වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
"මට ගෙදර යන්න පරක්කු වෙන්නැද්ද?"

සුජීව සිරිමෙවන් තරුණීට අරන් එන අලුත්ම නවකතාව- 3 කොටස
ආර්පිකෝ වෙෙළඳ පරිශ්‍රය තුළට ඇතුළු වන අසෙනි ලොකු කරත්තයක් ඇද නිගූ දෙසට යොමු කරයි. පාරිභෝගික අවශ්‍යතා මනැස් දිගින් ද පළලින් ද හතර අත විදාරණය කරවමින් නෙක බඩු භාණ්ඩ අසුරා ලූ රාක්ක වංකගිරිය දෙසට ඈ ඉස්සර වෙයි. කරත්තය ද තල්ලු කරමින් නිගූ පසුපසිනි. හීල්ස් මත පාවෙමින් යන ඇගේ පුළුල් නිතඹ දෙස නිගූගේ
නෙත් යොමු වෙයි. ඈ සතුව එබඳු ශෘංගාරී නිතඹක් සරසවි සිසුවියකව සිටි සමයේ තිබූ බවක් නිගූට මතක නැත. එසමයෙහි ඔහු ඈ තුළ දුටුවේ වෙනත් ම ලස්සනකි. ඈ කතා කරන විට වචන අන්තරයන් තුළ ඇගේ මුහුණෙහි ඇඳෙන ඉසියුම් භාව රේඛා ඔහු විස්මිත කර තිබෙයි.
" බලන්නකො ඔයාට ඕෙන දේවල් මොනවද කියලා.."
කෝපි, සීනි, තේ කොළ දැමීමට ඈ පෝසිලේන්වලින් නිමවන ලද කලාත්මක හැඩයෙන් යුත් ඇසුරුම් බෝතල් කිහිපයක් තෝරයි. තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ආදිය දැමීමට ද ඈ ඊට කුඩා ප්‍රමාණයේ ඇසුරුම් පෙළක් තෝරයි. තවත් ප්ලාස්ටික් පෙට්ටි කිහිපයක් ද තෝරාගත් ඇය කොත්තමල්ලි පැකට් එකේ, පැනඩෝල් කාඩ් එකේ සිට ගෙදරට අවශ්‍ය මූලික කළමනා සියල්ලක් ම තෝර තෝරා කරත්තය පුරවයි. සබන් වර්ග, ෂැම්පූ, දත් බුරුසු ඇසුරූ රාක්ක පේළියේ දී ඈ කඩිසර වෙයි. තේ කොළ, කෝපි ඇසුරූ රාක්ක පේළියේ දී ඈ විමසිලිමත් වෙයි. ආසා කරන දෑ මොනවාදැයි නිගූගෙන් ද අසයි. කරත්තය තල්ලු කරගෙන යන නිගූට තමා පොඩි ළමයෙකු ව ඇතැයි මොහොතකට සිතෙයි. ඇඬෙන්නට තරම් වන ආත්මානුකම්පාවක් ද ඇති වෙයි. දහම් පාසල් ගොස් ඉක්මනින් පැමිණ පොළේ ගෙන යන මල්ල ද රැගෙන අම්මා සමඟ ඉරිදා පොළේ ගිය කාලය සිහි වෙයි. විවාහ වූ මුල් කාලයේදී ද කාංචනා සමඟ ඉරිදා පොළේ යාමට නිගූ ආසා කරයි. ඉරිදා පොළේ දී අම්මා පසුපස යමින් අම්මා වෙළෙන්දන් සමඟ හෙට්ටු කරමින් එළවළු තේරූ අයුරු ඔහුගේ මනැස් තිරය මත අම්මා ගැන මැවෙන සමීප දසුන් අතර එකකි. මුරුක්කු සහ බූන්දි වෙළෙන්දන් ළඟ දී අම්මාගේ මුහුණ ද සිනාවෙන් පිරෙයි. පත්තර කඩෙන් "දිනමිණ" ද "මිහිර" ද ගෙන බවනෙන් කිඹුල්ලුත්, සීනි බනිසුත් ගැනීමෙන් පොළේ සවාරිය නිම වෙයි. නිගූ කාංචනා සමඟ ද පොළේ යන්නට ආසා කළේ අම්මා සමඟ ඉරිදා පොළේ ගිය මිහිරි මතකය සමරමිනි. දැන් මේ මොහොතේ අසෙනි දකිමින් ද තමා අත් විඳින්නේ ඒ අතීතකාමී ආස්වාදය ම නොවේ දැයි නිගූට සිතෙයි. ඔහුගේ නහය බර වී දෑස් තෙත් වන්නේ එබැවිනි.
අසෙනි මේ දේවල්වලට මේ තරම් සකසුරුවම් වූයේ කෙසේ දැයි නිගූට සිතාගත නොහැකි වෙයි. එය ඈ තුළ ඇති 'ගැහැනු ඉවක්' යැයි ඔහුට සිතෙයි. අම්මා තුළත්, කාංචනා තුළත් තිබුණේ ද ඒ "ගැහැනු ඉව" ම නොවේ දැයි නිගූට සිතෙයි. නිගූට එකවරම තමා ගැන මහත් අසරණ හැඟීමක් ද අසෙනි කෙරෙහි අප්‍රමාණ ආදර භක්තියක් ද ඇති වෙයි. ඔහුට ඇය ව වැලඳ ගන්නට තරම් සිතෙයි.
