ලකුණු 200න් 200 ලබා ශිෂ්‍යත්ව විභාග ඉතිහාසය අලුතෙන් ම ලියූ සුපිරි හපන්නු

නොවැම්බර් 25, 2020

පුංචි දරුවකු දිනක් පාසල් හමාර වී පැ‍මිණෙන විට පංති භාර ගුරුතුමිය මේ දරුවාට ලිපියක් දෙනවා. මේ ලිපිය සතුටින් රැගෙන එන දරුවා එය තම මවට ගෙනත් දෙනවා. ලිපිය අතට ගෙන කියවන මවගේ දෙනෙත මොහොතින් කඳුළින් තෙත් වුණා.

දරුවා මවගෙන් අහනවා ඇයි අඬන්නේ කියලා. ඒත් ඇයට දරුවාට දෙන්න පිළිතුරක් නැතිව ඔහු බදාගෙන මෙහෙම කියනවා.

''පුතේ මේ ලියුමේ තියෙන්නේ මෙහෙමයි.

"ඔබේ පුතා අති දක්ෂයෙක්. ඔහුට ඉගැන්වීමට තරම් දක්ෂ ගුරුවරයෙක් අපේ පාසලේ නෑ. ඒ නිසා අද සිට ඔහුට නිවෙසේ සිට උගන්වන්න " කියල දරුවා සනසනවා.

ඒ අනුව පාසල් නොයන දරුවා ගෙදරසිට අකුරු කරනවා. කාලය කෙමෙන් ගෙවී ගොස් මව මිය යනවා. වසර ගණකට පසු මේ ලිපිය පුතාට හමුවී කියවනවා. .

ඒ ලිපියේ තිබුණේ මේ විදිහටයි.

"ඔබේ පුතා මන්ද මානසික දරුවෙක්. අපේ පාසලේ ඔබේ දරුවාට ඉඩක් නැහැ". මේ දකින ඔහු තම දින පොතේ මෙලෙස සටහන් තබනවා.

"මානසික රෝගියකු වූ තෝමස් අල්වා එඩිසන් වීර මාතාවක් විසින් සියවසේ විශිෂ්ටයා බවට පත් කරන ලදී."

මේ සටහන ඔබ හමුවේ තබන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ටන් දස දෙනකු බිහි කළ ඓතිතිහාසික සිදුවීමේ සතුට මුළු රටම සමරන මොහොතකය. ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය යැයි සමාජ මතයකි. දරුවන් මාස ගණනක් ගෙදරට කොටු වී මෙලෙසින් ජය ලැබීම සමාජ විශ්ලේෂණාත්මක ගවේෂණයක් කළ යුතු සිදුවීමකි. මෙලෙස ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් මේ අසීරු කාලයක සිදු වුයේ කෙලෙස දැයි විභාග කොමසාරිස් ( ගුරු අධ්‍යාපනික, විභාග සංවිධායක) කේ.එම්. එච්. බණ්ඩාර මහතාගෙන් අප විමසා සිටියේ. විමසූයේ එයට ප්‍රවේශයක් ලෙසිනි. ඔහු තරුණී ට තැබු විශේෂ සටහනින් පසු විශිෂ්ට ප්‍රතිඵල ලැබු දරුවන්ගේ ජයග්‍රහණයේ සතුට විමසා බලමු.

"මේ කෝවිඩ් වසංගත තත්ත්වය හමු‍වේ දරුවන්ට වැඩි කාලයක් තමුන්ගේ පෙළ පොත පරිශීලනයට අවස්ථාව ලැබුණා. 5 ශ්‍රේණියේ පෙළ පොත‍ට පරිසරය ක්‍රිකාරකම්, සාමාන්‍ය‍ විද්‍යා‍ව, භාෂාව යන සියලු දේ ඇතුළත් වෙනවා. මෙවර විභාගයේදී දෙවැනි පත්‍රයට උපරීම ලකුණු ලබා ගැනීමක් පෙන්නුම කළේ දරුවන්ට නිදහසේ වැඩි කාලයක් ගෙදර සිටිමින් තම ඉගෙනීම් කටයුතු කිරීමට නිදහස තිබූ නිසයි.

