ඔබටත් හිතෙන අරමුණුවලට යන්න බැරිද?

ජුනි 12, 2023

 

ඔබට ඔබේ ජීවිතය ඕනෑම විදිහකට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මානසික සෞඛ්‍ය තමයි ඒ සඳහා වැදගත්ම කාරණාව.

ඒ වටා තමයි ඉතුරු හැමදේම පෙළ ගැසෙන්නේ. මිත්‍යාව බැහැරකර විද්‍යාත්මක පදනමක ඉඳලා අපිට පුළුවන් අපේ ජීවිතය ඕනෑම විදියකට වෙනස් කරගන්න. එසේනම් මේ කාරණා ගැන ඔබ හොඳින් අවධානය යොමු කරන්න.

 

(01) ඉලක්කයකට වැඩ කිරීම

 

මෙන්න මේ තැනටයි මා ළඟා විය යුත්තේ. මා කෙදිනක හෝ නතර විය යුතු තැන මෙතැන යැයි කියා සිතන්නට ඕනේ. හැමතිස්සෙම මගේ ඉලක්කය මෙන්න මේකයි කියලා හිතේ පින්තූරයක් තියෙන්නෙ ඕනේ. අරමුණක් එහෙමත් නැතිනම් හිතේ පින්තූරයක් නැතිනම් කිසිදාක ඉලක්කයට ළඟා විය නොහැකියි. චිත්තරූප කියන එක හරිම වැදගත් අපේ ජීවිතයට අවශ්‍ය දේවල් ළඟා කරගන්න. අපේ මොළයේ සෑහෙන ප්‍රමාණයක් දත්ත ගන්නවා. ඇස,කන, නාසය, දිව, ශරීරයෙන් අප ගන්නා මේ දත්ත මොළය මඟින් පාලනය කරනවා. මෙන්න මෙහෙම සිතන්න. අපි ආස කරන කාර් එකක් තියෙනවා. නිතරම පාරේ යනකොට එනකොට පේන්නේ ඒ කාර් එකමයි. මේ විදිහට අපි හැමතිස්සෙම දකින, හැම තිස්සෙම කතාකරන දේවල් මොළය විසින් හඳුනා ගන්නවා ඒව තමයි අවශ්‍ය කරන්නේ කියලා. එවිට එම චිත්‍රවලට මොළය අරමුණු ගත කරනු ලබනවා.

අපි හැමතිස්සෙම කතා කරන්නේ සෘණාත්මකව නම්, හැම තිස්සෙම දකින්නේ අසුබවාදී දේවල් නම් මොළය ක්‍රියාකරන්නේ ඒවාට අනුගතවයි. දියුණු වෙන්න, අපේ අරමුණුවලට යන්න වෙන්නේ නැහැ. එවිට අපි අනිත් අයට චෝදනා කරනවා ඔයා නිසා මට මේ දේවල් ළඟා කරගන්න බැරි වුණා, ඒක නිසා මට මේ දේ නැතිවුණා කියලා. ඇත්තටම ඔබ සෘණාත්මක දේවල් විවෘත වන දොරටු වසන්න. අපිට හැමතිස්සෙම අඩියක් හෝ ඉදිරියට යා හැකි සිතිවිල්ලක් ළඟා කරගන්න. එලෙස මොළය සකසා ගත හොත් ඔබට ඔබේ ඉලක්කයට පහසුවෙන්ම ළඟා විය හැකිය.

 

 

 

(02) විචිත්‍ර රූප මවා ගැනීම

 

අපිට අවශ්‍ය දෙයක් ළඟා කරගන්න මේ විචිත්‍ර රූප මවා ගැනීම තුළින් හැකියි. එහෙත් අපි මේ මවා ගන්නේ අපට ගැළපෙනම වුවමනාම දේ ද කියන එක හොඳින් හිතල බලන්න. ලෝකෙ තියෙන්නෙම රූප ගොඩක්ම. හැම දෙයක් එක්කම රූපයක් බැඳිලා තියෙනවා. විශේෂයෙන් අපේ හැඟීම් සමඟ රූපයක් තියෙනවා. ඔබට යන්න ඕනේ කොතැනද කියන එකට ඉහළ අරමුණක් තබාගන්න. එයට පින්තූරයක් හොයාගන්න. එම පින්තූරය නිතර මනසින් දකින්න. එවිට මොළය ඔබට එතනට යන්න උදවු කරාවි.

