වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
අලුත් රස්සාව

චිරි චිරි වැස්ස ක්‍රමයෙන් වැඩි වන්නට විය. හිරිකටු ඔයේ ඝෝෂාව ද එන්න එන්නම වැඩි වන්නට වූයේ රාත්‍රිය පුරා ඇදහැලුණු අනෝරා වැස්සෙන් බෙලිහුල්ඔය දෙගොඩ තලා යන අයුරිනි. ඉස්තෝප්පුවට ආ ස්වර්ණලතා වැල් කැඩුණු පුටුව මත හිඳ බලා බලාගත්වනම උන්නාය. තැන් තැන්හි තැබූ ටින් බෙලෙක්වලට ටංටං... ගගා තවමත් වතුර වෑස්සෙයි. වහල පුරා ටකරන් සිදුරු අතරින් අහස පෙනෙයි. රෑ පුරා වැටුණු අනෝරා වැස්සට ගේ පුරා ඇති ටින් කබල්හි එක් වුණු ජලය පෑල දොරින් පිළිකන්නට විසි කළ ස්වර්ණලතා වැල් පුටුවෙහි හරිබරි ගැහී නළල රැලි ගන්වමින් බලාගත්වනම බලා සිටියාය. දියසේන කොන්ත්‍රාත් මුදලාලි ළඟ වැඩ කළ ජිනදාස ඔත්පලව අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගතව ඇති බව ඇය කල්පනා කළාය. ටවුමේ ඉදිවුණු මහල් නිවාස කොන්ත්‍රාත්තුවේ ප්‍රධාන මේසන් බාස්ව සිටියදී පලංචියෙන් ඇද වැටී සිදුවුණු අලකලංචිය ස්වර්ණලතාගේ පවුලට ගෙනා විපත සුළුපටු නොවේ.
පහේ කඩඉමට මුහුණ දුන් ස්වර්ණලතාගේ එකම පුතු, ධනංජය ඉන් සමත් වීමේ සතුට අතිමහත් වුවද එය සිය පවුලට ගෙනාවේ සිහින් වේදනාවකි. සිදාදියේ මහ ඉස්කෝලෙට පුතා ඇතුළත් කර අතපය දිගහැර වියදම් කරන්නට හයියහත්තිය නොමැතිකමෙන් ජිනදාසත්, ස්වර්ණලතාත් කල්පනා කළේ දරුවා ගමේ පාසලටම යවන්නටය. කුඩා වියේ සිටම ධනංජය පොතේපතේ වැඩට මෙන්ම අනෙකුත් කලා කුසලතා නිර්මාණ හැකියාවන්ගෙන් ද ඉදිරියෙන් සිටි දරුවෙකි. ලකුණු එකසිය අනූවක්ම ලබා මහ ඉහළින් සමත් වුණු ධනංජයට කොළඹ රෝයල් කොලීජියට යාමේ ආශාව තිබුණද “අනේ පුතේ මේ අතේ දුරින් ඉන්න එක මට සැපක්. අපිට ඕවයෙ නිතර දුවන්න පනින්න කොහෙන්ද සල්ලි? මගේ පුතා ගමේ ඉස්කෝලෙටම යමු." යනුවෙන් ජිනදාස කියද්දී ස්වර්ණලතා එය අනුමත කරමින් හිස සැලුවත් ඇගේ හදවත පුපුරු ගසමින් තිබුණි. පියා එසේ කියද්දී පුතාගේ මූණ මැලවුණු හැටි ස්වර්ණලතා නොදැක්කා සේ සිටියාය.
ස්වර්ණලතාගේ චිත්ත රාජ්‍යයෙත් තම එකම පුතු කොළඹ උසස් විදුහලක අධ්‍යාපන ලැබීමේ සිහිනය පැලපැදියම්ව තිබුණි. සැමියාගේ ඔත්පලවීමත් සමඟම ඒ සිහිනය බොඳවීම ගැන ඇය සිටියේ ඉමහත් දුකකිනි. රාජකුමාරවරුන් යනෙන හොඳම කොලීජියකට ඇතුළත් කිරීමේ සිහිනයට පදනම දමමින් පහේ කඩඉම දිග්විජය කරන්නට ඇප කැප වූයේ වංශවත් රදල පවුලක් නොවුණද කෙසේ හෝ දරුවා උසස් විදුහලට ඇතුළත් කිරීමේ දැඩි අධිෂ්ඨානයකිනි. පලංචියෙන් වැටුණු ජිනදාස කොළඹ මහ රෝහලේ වසරකුත්, ඉන් නික්ම නිවෙසට පැමිණ වසරකුත් ගතව ඇතත් එය අද ඊයේ මෙනි. තවමත් කිසිවෙකුගේ ආධාරයෙන් මිස තනිව කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක පසුවේ. ඒ වන විටත් සැමියා සතු සියලු වගකීම් ඇය වෙත පැවරිණි. සියලු බර සියතට ගන්නට සිදුවූ ස්වර්ණලතාට ඉදිරිය පැහැදිලි අරමුණක් හෝ සැලැස්මක් නොවිණි. මෙකී හේතු හමුවේ දරුවා වෙනුවෙන් මැවූ සිහින රාජ්‍යය ටිකින් ටික දියාරුවෙමින් පැවතිණි.