ඔවුන්ට මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වු‍ණේ තම මවුපියන් සමග කාලය ගත කරමින් දරුවන්ගේ සැබෑ දක්ෂතාවය ඉස්මතු කර ගන්න කාලය ලැබුණු නිසා බව මම විශ්වාස කරනවා. නැත්නම් දරුවන්ට පෙළ පොත් පරිශීලනට කාලයක් නෑ. දරුවා උදේට පාසල් යනවා. සවසට ටියුෂන් පංතියක.. එය මෙවර වෙනස් වෙලා දරුවන්ට අවස්ථාව ලැබුණා තමුන්ගේ මවුපින්ගේ ආරක්ෂාව මැද සාමකාමීව ‍විභාගයට පෙනී සිටීමට. ඒ නිසා දරුවන්ට තමුන්ගේ උපරිම දක්ෂතාවය මෙවර විභාගයෙන් පෙන්වීමට අවස්ථ‍ව ලැබුණා. මේ විභාගය තරග විභාගයක් විතරයි. මෙයින් දරුවන්ගේ සමත් අසමත්කම මනින්න බැහැ. දරුවෙක් ලකුණු 85 ක් තරම් ප්‍රමාණයක් ගන්නවා කියන්නේ ඒ දරුවා කිසිම ආකාරක අදක්ෂයෙක් නොවෙයි. මේ විභාගයෙන් දරුවාට ‍පාසලක් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ලබා ගැනීමට පමණයි කඩඉම් ලකුණක් තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් වසරකට දරුවන් 20000 ක් පමණ සමත් වෙනවා. ඇත්තටම මේ විභාගය අසමත්වීම දරුවකුගේ ඉදිරි ගමනට බාධාවක් නොවන බව මවුපියන්, ගුරුවරුන් මතක තබා ගත යුතුමයි."

 

විභාග කොමසාරිස්

( පාසල්,විභාග සංවිධායක හා ප්‍රතිඵල)

කේ.එම්. එච්. බණ්ඩාර මහතා

****************

විභාගය පාස් වන බවට ලොකු විශ්වාසයක් තිබුණා.

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ

සියති විතුම්සා සඳුන්දි

පියා - ඉන්දික කරුණාතිලක (ව්‍යාපාරික)

මව - නිලන්ති දීපිකා (ව්‍යාපාරික)

විදුහල්පතිනිය - චාන්දනී උඩකුඹුර ගුරුමහත්මිය

ගුරුවරුන් - 1 වසරේ දිස්නා ගුරු මහත්මිය, ඉන්පසුව හතර, පහ වසර වලදී ලලිත් රණවීර ගුරු මහතා

ගාල්ල වටරැක පදිංචි සියති විතුම්සා දියණිය දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමල් දරුවාය. දෙක වසරේ පටන් ම ඉගෙනීමට දස්කම් පෙන්නු ඇය තම ජයග්‍රහණය ගැන අපට සදහන කළේ ඉමහත් සතුටින් ''මම පොඩි කාලේ පටන් ම මිහිර පත්තරයත් අනෙක් ළමා පත්තරත් බලනවා.

ඒ වගේ ම පාසලේ පරිසර, චෙස් වගේ කණ්ඩායම් වලත් ඉන්නවා. ශිෂ්‍යත්ව විභාගයට කියලා හුඟක් මහන්සි වුණේ නැහැ. ඔන්ලයින් පාඩම් ටිකක් කළා.

මල්ලිත් එක්ක සෙල්ලම් කළා. එයා ඉන්නේ 4 වසරේ මහින්ද විද්‍යාලයේ. මම විභාගය පාස් වන බව නම් ෂුවර් එකක් තිබුණා. ඒත් 200 ක් ම ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ.

ගෙදර කට්ටියම උදවු කරපු නිසා තමා කොරෝනා කාලේ හොඳට පාඩම් කරන්න පුළුවන් වුණේ. ඇත්තටම මේ ජයග්‍රහණය ගැන අපි පවුලේ හැමෝම සතුටු වෙනවා."