නිගූ සිතුවිලි දමෙහි පැටලී සිටි නිමේෂයේ දී එකවර ඈ රාක්ක වංකගිරියෙහි නොපෙනී යයි. නිගූ බඩු පිර වූ කරත්තය එතැන ම තබා රාක්ක පේළි අතරින් ඈ විපරම් කරයි. රාක්ක පේළි කොනකින් ඈ කොස්සක් ද වයිපර් එකක් ද අතැති ව මතු වෙයි.
"මොප් බකට් එකකුත් ගත්ත නම් හොඳයි නේද? " යි අසමින් ම ඈ එතැන ම වූ රාක්කයෙහි තිබූ පාපිස්නා අත ගා බලයි.
" ඔයා තාම තැන දැකලත් නෑනෙ ඔච්චර දේවල් ගත්තට"
" ඉතින් ළමයො තැන දකින්න ම ඕනෙ ද? ජීවත් වෙන්න ඕන බේසික් දේවල් ටික හිතා ගත්තැහැකිනෙ." නිගූ නවතින්නට අලුත් තැනක් සොයන්නට පටන් ගෙන මාස හයකටත් වැඩිය. කාංචනාගේ රුදුරු වදන් කටු ඇනී ඔහුගේ සිත දරුණුවට තුවාල වී තිබෙයි. ඇගේ රහස් සබඳකම හොඳින් ම දැනගෙන නිෙවසෙහි විශාල රණ්ඩුවක් ඇති වූ දවස බිහිසුණු
මතකයකි. ඔහු තමා බැඳ සිටි ලෙදර් පටිය ගලවා දාරුමය පඩිපෙළට පහර දුන් වියරු ස්වභාවය මතක් වීම ම වේදනාවකි. ඒ පහර දීම ඇයට කළ පහර දීමක් වැනිය.
කාංචනා කෙරෙහි නිගූ තුළ පැවති භක්තිවන්ත හැඟීමේ අවසාන දශමයත් සිඳී සේදී ගිය බව ඔහුට හැඟෙයි. දැන් වෙනදා මෙන් ඔහුට ඈ පිය දස්නක් නොවෙයි. ඇයට ද එසේ වෙතැයි ඔහුට සිතෙයි. ඉතිරි ව ඇත්තේ ඈ වෙත නොරැඳී වහා පලා යාම යැයි සිතෙන වාර අපමණයි. දින කිහිපයක් ම ඔහු බීමතින් රිය පදවාගෙන නිවසට පැමිණ තිබෙයි. එබඳු දිනවල ඔහු නිෙවස තුළට නොගොස් වාහනයේ ම නිදයි. කොයි මොහොතක හෝ කාංචනා පැමිණ ඈ කළ වැරදිවලට සමාව ඉල්ලා ඔහු නැඟිටවා ගෙන නිෙවස තුළට කැඳවාගෙන යනු ඇතැයි සිතයි. එහෙත් ඈ කිසි දිනෙක ඔහු පැතූ සේ ඔහු කැඳවාගෙන යන්නට ඒ මහ රෑ ඈ නොපැමිණෙන්නීය. ඒ සැබවින් ම දණිස් කෙළින් කොට දෙපා දෙපසට විහිදා උඩුහුරුව සයනය කරමින් සුබ සිහින දකින හෝරාවයි.
තමා කෙරෙහි කාංචනාගේ කිසිදු අවධානයක් නොමැති බව වටහා ගත් පසු නිගූ නිෙවසට පා තබන්නේ සාරා දකින්නට පමණයි. නිගූ රෑ බෝවී එන බොහෝ දිනවල ඈ මවට තුරුලු ව සැපට නිදා සිටියි. ඇතැම් දිනවල ඔහු මිතුරන්ගේ බෝඩින් කාමරවල ද රැය පහන් කරයි. දුර බැහැර ලොකේෂන් බැලීමට යාම වැනි රාජකාරී ඔහු කැමැත්තෙන් භාර ගනියි. ඒ නිෙවසට පැමිණීම මඟහැර යා හැකි බැවිනි.
මාලබේ නගරයට කිට්ටුව පැවති අපාර්ට්මන්ට් එක පිළිබඳ නිගූ විස්තරය දැන ගන්නේ මිතුරෙකුගෙනි. වෙල් යායකට මුහුණලා ඇති මහල් සංකීර්ණයේ සිවුවැනි මහලෙහි පිහිටි ද්විත්ව කාමර නිවෙස නිවී සැනසිල්ලේ සිටිය හැකි තැනක් යැයි ඔහුට සිතෙයි. එහෙත් මේ තීරණය පිළිබඳ තවමත් අම්මාට කීමට නොහැකි වීම ගැන නිගූට ඇත්තේ වරදකාරී හැඟීමකි.
" අද යමුද අපාර්ට්මන්ට් එක බලන්න.. මේ බඩු ටිකත් දාලා එන්නෙපැයි.. ඕෙන කරන ෆර්නිචර් ගැනත් මට ඔයා එක්ක කතා කළෑකි.."
නිගූගේ වචනවලින් අසෙනි තිගැස්සෙයි.
"මට ගෙදර යන්න පරක්කු වෙන්නැද්ද?"
තවත් කොටසකින් හමුවෙමු