීත්වයට වඩා සමාජය තුළ විසිරී ඇත්තේ ආත්මාර්ථකාමීත්වයයි. එහෙයින් අතීතයට වඩා වර්තමානය තුළින් මානව සම්බන්ධතා ගිලිහී යමින් පවතී. අනාගතය වන විට එය පොතක පාඩමක් ලෙසට පමණක්ම සීමා වී ප්‍රායෝගිකව අත් විඳින්නට නොලැබීමේ හැකියාවක් පැවතීමට වැඩි ප්‍රවණතාවයක් ඇත. නමුත් අපිට වර්තමානය වෙනස් කිරීමෙන් ජීවිතයක අනාගතය සුරක්ෂිත කරන්නට හැකියි. මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයන්ගේ වෙනස් හැසිරීම් රටා තේරුම් ගන්නට, එවැනි පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් වෙන්නට, ඔවුන් සමඟ සුහදශීලී කතාබහක නිරත වෙන්නට, අපිට අපගේ සමීපතයා ගැන අවධානයෙන් සිටින්නට තරම් කරුණික වන්න. එය පසුගිය කාල වකවානුව තුළ අසන්නට දකින්නට ලැබුණ මානසික පීඩනය හේතු කොට ගෙන සිදු වූ සිදුවීම් සියල්ල නැවත නැවත සිදු නොවෙන්නට හේතුවක් වනවා නොඅනුමානය.