තොරතුරු හා ඡයා‍රූප - ජයලාල් ජයවර්ධන (ගාල්ල ඡායාරූප)

--------------------------------------

ඉස්කෝලෙ ඉගෙන ගත්තු දේවල් ගෙදර ඇවිත් පාඩම් කළා

ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ

සෙනුදි දම්සාරි

පියා - එච්.එම්.ප්‍රමෝද් මංජුල (ශ්‍රී ලංකා පොලිසියේ නුගේගොඩ බුද්ධි කොට්ඨාසයේ සැරයන්)

මව - ඩබ්.එම්. එම්.එස්. විරාජිනි (ඇහැළියගොඩ පොලිස්ථානයේ සැරයන්)

විදුහල්පතිනිය - එල්.එම්.පවිත්‍රා ප්‍රියංගනී ද සිල්වා

පන්තිභාර ගුරුතුමා - එම්.පී.බන්දුලසේන ගුරුමහතා

සබරගමුව පළාතේ අති දුෂ්කර පාසලක් වූ ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ මීට පෙර ප්‍රථම වරට ඉහළ ම ලකුණු සංඛ්‍යාව සටහන් කරන්නේ 192 කි. එම ලකුණු මට්ටම අභිබවායමින් සෙනුදි දම්සාරි දියණිය මෙවර ලකුණු 200ම හිමි කර ගනිමින් ලැබූ ජයග්‍රහණය විද්‍යාලයට මහත් අභිමානයකි. ඇය ඒ සතුට ප්‍රකාශ කරන්නේ මෙලෙසිනි.

"මම පාසලේ වැඩ වගේ ම ක්‍රිඩා වලටත් ඉදිරිපත් වුණා. මගේ අම්මයි, තාත්තයි පොලීසියේ රැකියාව කරපු නිසා මගේ පාඩම් වැඩ වලට උදවු වෙන්න බැරි වුණා. නමුත් මම ඉස්කෝලෙ ඉගෙන ගත්තු දේවල් ගෙදර ඇවිත් පාඩම් කළා. ඒ වගේ ම පොත්පත් කියෙව්වා. හැම ඉරිදාවකම දහම් පාසල් ගියා. මම ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාව විදිහටත් වැඩ කළා. හැබැයි මේ විභාගයට ම කියලා ගොඩක් මහන්සි වුණේ නෑ. දෙන වැඩ ටික එදාම ඉවර කරනවා."

ඇහැළියගොඩ සමූහ කිත්සිරි රූපසිංහ

--------------------------------------

ශිෂ්‍යත්වයට ඉගෙන ගන්නා කාලයේදීත් චෙස් ක්‍රීඩාව කළා

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ

යෙහාරා යෙත්මිණි ඈපා

පියා - සරත් ඈපා (වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්)

මව - සංජානි මෙන්ඩිස් (මහනුවර ජාතික රෝහලේ ඖෂධවේදිනියක්)

විදුහල්පතිනිය - එම්. අබේගුණසේකර මහත්මිය

පන්තිභාර ගුරුතුමිය - පුෂ්පා සෙනෙවිරත්න ගුරුමහත්මිය

කුඩා කල පටන්ම අධ්‍යාපනයට ඉහළ දස්කම් දැක්වූ යෙහාරා යෙත්මිණි දියණිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ගෙන ආවේ මහත් කීර්තියකි. ඒ පිළිබඳ ඇය සඳහන් කළේ මෙලෙසිනි.

''මම පළමු වසරේ සිටම ඉගෙන ගත්තේ මේ විද්‍යාලයෙන්. මගේ ප්‍රියතම ක්‍රීඩාව තමයි චෙස්. එම ක්‍රිඩාවෙන් ගොඩක් තරග වලින් මම දිනල තියනවා. ශිෂ්‍යත්ව පන්තියේ දීත් චෙස් ක්‍රීඩාව කළා. ඒවගේම ගායනා තරග වලටත් ඉදිරිපත් වුණා. මගේ ප්‍රියතම විනෝදාංශය තමයි පොත්පත් කියවීම. ඒ වගේම උදේ වරුවේ හොඳ රූපවාහිනි වැඩ සටහනුත් නරඹනවා.