මුලින් මුලින් දියසේන මුදලාලි ජිනදාස බලන්නට පැමිණීම ස්වර්ණලතාට වදයක් බව ජිනදාසට හැඟී ගොස් තිබුණි. දියසේනගේ තරම දැන සිටි ජිනදාස ස්වර්ණලතාට කීවේ “ ඕකා මහා වලත්තයා. අපේ අසරණකමෙන් ප්‍රයෝජන ගන්නයි මාන බලන්නේ. ඌට ඇහැ ගැහෙන්න නොගියට කමක් නෑ. " යනුවෙනි. ඒ දියසේනගේ සටකපටකම් හා නූල්සූත්තර පැටිකිරියම හොඳින් දන්නා බැවිනි. ගමේ රටේ මෙන්ම වැඩපොළේ ද මුදලාලිගේ වලත්තකම් ගැන කතා වෙන බව ස්වර්ණලතාට ජිනදාස නොයෙක්වර පවසා ඇත. ජිනදාසගේ සුවදුක් විචාරීමට සතියට වරක් දෙකක් එන දිනසේන මුදලාලි පැයක් හමාරක් ගත කොට රට තොට නොයෙක් දේ ගැන කියමින් මොනර කොළයක් ස්ටූලය මත තබා යයි. ඒ කෙරෙහි එතරම් කැමැත්තක් මනාපයක් නොදැක්වූ ජිනදාස “මගේ ජීවිතයට උඹගෙ තක්සේරුව මෙච්චරදැයි” අසන්නාක් මෙන් මුදලාලි දෙස බලනු ස්වර්ණලතාට ඇහැ ගැටුණු වාර අනන්තය.
වැස්ස තුරල් වෙමින් අවුරැල්ලක පහස ගෙතුළට එත්ම වැල්පුටුවේ හුන් ස්වර්ණලතා එක්වරම තිගැස්සී නැඟිටුණේ තමන් ළිප මත තැබූ බත් මුට්ටියේ රොස් ගඳ නහය පසාරු කරන්නට වීමත් සමඟය. “ඒකත් කාලා හමාරයිද මන්දායි” සිතමින්ම කුස්සියට ගිය ස්වර්ණලතා අඟුරු මතින් බත් හැළිය බිම තැබුවාය. ගෙයි හරියටම ඉතිරිව තිබුණු මඤ්ඤොක්කා අලය වෑංජනයක් ලෙස සකසා, කතුරු මුරුංගා කොළ මැල්ලුමක් මලවා තිබුණත් කොල්ලා ඇවිත් “අම්මේ කරවල කෑල්ලක්වත් නැද්ද” යනුවෙන් අහන වග සිහි විය. ගෙයි ඇති සියල්ල අවසන්ව ඇති හෙයින් කළ යුතු යමක් ඉතිරිව නැති බව ඇය කල්පනා කළාය. රොස්වුණු බතේ උඩින් උඩින් ගෙන ජිනදාසට බෙදූ බත් පිඟාන ස්වාමියා අත තැබුවාය. ඒ අසලින්ම වාඩිගත් ස්වර්ණලතාට බඩගිනි නොදැනුණත් සිහියට ආවේ ජිනදාසගේ ආවේශ වීමෙන් පසු ඊයේ හවස ජිනදාස හා දියසේන අතර ඇති වූ මහා ගාලගෝට්ටිය පිළිබඳය. සුපුරුදු ලෙසින් තේ කෝප්පයක් මුදලාලිට පිළිගැන්වීමේදී ඇය වෙත හෙළුෑ බැල්ම ජිනදාස නොරිස්සීය. වෙනදාට කනප්පුව මත තබන මොනර කොළය ගුණිත වී රන්වන් පැහැති පන්දහසේ නෝට්ටුවක් සිය බිරිය අත තබමින් ඇය වෙත හෙළූ මනමාල බැල්මත්, සිය බිරියගේ අත මිරිකාලනු දුටු ජිනදාසට ඉහිලුම් නැති යක්‍ෂාවේශයක් ඇති විය. ඉවසීමේ රතුකට්ට පැන්න ජිනදාස කෝපයෙන් වෙව්ලයි. මූණ රතුපැහැ ගැන්වී ඩා බිඳු වැගිරෙයි. කෝපාග්නියෙන් දැවුණු ජිනදාස “මේ දියසේනයෝ මං තොට හොඳින් කියන්නේ. මෙච්චර කල් ඉවසුවා. බැහැපන් පරයා දොට්ට මගෙන් මැරුම් නොකා. උඹට දෙන්න ගෑනු මෙහේ නෑ.” කියත්ම හෙණ ගහන්නාක් මෙන් ඇඳ විට්ටමෙහි පසෙක වූ විදුලිපන්දම නතර වූයේ දිනසේනගේ හිස මතය. විසි වී ගිය විදුලි පන්දමත් ගිලිහිණු පීරිසි කෝප්පයේ සුන්බුන් ගේ පුරා විසිරී යද්දී දියසේනගේ ඔළුව පැළී ලේ ගලා ගියේ ඇසිල්ලක් තරම් කෙටි කාලයකදීය. ස්වර්ණලතාගේ පාදයක ඇඟිලි කිහිපයක් ද පීරිසි කටුවලට සීරි තුවාල වී තිබුණි. ස්වර්ණලතා ද අනපේක්ෂිතව වූ මේ සිදු වීමෙන් තුෂ්නිම්භූතව ගල් ගැසී සිටියාය.
