වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
හැඩැති ජීවන රටාවක් සුවැති වැඩිහිටි දිවියක්
ජීවිතයේ විවිධ අවධීන් පසු කරන අප සැම අවසානයේ වයෝවෘද්ධ වීමත් සමඟින් රෝගාබාධයන්ට ලක්වී ජීවිතයෙන් සමු ගනියි.
වැඩිහිටියන් වූ කල අන් අවධීන්වලට වඩා ආදරය, කරුණාව, රැකවරණය තමා අවට සිටින්නන්ගෙන් වැඩි වශයෙන් බලාපොරොත්තු වෙයි.
අදවන විට බිහිවනුයේ රට හැර යන දුවා දරුවන් සිටින වැඩිහිටි පරපුරකි. දරුවන් දුරස් වීම නිසා ඉවසිය නොහැකි තනිකමක්, පාළුවක් ඔවුන් වෙතින් ජනිත වේ. දරු මුනුපුරන්ගේ ආදරය, කරුණාව අපේක්ෂා කළත් ඔවුන් සිටින්නේ තම තමන් අත ඇති ජංගම දුරකතනවල ඇති ලෝකත් සමඟයි.
' සුවපත් වැඩිහිටි වියක් උදෙසා විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට' ඒ මෙවර වැඩිහිටි දිනයේ තේමාවයි.
වයස අවුරුදු 60 සම්පූර්ණ කළ වැඩිහිටියන්
* වයස අවුරුදු 60 - 69 අතර වයසේ පසුවන්නන් තරුණ වැඩිහිටියන්
* අවුරුදු 70 - 79 වයසේ පසුවන්නන් වැඩිහිටියන්
* අවුරුදු 80න් එහා වයෝවෘද්ධ අය ලෙස නම් කෙරේ.
ශ්‍රී ලංකාව වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩිවන රටක් ලෙස නම් කළ හැකියි. වැඩිවන වැඩිහිටි ජනගහනය කරදරයක්, හිසරදයක්, බරක් ලෙස නොසිතා ඔවුන් සම්පතක් ලෙස සිතන්නට පුරුදු විය යුතුයි. නිවෙසේ සිටින ආච්චි, සීයාගේ අගය තම දරුවන්ට වටහා දිය යුතුවන්නේ පුංචි සන්ධියේ සිටමයි.
වැඩිහිටියන්ට අවශ්‍ය වනුයේ නිකම්ම නිකම් ආයු කාලයක් නොව සෞඛ්‍යමත් ආයු කාලයකි. කායික රෝගවලින් පීඩා විඳින්නට සිදු වීමත් සමඟින් ඔවුන්ට සක්‍රිය වැඩිහිටි දිවියක් අහිමි වෙයි. බෝ නොවන රෝග ඔවුන්ව වෙළා ගන්නට පටන් ගනියි. බොහෝවිට බෝ නොවන රෝග ඇරැඹෙන්නේ මැදිවියේ පටන් ය. එහි අතුරු ප්‍රතිඵලයන්, සංකූලතාවන් අත් විඳින්නට සිදුවන්නේ වැඩිහිටි වියට එළැඹීමත් සමඟිනි.
ඉපදුණු දා පටන් මේවන තෙක් ගත කළ වයස (Pronogical age) ඉලක්කමකින් දැක්විය හැකි වුවත් වයස කිසිසේත්ම ඉලක්කමකට සීමා කළ යුතු නැත. ඉලක්කමකින් දැක්වෙන වයස පසෙක තිබියදී ජීව විද්‍යාත්මකව(Biological age) ශක්තිමත්ව සිටින වැඩිහිටියන් සිටිති. වයස අවුරුදු 75ක 80ක පමණ පුද්ගලයකු කායිකව අවුරුදු 60ක 65ක පුද්ගලයකු මෙන් ක්‍රියාශීලීව සිටී නම් ඔහු හෝ ඇය නිසැකවම සුවපත් වැඩිහිටි දිවියක් ගත කරයි.
ජානමය බලපෑම්, පාරිසරික සාධක එනම් අප කන බොන දෑ, ව්‍යායාම් .... මේ සියල්ලේ එකතුවක් ලෙසින් කායිකව හා මානසිකව සුවපත්ව සිටිය හැකියි.
වයසට යෑමත් සමඟින් සන්ධි ගෙවේ. ඒ අනුව ආතරයිටිස් .. වැනි සන්ධි රෝගවලට වැඩිහිටියන් පහසුවෙන්ම ගොදුරු වේ. විස වීම්, තුවාල වීම් ආදියත් බහුල වේ. වයසට යෑමත් සමඟින් සාමාජික, මානසික ගැටලුවලට වෙනදාට වඩා මුහුණ දෙන්නට වේවි. කාලය ගතවද්දී දෛනික වැඩකටයුතු පවා කරගන්නට නොහැකි තත්ත්වයක් උදාවේ. වැඩිහිටියන් දරුවන්ටවත් බරක් නොවී ස්වාධීනව ජීවත් වන්නට කැමැත්තක් දක්වයි. ස්වාධීනත්වය අහිමි වී යෑම ම මානසිකව කාවදී.