මම ශිෂ්‍යත්වෙ පාස් වෙන එක නම් ෂුවර් එකක් තිබුණා. ඒත් ලකුණු 200 ක් ම ගන්න පුළුවන් කියල හිතුවේ නෑ. අන්තිම කාලෙදි ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙලා තමයි ඉගෙන ගත්තේ ''

----------------------

කවදා හරි නාසා ආයතනයට යාම මගේ සිහිනයයි

තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ

තසිඳු කවිෂාන්

පියා - ජයලත් සිසිර කුමාර (ගොවිමහතෙකි)

මව - දිනුෂා සෙව්වන්දි

විදුහල්පතිනිය - කේ.ඒ.නිලමිණි ප්‍රියාදරි මහත්මිය

පන්තිභාර ගුරුතුමිය - මාලනී අබේවීර ගුරුමහත්මිය

පළමු ශ්‍රේණියේ සිටම තංගල්ල ආදර්ශ පාසලේ ඉගෙනුම ලැබූ තසිඳු කවිසාන් පළමු ශ්‍රේණියේ පටන් ම දක්ෂයෙකි. ඔහු ඔහුගේ මේ ජයග්‍රහණය ගැන අපට සදහන් කළේ හද පිරි සතුටිනි. ''මම ගොඩක් වැඩ කළේ පෙළපොතේ තියන දේවල්. පරිසර ක්‍රියාකාරකම්, නව සෙයා ගැනීම් ගැන මගේ හරි ආසාවක් තියෙනවා. ඒ නිසා කවදා හරි නාසා ආයතනයට යාම තමයි මගේ සිහිනය. ඒ හීනේ හැබෑ කරගන්න තමයි මම ශිෂ්‍යත්වයට උනන්දු වුණේ. දැන් මට හොඳ පාසලකට යන්න පුළුවන්. ගිහින් කවදා හරි විද්‍යාඥයෙක් වෙනවා." යනුවෙන් ඔහු සඳහන් කළේ අධිෂ්ඨානයෙන් යුතුවයි.

----------------------

පාසලේ උගන්නන දේට අමතරව වෙනත් පන්ති වලට ගියේ නෑ

බණ්ඩාරගම ජාතික පාසලේ

හිනුධ සස්මිත

පියා - නුවන් ගුණතිලක(ශ්‍රී.ලං.ග.ම නරාහේන්පිට ප්‍රධාන කාර්යලයේ සේවය කරයි.)

මව - දිනේෂා සඳමාලි

විදුහල්පති - ජානකී අතුකෝරල චන්ද්‍රසේන

ගුරුවරුන් - ප්‍රදීප් ගුරු මහතා, ප්‍රාථමික අංශ භාර නිශාන්ති මැණිකේ ගුරු මහත්මිය

බණ්ඩාරගම, අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ පදිංචි හිනුද සස්මිත පුතා බණ්ඩාරගම ජාතික පාසලට ගෙන ආවේ ඓතිහාසික ජයග්‍රහණයකි. මේ ජයග්‍රහණයේ සතුට සස්මිත පුතාගේ වදනින් ම සඳහන් කළේ මෙලෙසිනි.

"මට වැඩියෙන් ම උදවු කළේ පන්තිභාර ප්‍රදීප් සර්. ඒ සර් සවස 6 වෙනකන් අපට පාඩම් කියලා දුන්නා. ඒවගේ ම මම ඉස්කෝලෙ ක්‍රීඩා තරග වලටත් ඉදිරිපත් වුණා. තරග දිනලත් තියනවා. පහුගිය කාලේ කෙරෝනා නිසා පාසල් යන්න බැරි වුණත් මගේ අම්මයි, තාත්තයි මාව සෑහෙන්න උනන්දු කළා. හැබැයි කිසිම දවසක පාඩම් කරන්න බල කළේ නෑ. මම පාසලේ උගන්නන දේට අමතරව වෙනත් පන්ති වලට ගියේ නෑ. නමුත් අමතර පොත් කියෙව්වා. පෙළපොතේ තියන ක්‍රියාකාරකම් හැම එකක් ම කළා. ඒ නිසා දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හරි ලෙහෙසියෙන් උත්තර ලියන්න පුළුවන් වුණා.

----------------------

අප්පාගේ රෙකෝඩ් එක කඩනවා කියලා හිතලා පාඩම් කළා.

