කෝවිඩ් නිසා මෙවර උසස් පෙළ විභාගයට මොකද වුණේ?

විභාග වංචාවලට හසු වුණොත් දඬුවම් ලැබීමට සිදුවේවි
ඔක්තෝබර් 28, 2020

විභාග කොමසාරිස් ජනරාල්

සනත් පූජිත

 

මෙවර උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් ලැබුවේ වෙනස්ම අත්දැකීමකි. සිසුන්ට විභාග ශාලාවට ඇතුළුවීමට සිදුවුණේ දැඩි සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුවය.

විභාග නීතිරිතීවලට අමතරව සෞඛ්‍ය නීති ද අනුගමනය කරමින් රට පුරා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වවිභාගය ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්විණි. ඔක්තෝම්බර් 12 වැනිදා සිට ආරම්භ වූ උසස් පෙළ විභාගය විවිධ වූ සෞඛ්‍ය ගැටලු රාශියක් මැද පැවැත්වීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි.

දැයේ දරුවන්ගේ අනාගතය තීරණය කරන මෙම කඩඉම් විභාගය කල් නොදමා පැවැත්වීමට විශාල කැපවීමක් කළ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්යය මණ්ඩලය සහ විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ගත් තීරණය රටේ සෑම දෙනාගේම ප්‍රශංසාවට ලක්විය.

ඉතාම දුෂ්කර වූ ගැටලු හා අභියෝග රැසක් මැද පැවැත්වෙන මෙම විභාගය ප්‍රයෝජනයට ගනිමින් බොර දියේ මාළු බෑමට උත්සහ කළ කිහිප දෙනෙකුම විය. විභාග වංචා හා දූෂණ තුළින් විභාගය සමත් වීමට උත්සහ ගත් ඔවුන්ගේ ඉලක්ක අසාර්ථක වූයේ තමුන්ගේ ඉදිරි අනාගතයම අඳුරු කර ගනිමිනි. මෙලෙසින් මෙම විභාගයේ සිදු වූ වංචා හා දුෂණ පිළිබඳ තොරතුරු බිඳක් දැන ගැනීම සඳහා අපි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා හමුවූයේ හරවත් වූ පිළිසඳරකට මුල පුරමිනි.

දහසක් වූ රාජකාරි ගොන්නක් මැද ඔහු අපට අනාවරණය කළ කරුණු සමස්ථ දරු පරපුරටම වටිනා උපදෙසකි. එසේම,ඔහු සඳහන් කළ තොරතුරු දරුවන්ට පමණක් නොව මව්පියන්ට හා ගුරුවරුන්ට ද මහත් ප්‍රයෝජනයකි.

“සාමාන්‍යයෙන් පවත්වන විභාගයකට වඩා තරමක් අසීරුතා රැසක් මැද තමයි මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න සිදුවුණේ. අප ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් හා සැලසුමක් කල් ඇතිව සකස් කළා. එසේම මෙවර විභාගය වංචා වැළැක්වීමටත් පියවර රැසක්ම අනුගමනය කළා. නමුත් අප කොයිතරම් ක්‍රමානුකූලව මේ විභාග පැවැත්වුවත් විභාග වංචා කිහිපයක් සෑම වසරක වාර්තා වෙනවා. එය මේ වසරේ කෙතරම් දුරට වැඩි වී තිබෙනවා ද අඩු වී තිබෙනවාද අපට තවම තීරණය කිරීම අපහසුයි. උසස් පෙළ විභාගය අවසන් වීමට තව දින කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම මෙලෙස විභාග වංචා හා අක්‍රමිකතා ගැන වැඩියෙන්ම පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන්නේ උසස් පෙළ විභාගයට. පසුගිය වසරේ 567 පමණ සංඛ්‍යාවක් අපට වාර්තා වුණා. එයින් 71 දෙනකුට අත් හිට වූ දඬුවම් ලබාදීමට සිදුවීම කණගාටුවට කරුණක්.