 

(03) අරමුණ ජීව බල අරමුණක් නොවීම

 

ළඟාකරගත හැකි සහ යථාර්ථවාදී අරමුණු සෙවීම මීළඟ කරුණයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. බොහෝ විට මෙය මට ළඟාකරගත හැකියි කියන දේ තීරණය කරන්නේ තමන් මිසක් සමාජය නොවන බව වටහා ගත යුතුය. අනෙක් අය මෙය කළ නොහැකියි කියන දේට ඇහුම්කන් දෙන්න එපා. තමන්ගේ හැකියාව විශ්වාස කරන්න. එවිට අරමුණට ඉක්මනටම ළඟාවිය හැකියි.

 

(04) පරාජයට බිය වීම

 

හුඟක් දෙනෙක් පරාජයට බයයි. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න, අලුත් දෙයක් කරගෙන යන්න හරිම බයයි. ඇයි අපි බය. පරාජයට මුහුණ දෙන්න බය නැතිකම තමයි සාර්ථකත්වයේ හේතුව. අභියෝග වාගේම පරාජය බාරගන්න, අවදානමක් ගන්න බය විය යුතු නැත. යහපත අයහපත යන දෙපැත්ත සංසන්දනය කරලා අවදානමක් ගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. අපි අභියෝග කරා යන විට කිසිම විටෙක පරාජයට බයවෙන්න එපා. මක්නිසාද යත් පරාජය තමයි ඔබේ දියුණුවේ යතුර. අද පරාජයට අපි දෙන අරුත අනාගතයේදී ඉබේම වෙනස් වෙනවා. එනම් ඒක වෙච්ච නිසා නේද මට අද මෙතැනට එන්න ලැබුණේ කියලා හිතේවි.

 

(05) සමාජ මතයට මුල්තැන දීම

 

ගොඩක් වෙලාවට විවාහයක දී මේක බලපානවා. අපේ හිතේ මතුවෙන ආදරේ පවා පැත්තකට දමලා සමාජ අදහසට ගරු කරන්න යනවා. එහෙම ගිහින් ගොඩක් අය ජීවිත වරද්ද ගන්නවා. එහෙත් ඔබ රැල්ලට යන කෙනෙක් වෙන්න එපා. අනිවාර්යෙන්ම උඩුගම් බලා පිහිනා යා යුතුයි. සමාජ මතිමතාන්තරවලට වඩා තමන්ගේ හෘද සාක්ෂියට මුල්තැන දෙන්න. මට ආස දේ සොයාගෙන යන්න ඕනෙ කියන සිතුවිල්ලේ ඉන්න එක තමයි. අරමුණට යන්න නම් ඔබ ඔබම විය යුතුයි. තමන් තමයි දන්නෙ තමන්ට කරන්න පුළුවන් දේ.

 

(06) ආකර්ෂණයේ නීතිය වැරැදියට පාවිච්චි කිරීම

 

යුරෝපයේ Think and grow rich වගෙ පොත් මේ ආකර්ෂණයේ නියාමය සඳහා රචනා වෙලා තියෙනවා. අපි කොහොමද සල්ලි හම්බ කරන්නෙ කියන එක ඉන් එකක්. සමහරු මේ මානසිකව වැරදියට වටහා ගන්නවා. එනම් නැති දෙයක් අපට තියෙනවා කියලා හිතන එකයි. රැකියාවක් ගත්ත පමණින් ජීවිතේ වෙනස් වන්නේ නැහැ. බොහෝ අය මේක වරදවා වටහා ගන්නවා.

 

(07) මානසික සෞඛ්‍යය නොසලකා හැරීම

 

ඔබ ඔබේ අරමුණුවලට ගියාට පස්සේ අධික ආතතියක් depression තියෙන කෙනෙක් වුණොත් මොකද කරන්නේ. ඒ ලැබූ සැප-සම්පත්වලට මොකද වෙන්නේ. ප්‍රණීත කෑම ලැබුණත් රසයක් දැනෙන්නෙ නැහැ. සුඛෝපභෝගී වාහනයක ගියත් සැපක් දැනෙන්නේ නැහැ. නිතරම කේන්ති එනවා. මානසික නිරෝගීකම, සැනසීම කියන එක නැති තරම් එහෙම කෙතරම් ඉහළ මට්ටමක හිටියත් ඵලක් නැහැ. ඔබ ආස කරන ලැයිස්තුවක් ලියාගන්න. වැඩ වැඩි වෙනකොට අපි අපට ආසාකරන දේවල් තමයි මුලින්ම ඉවත් කෙරෙන්නේ. ඒත් එහෙම නොකළ යුතුයි.

