දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඳහා 16 දා සිට අලුත් ම ක්‍රමයක්

නොවැම්බර් 18, 2020

කොරෝනා වසංගතය හමුවේ මුළු ලෝකයක්ම ජීවත් වීමේ සටනක යෙදෙන මොහොතක තම දරුවා දක්ෂයකු කිරීමේ අරගලය තම හිස මත තබා ගත් ඇතැම් මව්පියවරු දරුවන්ගේ සොඳුරු ළමාවියට සීමා පනවති.

ඇතැම් පාසල්වල පැවරුම් හා ක්‍රියාකාරකම් ඔරොත්තු නොදෙන තරමට දරුවාට ලබා දෙමින් දැඩි පීඩනයක් එල්ල කරති.

එහෙත් ඇතැම් මව්පියන් තම දරුවන්ගේ ළමා ලෝකයට ඉඩ දෙමින් පාසල්වල කටයුතු සඳහා යොමු කරන්නේ ඉතාම බුද්ධිමත් ලෙසිනි. මේ පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙන අතර, ඒ සඳහා සකස් කළ වැඩ පිළිවෙළ පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතායි.

''මේ අවිනිශ්චිත කාලය උදා වී ඇත්තේ තම දරුවාට පමණක් යැයි සිතන මව්පියන් විවිධ වූ පැවරුම් හා පාසල් විභාග ප්‍රශ්න පත්‍ර ආදිය සඳහා කෙලවරක් නැතිව දරුවන් යොමු කිරීම තරමක් භයානකය. දවස පුරාම දරුවා On line  ක්‍රමයට පාඩම් කටයුතු කිරීම හේතුවෙන් දරුවකුගේ ජීවිතයත් අහිමි වූ පුවතක් ද මේ දිනවල පැතිර යන අතර එවැන්නක් සිදුවී ඇත්නම් එය විශාල කනගාටුවට කරුණකි. නි‍වෙස තුළ ම සිරවී සිටින දරුවන්ට පාසල් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීම මව්පියන්ට තරමක් ගැටලුවක් බවට පත්ව ඇති බව සත්‍යයකි. නිවෙසක ඇත්තේ පාසලක වූ පරිසරයට වඩා වෙනස් වූ පසුබිමකි. මේ පසුබිම තුළ දරුවා හැම විටම උත්සාහ කරන්නේ තමා ප්‍රිය කරන ක්‍රිඩාවක් හෝ ක්‍රියාකාරකමක් වෙනුවෙන් යොමු වීමය. ඒ සඳහා කාලයක් ලබා නොදී අධ්‍යාපන කටයුතු පමණක් කිරීමට යොමු කිරීමට හැකි ක්‍රම ගැන විවිධ මත සමාජගත වෙමින් පවතී. එසේම අන්තර්ජාලය හරහා On line  ක්‍රමයට පාසල් කටයුතු සිදු කිරීම සදහා ගන්නා උත්සාහය තරමක් දුරට සාර්ථක වුවත් එය දුෂ්කර පාසල්වල දරුවන්ට මෙන්ම නගරවල පවා ආර්ථික ශක්තිය නැති ඇතැම් දරුවන්ට එම තාක්ෂණික උපකරණ භාවිතය ගැටලුවක් වී තිබේ.

මේ සඳහා දරුවන්ට පරිගණකයක් , Tab එකක් හෝ අවම වශයෙන් ස්මාට් ජංගම දුරකථනයක් හෝ තිබිය යුතුයි. මේ සියල්ල තිබුණත් අන්තර්ජාල පහසුකම් හොඳින් තිබිය යුතුයි. මේ සඳහා free Data ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා දී තිබෙන නමුත් එය පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන්නේ ලංකාවේ 30% - 40% ප්‍රමාණයකට පමණයි. සමහර අවස්ථාවලට සංනිවේදන දුර්වලතා තිබෙන නිසා මෙය රට පුරාම ක්‍රියාත්මක කිරීම අපහසුයි. ඒ නිසා අප මෙය විද්‍යුත් මාධ්‍ය හරහා සිදු කිරීමට සැලසුම් කළා. නේත්‍රා සහ eye නාළිකා ඔස්සේ මේ මස 16 දා සිට විකාශය කිරීමට කටයුතු කරනවා. එම වැඩසටහන විකාශය වෙන ආකාරය හා කාලසටහන ළඟදීම මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කරන්න දැන් සූදානම්.

ඊට අමතරව O/L පුනරීක්ෂණ කටයුතු කරන දරුවන්ට දෙරණ TV ඔස්සේ පැය දෙකක කාලයක් ලබා දී තිබෙනවා. මේ වැඩසටහන් විකාශය කිරීම සඳහා අදාළ පටිගත කිරීමේ කටයුතු මේ දිනවල අප සිදු කරමින් පවතිනවා.

මෙලෙස අප විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කළත් පළාත් මට්ටමින් විවිධ වූ අක්‍රමිකතා දුර්වලතා සිදු වීම වළක්වන්න බැහැ. අප දැන් සැලසුම් කරන්නේ මෙලෙස විකාශය වන වැඩසටහන් නැරඹීමට නොහැකි පාසල්වලට මේ පැවරුම් මුද්‍රණය කර බෙදා හැරීමටයි. ඒ පිළිබඳ දැන් සොයා බැලීමක් සිදු කරමින් පවතිනවා.

මට එක් මවක් කතා කළා. පැවරුම්වලට මුදල් අය කරන බවට ඇය පැමිණිලි කළා. මෙවැනි දේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දැනුවත්ව හෝ නොදැනුවත් සිදු වෙනවා. මෙය අපගේ පාලනයෙන් තොරව අවිධිමත්ව සිදු වන දෙයක්. On line  ක්‍රමයට මුදල් අයකර පංති පැවැත්වීම, මුදල් අය කර පැවරුම් ලබා දීමට අප විරුද්ධ බව ඔවුන් දන්නවා. නමුත් ඔවුන් එවැනි ක්‍රියා සිදු කරනවා. මෙවැනි අසීරු කාලයක බොර දියේ මාළු බාන අයත් සිටීම ඉතාම කනගාටුවක්. මෙවැනි දේ සිදු වන්නේ පළාත් අධ්‍යක්ෂකවරුන්ගේ හෝ නිළධාරීන්ගේ අනුමැතියකින් තොරවයි.

අප සිතනවා මව්පියන් මෙවැනි අසීරු කාල සීමාවක බුද්ධිමත්ව කටයුතු කරයි කියලා. එම නිසා මේ වැඩසටහන් නැරඹීමට දරුවන් යොමුකර අවශ්‍ය දැනුම ලබා දෙන්නට ඔවුන්ට කටයුතු කළ හැකියි.

ගුවන් විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ විකාශය වන මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාල හා විශ්ව විද්‍යාලවල පුහුණු උපදේශකවරුන්. ඒ නිසා මෙය සෑම දරුවකුටම ඉතාම ප්‍රයෝජවත් හා සාර්ථක ක්‍රමයක් බවට පත් වේ‍වි.''

උපදෙස් -

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා

සටහන - දුමින්ද කාරියවසම්