“මනුස්සකමට ගෙට කතා කරලා තේ එකක් දුන්නට තොපිට දෙන්න වනචර ගෑනු අපි ළඟ නෑ. අපේ ජීවිතවලට ඇඟිලි නොගහා පව් නොදී මෙතනින් තොලොංචිවෙලා පල. අපි ගැන අපි බලා ගන්නම්. මගේ දෑහැට නොපෙනී මැරුම් නොකා පල මෙතැනින් දොට්ට." කිවුවේ වෙව්ලමිණි.
"ජිනේ.. කාලා ඉවරද?"
" හ්ම්ම් ඇයි ඔයාට බඩගිනි නැද්ද?"
" මගේ හිතට හරි නෑ ඊයේ සිද්ධිය"
"ඔයා ඒ ගැන හිතන්න එපා. මට ඔයා විශ්වාසයි. මාරාවේශය ආවේ අරූ ගැන. මට නැඟිට ගන්න පුළුවන් වුණානම් මං ඌව මරනවා."
" මට එපා වෙලා තියෙන්නෙ ජිනේ. මිනිස්සු හිතන්නේ තමන්ගේ මිනිහට බැරි වුණාම ගෑනි උන්ගේ අඹුකමට යන්න ඕනෑ කියලා. ඩිංගිරිගේ කඩේටත් බර ගාණක් ණය. ඒ මිනිහත් මහා කුපාඩියා. ඔය ඊයෙත් කට්ටිය එහාමෙහා වෙනකම් ඉඳලා කීවේ ණය අමතක කරලා දාන්න පුළුවන් ක්‍රමවේදත් තියෙනවා කියලා. නොදකින් විතරක්. නොසන්ඩාල වල් පාහරයෝ.”
“ඒක නෙමෙයි ජිනේ. පුතා එන මාසේ ඉස්කෝලේ ට්‍රිප් එක යන්නම ඕනෑලු. ඉස්කෝලෙ නෝනගේ බබා හම්බුවෙන්න ගත්ත නිවාඩුව ඉවරයි කියල ළමයා බලාගන්න එන්න පුළුවන්ද කියලා ඇහුවා. ”
“ඉතින්..”
“ඔයා දැන් මෙතැන ඉන්නේ පොඩි ළමයෙක් වගේනේ. දාලා යන්නේ කොහොමද ඉතින්. නැඟිට ගන්නවත් බැරුව මං එන්න බෑ කිවුවා." ස්වර්ණලතාගේ කතා පෙට්ටිය නොනවත්වා කියාගෙන ගියාය. බඩගින්නටත් වඩා හිතේ ගින්න උච්චව තිබුණු ස්වර්ණලතා රෙදි තුන හතරකින් වසා තිබුණු පරණ මැෂිම් කබල දූවිලි ගසාබසා පිස දමන්නට වූවාය. පුතාගේ පුංචි පුංචි සූත්තර වැඩවලට ගන්නා ඔයිල් කෑන් එක පුතාගෙන් බේරගන්න බැරිව තැන තැන හැංගුවත් එය සොයාගන්නට ඇයටම ඊට වැඩිවෙලාවක් ගත කරන්නට සිදුවිය. පැත්තකට කර තිබුණු රෙදි මහන මැෂිම මකුළු දැල් කඩා දූවිලි පිස දමමින් හරි බරි ගැසෙනු ජිනදාසට පෙනේ.