 

(08) හෙට සැප වෙනුවෙන් අද දුක් විඳීම

 

මේක හරි දෙයක් නොවෙයි. හුඟක් අය හිතනවා අද මහන්සි වෙලා වැඩ කළොත් හෙට සැප විඳිය හැකි කියලා. ඒත් ඔය හෙට කියන දේ කවදාද උදාවෙන්නේ? කිසිම අවබෝධයක් නොමැතිව මෙවැනි සිතිවිලි මවාගන්නට එපා. අපට තිබෙන්නේ ගෙවෙමින් පවතින වර්තමානයක් විතරයි. එහෙත් ඔබ හිතෙනවා නම් අද මම දුක් විඳිය යුතුමයි හෙට සැපයක් ලබන්නට කියා ඒක වැරදි මතයක්. අම්මෝ අද හොඳටම හිනා වුණා. හෙට අඬන්න වෙයිද දන්නේ නෑ. ඇත්තටම මිනිස්සු පව්. හිනාවෙන්නත් බයයි. මෙහෙම හිතුවොත් හිතේ දුකටම තමයි ඔබ යන්නේ.

 

(09) දියුණුවන අයට ඊර්ෂ්‍යා කිරීම

 

ඔබට ඔබේ ඉලක්කයට යන්න තියෙන වේගය වළක්වන විශේෂ දෙයක් තමයි මේක. දියුණුවන අයට ඊර්ෂ්‍යා කළහොත් සිදුවන්නේ ඔබේ දියුණුව ඇන සිටීමයි. එම හැඟීම ඇතිවන්නේ එම පුද්ගලයාගේ හිතේ නොව ඔබේ හිතේ. එය නරක ලෙස බලපාන්නේ ඔබටමයි. එයා එහෙම කළා නම් මටත් එහෙම කරන්න පුළුවන්. එහෙම හිතලා ඔබ එම පුද්ගලයාට හදවතින්ම සුබ පතන්න. මොළය ආසයි ජයග්‍රහණයේ හැඟීම ලබන්න. ඇත්තෙන්ම එය ඔබට වෙස්වලාගත් ආශිර්වාදයක් වේවි.

 

(10) මුදල් පිළිබඳ වැරැදි දැක්ම

 

සල්ලි අතින් අල්ලන්නේ නැති තරමටම දැන් ලෝකය දියුණු වෙලා. මොනවා හරි දෙයක් වෙනුවෙන් වියදම් කරන්න ගියහොත් ඒකට මෙච්චර වියදම් යනවා කියලා ඔබ හිතනවා. ඔබ විදුලි බිල, ජල බිල , කෑම බිල බැණ බැණ ගෙවෙනවා. ඒත් එහෙම කරන්න එපා. ඒවා ඔබ පරිභෝජනය කළ බව ඔබට අමතක ද? අම්මෝ මෙච්චර සල්ලි ගිහින්. එහෙම හිතලා ඔබ පුදුම වෙනවා. ඒත් වියදම් කරද්දී ස්තුතිවන්ත වන්න මේ සල්ලි හම්බුණ නිසා තමයි මේ භාණ්ඩ හෝ සේවාව ලබා ගන්නට පුළුවන් වුණේ. මේ සල්ලි ගැනීම, දීම තුළින් සල්ලි සංසරණය වන්නට ඕනේ.

සල්ලි කියන මේ සාධකය නැතිනම් අපිට අවශ්‍ය දේවල් ගන්න බැරි වෙනවා. සල්ලිත් එක්ක තියෙන මානසික සම්බන්ධතාවය යහපත් විය යුතුයි. සල්ලි ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. රත්රන් බඩු, ඉඩකඩම්, යාන වාහන ඒවා අතරින් කිහිපයක්. ඉතින් ඔබ සල්ලි හා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි.

 

(11) අධ්‍යාත්මික ජීවිතයක් නොමැතිකම

 

අපි පෙර සඳහන් කළ මොනදේ තිබුණත් ඵලක් වන්නේ නැහැ. ඔබට යහපත් අධ්‍යාත්මික ජීවිතයක් නොමැති නම්. සැනසුමක් සහිත ජීවිතයක්, යහපත් ජීවිතයක් ළඟා කරගන්න. ඔබ කුමන ආගමක සිටියත් භාවනාවක නිරත වන්නට පුළුවන්. ඇත්තටම ඔබේ හිත එක තැනකට ගන්නේ කොහොමද කියලා භාවනාවෙන් දකින්න පුළුවන්. මානසික නිරෝගීකම ඔබේ ජීවිතයේ නිවැරැව දි තීරණ ගන්න උදවු කරනවා. එවැනි අයෙක්ට කේන්තිය, පළිගැනීම, තරහ යාම ඇති වන්නේ කලාතුරකින්. ඔබේ මනස නිරවුල්ව තබා ගතහොත් සියල්ල දෙස යහපත්බැලිය හැකියි. එවිට ඔබට ඔබේ අරමුණු පහසුවෙන්ම ළඟා කර ගත හැකි වනු ඇත.