අප මේ විභාග වංචා හා දූෂණ වැළැක්වීමටත් පවතින සෞඛ්‍ය නීති රීති නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකටම අමතර විභාග නිලධාරියෙක් පත් කළා. එම නිලධාරියා පත් කරනු ලැබූයේ අදාළ අධ්‍යාපන කොට්ඨාශයට පරිබාහිර කොට්ඨාශයක සේවය කරන නිලධාරියෙකු ලෙසයි. මෙම නිලධාරියා විභාගය නිසි ආකාරයෙන් පවත්වනවා ද, අක්‍රමිකතා පවතිනවා ද යන්න සොයා බලා වාර්තා කිරීමටත් පත් කළ විශේෂ නිලධාරියෙක්.

මෙලෙසින් පත්කළ නිලධාරීන්ට මෙවර විභාගයේ දී සිදුකළ වංචා කිහිපයක්ම අනාවරණය කර ගැනීමට හැකිවුණා. ඉන් එක් සිද්ධියක් වාර්තා වුණේ ගම්පහ ප්‍රධාන පාසලක විභාග ශාලාවකදී. මෙම විභාග ශාලාවේ ජීව විද්‍යාව විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රය උසස් තාක්ෂණයෙන් යුතු ඔරලෝසුවක් ආධාරයෙන් පිළිතුරු ලිවීමේ දී හසු වුණේ. මෙම සිසුවා ස්මාට් වර්ගයේ ඔරලෝසුවක් මාර්ගයෙන් දුරකතන ඇමතුම් ලබා දී පිළිතුරු ලිවීමේ දී හසු වූ පසුව පොලිසියට භාරදීමට එම විභාග ශාලාවේ ශාලාධිපති ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එසේම මෙවැනිම සිද්ධියක් කොළඹ ප්‍රධාන පාසලකින් වාර්තා වුණා. එම ශිෂ්‍යයා ජංගම දුරකතනයක් මාර්ගයෙන් පිළිතුරු පත්‍රය ලිවීමේදී විභාග ශාලා නිලධාරීන්ට හසු වී තිබෙනවා. මෙයට වඩා වෙනත් සිද්ධියක් වාර්තා වුණේ මීගමුව ප්‍රදේශයෙන්. මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විභාගය පැවැත්වෙන අතරතුර එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසලේ සේවය කරන ගුරුවරයෙකුට දුරකතන ඇමතුමක් දී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්ණයකට පිළිතුරු විමසා තිබෙනවා. මේ ගැන අපගේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම විදුහල්පතිවරයා උසස් පෙළ විභාගය නිමවෙන තෙක් එම පාසල් පරිශ්‍රයට ඇතුල්වීම තහනම් කර තිබෙන අතර ඔහු වැරැද්දක් කර තිබේ නම් දඬුවම් ලැබීමට සිදුවේවි.

විශේෂයෙන්ම මෙම විභාග වංචා සිදු කිරිමේදී ලබා දෙන දඬුවම් ගැන අප විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විමසා සිටියේ මේ පිළිබඳ සිසුන් බොහෝ දෙනෙකු නොදන්නා නිසාය.

මෙලෙස වංචා සිදුකිරීමේ බරපතලකම නොදැන වැරැද්දක් කර තිබේ නම් ඇතැම්විට තමුන්ට ඉදිරියේ දී රැකියාවකට යෑමට ඇති ඉඩකඩ පවා ඇහිරී යන අවස්ථා ද තිබෙනවා. එසේම බරපතළ සිර දඬුවම් හිමි වූ අවස්ථා ද වෙයි. ඒ ගැන විභාග කොමසාරිස් ජනරාල්තුමා සඳහන් කළ දෑ දරුවන්ට පමණක් නොව ගුරුවරුන්ට ද රතු එළියකි.

“විභාගයක දී වංචා සිදු කරන ආකාරය ගැන සඳහන් කිරීමේදී ඒ ගැන විස්තර කිරීමට කරුණු ගණනාවක් තිබෙනවා.

 

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

2020/10/28 තරුණි බලන්න.