මරදාන සහිරා විද්‍යාලයේ

ෆර්සාන් මොහොමඩ් අම්මර්

පියා - මොහොමඩ් ෆර්ෂාන් (සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ වෛද්‍ය රක්ෂණ අංශයට අනුයුක්තව සේවය කරයි)

මව - එම්.එස්. ෆාතිමා රිස්මිනා

විදුහල්පති - ට්‍රිස්වි මරික්කාර්

පන්ති භාර ගුරුවරුන් - ෆාතිමා නලීමා ගුරුතුමිය

කොළඹ සහස්පුර නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් අම්මාර් පුතා කොරෝනා වසංගතය නිසා දැඩි ලෙස පීඩනයට පත් වූ ප්‍රදේශයක දරුවෙක්. නමුත් ඔහු ඒ පීඩනය මැද ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වුණේ සිංහල මධ්‍යයෙන් වාර්තාවක් ද තබමින්. ඔහු එම වාර්තාව තැබුවේ තම පියා ලැබූ ජයග්‍රහණට අභි‍යෝග කරමින්. අම්මාර් පුතා ඒ ජය ගැන අපට සඳහන් කළේ මෙලෙසින්.

“අපේ අප්පා ශිෂ්‍යත්වේ පාස් වෙලා තියෙන්නේ ලකුණු 156 ඇරගෙන. ඒක අහගෙන හිටිය මම කිවවා එක ලකුණකින් හරි ඒ රෙකෝඩ් එක කඩනවා කියලා... ඒක හිතේ තියාගෙන තමයි මම හැමදාම පාඩම් කළේ. මම ඉස්කෝලේ ඉගෙන ගන්නවාට අමතරව පංති ගියා. නමුත් කොරෝනා ආවට පස්සේ ඔක්කොම නැවතුණා. හැබැයි ටීචර්ලා මඟ හැරුණු පාඩම් ටික ඔන් ලයින් කරපු නිසා හොඳයි. සමහර මඟ හැරුණු පාඩම් ටීවී එකෙනුත් කියා දුන්නානේ...

මම පළමුවැනි පේපර් එක නම් හරිම ලේසියෙන් කළා. ඒත් දෙවැනි පේපර් එකට ලියපු උත්තර ආයමත් පාරක් කියවලා බලන්න වෙලාව මදි වුණා. ඇත්තටම කොරෝනා තිබුණත් විභාගේ කොහොම හරි තිබුණු එක හොඳයි කියලා හිතුණේ විභාගේ ඉවර වුණාට පස්සේ. ඊට පස්සේ හරි සතුටින් තමයි මම හිටියේ .ඒත් ලකුණු 200 ම ගත්ත බව දැන ගත්තහම ඒ සතුට තවත් වැඩි වුණා.“

-------------------------

මගේ ලොකුම විමෝදාංශය තමයි පොත් කියවීම

ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ

දෙව්ලි යසස්මි තිලකරත්න

පියා - ප්‍රදීප් තිලකරත්න (ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරයි)

මව- අයි.එන්.චතුරානී (ඉංගිරිය ගාමිණී මැද විදුහලේ ගුරුවරියකි)

විදුහල්පතිනිය - වයි.එස්. සිසිර කුමාර මහතා

පන්ති භාර ගුරුතුමිය - කල්‍යාණි ජයවර්ධන ගුරු මහත්මිය

වසර 13කට පෙර දිවයිනේ ප්‍රථම වරට ලකුණු 200 ලබා ගත් දරුවා බිහි වූයේ හොරණ තක්ෂිලා මහ විදුහලෙනි. එම වාර්තාව මෙවර සම කරන්නට ඉංගිරියේ සුමනජෝති සිසුවියකට හැකිවීම විශේෂිත සිදුවීමකි. එම ජයග්‍රහණය දෝත දරා ගත් සිඟිත්තිය ඒ ගැන අපට පැවසුවේ මහත් අභිමානයෙනි.

“මගේ නංගියි මමයි දෙන්නම ඉගෙන ගන්නේ මේ ඉස්කෝලේ. අපි දෙන්නම උදේම නැගිටිනවා. මම උදේ 5.00 ට හැමදාම නැගිටලා පාඩම් කරනවා. රෑ 10.00ට තමයි නිදියන්නේ... මගේ ලොකුම විනේදාංශය තමයි පොත් කියවීම. පොඩි කාලේ පටන්ම මට ඒ පුරුද්ද තිබුණා. ඒ නිසා මේ විභාගේ හරිම පහසුවෙන් ලියන්න පුළුවන් වුණා. අම්මාත් මට සැහෙන්න පාඩම් කියලා දුන්නා. අම්මා මට කිව්වේ විභාගේ කලබල නැතුව ලස්සනට ලියන්න කියලා. ඒ විදිහටම මම ලස්සන අකුරුවලින් පැහැදිලිව විභාගය හරි පහසුවෙන් ලිව්වා.