වැඩිහිටියන්ට ම ආවේණික විවිධ රෝග අවස්ථාවන් තිබේ. වැටීම්, මුත්‍රා පාලනයකින් තොරව බැහැර වීම්, කල්පනාවේ අඩුකම ඒ අතර වේ. ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්ව නිසා වැඩිහිටියන් වැටෙද්දී අස්ථි බිඳීම් ආදිය වීමට ඉඩ තිබේ. සමාජයට පවුලට මේවා ගැටලුකාරී වේ. කැල්සියම්, විටමින් අඩංගු සමබර ආහාර ගත යුත්තේ මේ නිසයි. ආර්ථික අපහසුතා නිසා සමබල ආහාරයක් ගැනීමත් ඇතැමකුට ගැටලුවක් වීමට පුළුවනි. නමුත් තමාට වියහියදම් කළ හැකි මට්ටමින් ගුණාත්මක ආහාරයක් කරා යන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත්ව සිටිය යුතු වේ.
කාර්යබහුල ජීවිතේ ව්‍යායාම් කිරීමේ පුරුද්ද මගහැරී යයි. "මම දැන් වයසයි, මට ඇස් පේන්නෙ නැහැ, ඇහේ සුද ඇවිත්, මම වැටෙනවා; ඒ නිසා ඇවිදින්න යන්නත් බැහැ" මේ මේ දේවල් සමාජයීය ආකල්ප ලෙසින් එක් එක් අයගේ සිතේ එල්බගෙන පවතී.
වයසට යත්ම විවිධ රෝග අවස්ථාවන් සඳහා ඖෂධ ගනියි. දිනකට ඖෂධ පහකට වඩා ගන්නේ නම් ප්‍රවේශම්වන්න. ඖෂධ ඕනෑවට වඩා වැඩි වූ විට ඖෂධ සහ රෝග අතරත් ගැටලු පැන නැඟිය හැකියි.
සැඟව ඇති රෝග තත්ත්ව තිබිය හැකි බැවින් වෛද්‍ය පරීක්ෂණ(Screening) සඳහා යොමුවිය යුතුයි. ආබාධ සොයාගෙන ඒවාට ප්‍රතිකර්ම කිරීමෙන් ගුණාත්මක වැඩිහිටි කාලයක් ගත කිරීමට අවැසි පදනම ලබාගත හැකියි.
වැඩිහිටි දිවිය නීරෝගීමත් ගත කිරීමට ඒ පිළිබඳ අඩිතාලම දැමිය යුතු වන්නේ වයස අවුරුදු 40, 45, 50 වැනි වයස්වල සිට දී ය. සුව දිවි සායන වෙත පිය නැඟිය යුත්තේ ඉහත කී වයස්වල සිටයි. රෝග හට ගැනීමට ඇති හැකියාව අවම කරගැනීමට එය කදිම මඟක් වේවි. වැඩිහිටි වියට පැමිණි පසු ප්‍රතිකාර කරා පැමිණීම සංකූලතා වැඩි වී තිබෙන්නට හේතුවක් වේවි.
වැඩිහිටි වියට එළඹෙද්දී මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමත් වැදගත් වේ. විශාදය ඩිමෙන්ෂියාව වැනි තත්ත්ව මේ කාලයේ සුලබ ව තිබේ. ඖෂධ ගැනීම ම නොව ඒ සඳහාවන වෙනත් ක්‍රියාමාර්ග ගත යුතුයි. සාමූහික ක්‍රියාකාරකම්වලට යොමු වීම, මනස වෙහෙසවා කරන වැඩවල නිරත වීම මේ සඳහා හොඳම විකල්පයයි.
රූපවාහිනිය ඉදිරියේ වැඩි කාලයක් ගත කිරීමට වැඩිහිටියන් පෙලඹී සිටියි. මේ නිසා ව්‍යායාම් කිරීමට, අන් අය සමඟ එකතු වී වැඩ කරන්නට ඇති කාලය අඩු වේ. එය මානසික ආතතිය, මානසික පීඩනය වැඩිවීමට හේතුවකි.
නීරෝගීව වැඩිහිටි වියට පත්වීමට තමන් ද වග විය යුතුයි. පවුලේ අයද ඊට යම් අන්දමින් දායක විය යුතු වුවත් තමාට යමක් කමක් කළ හැකි වයසේ දී ඊට උපරිමයෙන්ම දායක විය යුතුයි. එය සුවැති වැඩිහිටි දිවියක් සඳහා මනා පිටුවහලකි.
උපදෙස් :
ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ශිරෝමි මාදුවගේ
කායික රෝග විශේෂඥ වෛද්‍ය
බරණ මිල්ලවිතාන