හීනියට වූ වැහි පොද නැවතත් පටන් ගැනුණේ තවත් අනෝරා වැස්සකට සැරසෙන්නට දැයි ස්වර්ණලතාට බියක් දැනුණි. නිදාගන්නට වත් බැරි සේ ගේ පුරාම අදත් තෙමෙන්නට වුවහොත් රෑ පුරා ඇහැරී සිටින්නට වනු ඇත. නළා හඬ නංවමින් දෙපැත්තට බර වෙමින් ත්‍රීවීලරයක් වෙට්ටු දමමින් ඈතින් මතුවනු පෙනුණි. ඇතුළේ මෙන්ම පිටත වහලෙහිද බරටම පැටවූ පොට්ටනි ගොඩකි. රිය ළං ළංව පෙනෙත්ම ස්වර්ණලතාගේ දෑස් ප්‍රබෝධයෙන් දීප්ත විය. මුවඟට සිනාවක් එක් විය. ස්වර්ණලතාගේ බලාපොරොත්තුවේ සේයා දැල්වුණි. ඇගේ මේ වෙනස ප්‍රීතිය ද ජිනදාසට කුකුසකි. තුන්රිය ගේ දොරකඩ තිරිංග තද කරමින් නතර විය. ජිනදාස දෑස් අයා බලා සිටියි. ස්වර්ණලතාගේ යටි සිතේ සතුට මතුපිටින් ඉතිරෙයි.
"ආ එන්න රොබට් මල්ලි" කියමින් ඇය රොබට්ව පිළිගත්තාය.
" ඔන්න ලතා අක්කේ මං කිවුව විදිහටම වැඩේ කළා."
ජිනදාසට ඇත්තේ කුකුසකි.
" මොනවද මල්ලියේ මේ පොට්ටනි. " මෙතෙක් වෙලා මේ ගැන හාංකවිසියක්වත් නොදත් ජිනදාස විමසීය.
“ඇයි ජිනේ අයිය දන්නේ නැද්ද අක්කා පොඩි වැඩක් පටන් ගන්නයි යන්නේ."
මෙතෙක් කුතුහලයෙන් සිටි ජිනදාසව තවදුරටත් කේන්ති ගැන්වීම නොකළ යුතු යැයි කල්පනා කළ ඇය හඬ අවදි කළාය.
“ ඔව් ජිනේ මං රොබට්ට කිවුව ගාමන්ට් එකේ කැපිලා අහක දාන රෙදි කෑලි මැනේජර්ට කියලා අඩු ගාණේ ගෙනත් දෙන්න කියලා . මැෂිමත් ගසා බසා දාලා රැල්බුරුල් ඇරලා ගත්තේ පාපිසි ටිකක්වත් මහලා ටවුමේ කඩවලට දාන්න හිතාගෙන. පුතාගේ ඉස්කෝලේ වැඩයි, ජිනේගෙ වැඩයි, මට ගෙදර ඉඳන්ම බැලිය හැකිනේ. මං ජිනේට කිවුවේ නෑ පුදුම කරවන්න හිතාගෙන. " එසේ කියමින් ස්වර්ණලතා කුස්සියට ගියේ තේ කෝප්පයක් රැගෙන එන අටියෙනි. ජිනදාසගේ මුහුණේ හීන් සිනාවක් ඇඳී යනු රොබට් බලා සිටියේද සතුටිනි. ඇය විසින් ගෙන ආ තේ කෝප්පය උගුරට දෙකට බී ගත් රොබට් " ඕං එහෙනම් දෙපළට ජයෙන් ජය. මං යන්න ඕනේ. මේ රස්සාවට පරක්කු වෙලා බෑනේ ” කියමින් නළාව නාද කරමින් පිම්මේ පිම්බේය.
ජිනේ සිය බිරිය කෙරෙහි ඇතිවූ සෙනෙහස් හැඟුමෙන් බලා සිටියේය. අතෙහි වූ කහට කෝප්පය අත ඇතිව තමා දෙස බලා සිටින ඇය කෙරෙහි අනුකම්පාවක් ඇති විය. දෙපයින් නැඟී සිටීමට තමන්ට හැකි වූයේ නම් මේ බර තනිව දරන්නට ඇයට සිදු නොවනු ඇතැයි ස්වර්ණලතා කෙරෙහි ඇතිවූ අනුපමේය සෙනෙහසින් ඈ දෙස බලා සිටියේය. සිය බිරියගේ නෙතු අග රැඳුණු කඳුළක් ජිනදාස සිය ඇඟිලි තුඩගින් පිසදා සිය ළයට තුරුලු කරගත්තේ සියැසින් වැටුණු කඳුළට රිසිසේ වැටෙන්නට ඉඩහරිමිනි.
නිමි.
සමන්තා ප්‍රින්සි ලාලනී