--------------------

දුෂ්කර පළාත්වල අයට උදව් කළ හැකි දෙයක් කරන්න කැමැතියි

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ

දෙවිඳු චිරංජිත් පෙරමුණේ

පියා - පි. කේ. සංජිව පෙරමුණේ (ඇඹිලිපිටිය බුලත්වැල්කන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති)

මව -දීපිකා ප්‍රියංගනී

විදුහල්පති - කේ.ඩි.වී. ප්‍රමිලා මධුරංගනී ගුරුමහත්මිය

ගුරුවරුන් - ප්‍රීතිකා ගුරුතුමිය, තනුජා මහත්මිය, වසන්ත ගුරුතුමා

කුඩා කාලයේ පටන් අධ්‍යාපනට දස්කම් දැක් වූ චිරංජිත් පුතා ලැබූ මෙම ජයග්‍රහණ එම ප්‍රදේශයේ සැමටම සතුටකි. එම සතුට උතුරා ගලන වදනින් ඔහු අපට එය පැවසුවේ මෙලෙසිනි

“මම මේ විභාගයට අමුතුවෙන් පාඩම් කළේ නෑ. පොඩි කාලේ ඉඳන් පාඩම් වැඩ හරිම ආසාවෙන් කළා. කිසිම දවසක මට තාත්තා පාඩම් කරන්න කියලා බල කළේ නෑ. මම හොඳට සෙල්ලම් කළා. පොඩි කාලේ ඉඳන් මගේ ආසාව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. දැන් මගේ ආසාව තියෙන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන ඉස්කෝලෙකට යන එක... තව මම කැමැති ක්‍රීඩාවක් තමයි චෙස් . මේ ක්‍රීඩාවලට අමතරව වයලින් වාදනය කරලා තියෙනවා. චිත්‍ර තරග ,ඉංගී‍්‍රසි අත් අකුරු තරගවලිනුත් ජයග්‍රහණය කරලා තියනවා. ඇත්තටම මම ආසාවෙන් ඉන්නේ හොඳට ඉගෙනගෙන අපේ රටේ කවුරුත් නොකරන හොඳ රස්සාවක් කරන්න. ඒ රස්සාව මොකක්ද කියලා තවම මම හිතලා නෑ... ඒත් මම කැමැති අපේ පළාත වගේ දුෂ්කර පැත්තක අයට උදව් කරන්න පුළුවන් දෙයක් කරන්න“

--------------------

කොරෝනා කාලයේ පාඩම් කරන්න කාලයතිබුණ නිසා උත්තර ලිවීම පහසු වුණා

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ

සිහත් සන්දිනු

පියා - ගිහාන් උමයංග (පෞද්ගලික ආයතනයක කළමනාකාරවරයෙක්)

මව - දිල්රුක්ෂි ධම්මිකා

විදුහල්පති - යු.ආර්.එස්. යසතිලක ද සිල්වා මහතා

පංතිභාර ගුරුතුමිය - කුමාරි දසනායක ගුරු මහත්මිය

පුංචි දරුවෝ කුඩා කාලයේ පටන්ම සිහින මවති. ඇතැම් දරුවෝ කුඩා කාලයේ සිටම එම සිහින සැබෑ කර ගන්නට වෙහෙසෙති. සිහත් සන්දිනු පුතා ද එලෙසින් අනාගත සිහිනය කරා පිය නැගීමට වෙහෙසෙන දරුවෙකි. ඒ වෙනුවෙන් ඔහු තම මුල්ම පියවර සාර්ථක ලෙසින් තැබූ බව සඳහන් කළේ මහත් සතුටින්

“ මම තුනේ පන්තියේදී තමයි හිතුවේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙනවා කියලා. ඒකට මගේ අම්මයි තාත්තයි පාසලේ ගුරුවරුන් සියලු දෙනාම උදව් කළා. මගේ හීනයක් තමයි කවදා හරි නාසා ආයතනයේ ගගනගාමියකු වෙන එක. අපේ රටේ විද්‍යාඥයෙක් අඟහරු ග්‍රහයාගේ ඡායාරූප ගත්ත කැමරාව හදලා තියනවා කියලා දැකලා තියෙනවා. ඒක දැන ගත්ත දවසේ පටන් ඒ අසාව වැඩි වුණා. කවද හරි දවසක ඒ මගේ හීනය සැබෑ කර ගන්නාවා. මගේ පාසල් වැඩවලට අම්මයි තාත්තයි කිසිම දවසක බල කළේ නෑ.හැබැයි මම ඉල්ලන හැම පොතක්ම ගෙනත් දුන්නා. ඒ වගේම පෙළ පොතේ තියන දේවල් හරිම ආසාවෙන් කළා. කොරෝනා කාලයේ ඒ පොතේ තිබුණු දේවල් අපිටම කරල බලන්න කාලයත් තිබුණ නිසා ප්‍රශ්න පත්තරේට උත්තර ලිවීම හරිම පහසු වුණා“

-------------------------

අපි හරිම සතුටින්, එකමුතුව පාඩම් කරලා තමයි මේ වගේ ජයග්‍රහණයක් ලබා ගත්තෙ

පොලොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ

තෙනුජ මනුනිත

පියා - එච්.එම්. විජේරත්න බණ්ඩාර (මහවැලි අධිකාරියේ ඒකක කළමනාකාර)

මව - පද්මා අයිරාංගනී (මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමනාකාරිනි)

විදුහල්පති - එච්. සී. රාජපක්ෂ

පන්තිභාර ගුරුතුමා - තුෂාර ප්‍රියදර්ශනි ගුරුතුමිය

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වන සිරිපුර ප්‍රාථමික විදුහල අඩුපාඩු හා දුෂ්කරතා රැසක් පිරි පාසලකි. එහෙත් එම සියලු බාධක මැද මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ප්‍රතිථල පෙන් වූ දරුවකු බිහිවීමත්, විභාගයට සිසුන් 47 දෙනකු ඉදිරිපත් වී ඉන් 21 දෙනකු සමත්වීම සුවිශේෂි සිදුවීමකි. මෙලෙසින් දුෂ්කර පාසලකින් මෙවන් දරුවකු ලැබු ජයග්‍රහණයක සතුට අප රටේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට කදිම ආදර්ශකි. ඔහුගේ එම ජයග්‍රහණයේ සතුට අපට හෙළි කළේ උතුරා ගලන සතුටින්.

“මගේ අක්කාත් ශිෂ්‍යත්ව විභාගය ලකුණු 176 ක් ගත්තේ මේ පාසලෙන්. එයා දැන් උසස් පෙළ කරනවා. අක්කගෙයි මගෙයි දෙන්නගෙම ආසාව තියෙන්නේ වෛද්‍යවරුන් වීම. තාත්තට ට්‍රාන්සර් එකක් ලැබූණු නිසා මම මාර්තු මාසේ සිට ඉගෙන ගත්තේ ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ . ඒ විද්‍යාලේ ගුරුවරුත් මට උදව් කළ නිසයි මේ ජයග්‍රහණය මම ලැබුවේ. මම හිතන්නේ මේ වගේ පාසලක ඉගෙන ගන්නකොට අපට ලොකු පහසුකම් නැහැනේ... ඒත් පොත් පත්තර කියවන්න කාලය හොඳට තියෙනවා. ගෙදර අයගේ උදව් ලැබෙනවා. ඒ ඇති මේ විභාගේ පාස් වෙන්න. කොරෝනා කියලා අපට ලොකු බයක් දැනුණෙත් නෑ. අපේ ලොකු සර්, පන්තිභාර තුෂාර සර් වගේම අනෙත් ගුරුවරු අපට හරි ආදරෙයි...ඒ නිසා අපිට පහසුකම් අඩුයි කියලා දැනුණේ නෑ. අපි හැම කෙනෙක්ම හරිම සතුටින්, එකමුතුව පාඩම් කරලා තමයි මේ වගේ ජයග්‍රහණයත් ලබා ගත්තේ“