වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මිශ්‍ර පාසලක ඉගෙනීමෙන් ලබන අත්දැකීම් පෞරුෂ වර්ධනයට බෙහෙවින්ම වටිනවා
විදුහල්පති ඇසින්
පාසල් කාලය දරුවන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවදියයි. ඒ නිසාම සතුටින් පිරුණු පාසල් කාලයක් ගෙවීමට දරුවාට ඉඩකඩ ලබාදීම මාපියන්ගේත් ගුරුවරුන්ගේත් වගකීමකි. ඒ වගකීම ප්‍රමුඛවම තම උර මත තබාගත්තෝ දැයේ දූ දරුවන්ගේ හෙට දවස නිසැකවම පැහැබර කරනු ඇත.
ඒ නිසාම අප පාසලක නියමුවන් වූ විදුහල්පතිවරුන්ගේ දෙනෙතින් දූ දරු ලෝකය විමසා බලන්නට ගන්නා වෑයමයි මේ. අද අපේ කතාබහට එක්වන්නේ ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි එච්. එම්. ගයානි වත්සලා ගුරුතුමියයි.
ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ඇත. මේ ගෙවී යන්නේ ඇගේ වෘත්තීය ජීවිතයේ තිස් වැනි වසරයි. උතුරු මැද පළාත, වයඹ පළාත, බස්නාහිර පළාත යන පළාත් තුනෙහිම පාසල්වල ගුරුවරියක, නියෝජ්‍ය විදුහල්පතිනියක, විදුහල්පතිනියක ලෙස ඇය සේවය කර තිබේ.
විදුහල්පතිතුමියනි, ඔබ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ කෙසේද?
ඒ කාලයේ දුෂ්කර රාජ්‍ය සේවය අනිවාර්යයි. ඒ අනුව ඉංග්‍රීසි ගුරු පත්වීමක් ලැබ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව කියන දුෂ්කර පළාතේ පාසලක මුල්ම ඉගැන්වීමේ කටයුතු ඇරැඹුවා. ඉන්පසු උතුරු මැද, වයඹ, බස්නාහිර පළාත් තුනෙහිම පාසල් කිහිපයක සේවයේ නියැළුණා. මේ මගේ හත්වැනි පාසලයි. මීට පෙර ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිධූරය දැරුවා.
කාන්තා පාසලක් පාලනය කිරීමේ අත්දැකීම කෙබඳු ද?
මමත් කාන්තා පාසලක ඉගෙන ගත් කෙනෙක්. එහෙත් මම දකින විදියට මිශ්‍ර පාසලක ඉගෙනීම ලබන දරුවකුට ලැබෙන අත්දැකීම් පෙළ මතු යම් දවසක පුද්ගල පෞරුෂයට බෙහෙවින්ම වටිනවා. ගැහැනු, පිරිමි සිතැඟි අවබෝධ කර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. එකිනෙකාගේ හැසිරීම් මොන වගේද චර්යාවන් මොන වගේද කියලා හඳුනා ගන්න ලැබෙනවා. කාන්තා හෝ පිරිමි පාසලක ඉගෙන ගන්න දරුවෙක්ට මේ අත්දැකීම් ලැබෙන්නෙ සමාජයට අවතීර්ණ වූ පසුවයි. එබැවින් එහි යම් අඩුපාඩුවක් ඇතැයි සිතනවා. මම මීට ඉහත සේවය කළේ මිශ්‍ර පාසල් පහක. ඒ ලත් අත්දැකීම් සමඟයි එම අදහස් පළ කළේ. අද මම විදුහල්පති ධූරය දරන ගම්පහ යශෝදරා බාලිකා විද්‍යාලයේ දියණිවරුන් 3700ක් ඉන්නවා. ගුරුවරු130ක් ඉන්නවා. ඉන් 10ක් පිරිමි ගුරුවරු.
මේ 3700 ම කෙදිනක හෝ සුවිශේෂී කාන්තාවන් බවට පත්වනවා. මවුවරු, බිරින්දෑවරුන් වනවා. එබැවින් ඔවුන්ට පාසලෙන් නික්මුණු පසු සමාජ වගකීම් දරා ගැනීමට, මනා ඉවසීම වගේම යහපත් චරිතයක් ඇතිව ජීවත්වීමට පාසලෙන් මනා පුහුණුවක් ලබා දී පවුලක් මෙහෙයවීමේ හැකියාව ලබාදිය යුතුයි.
ඔබේ පාසල ඒ වෙනුවෙන් යම් වැඩ පිළිවෙළක් ගෙන තිබේ ද?
ඔව්. පන්ති කාමරයේ විෂයන් 8 තුළින් පමණක් පරිපූර්ණ දරුවෙක් නිර්මාණය වන්නේ නැහැ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය පාසල් පන්ති කාමරයට සීමා වෙනවා. එහෙත් මගේ පාසලේ 6, 7, 8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දියණියන් සඳහා ප්‍රායෝගික අධ්‍යාපනය ලබාදීමට ගුරුවරුන්ට උපදෙස්, අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. එනම් මැහුම් - ගෙතුම්, ඉවුම් - පිහුම්, ක්‍රීඩා දැනුම තුළින් දියණියක් පරිපූර්ණ කිරීම අපේ වගකීමක් ලෙස අප දකිනවා. විශේෂයෙන් 8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දියණියන්. ඒ ඔවුන්ගේ ජීවිතේ තීරණාත්මක වයස් සීමාවක්. විශේෂයෙන් හෝමෝන වෙනස් වන හා ශාරීරික, මානසික වෙනස්වීම් රාශියක් වන අවධියක්. ඉතින් මේ අවධියේ ඔවුන්ට බොහොම කිට්ටුවෙන් වැඩිහිටියෝ කාලය ගත කරන්න ඕනේ. විනීතකම, හැදියාව, සංයමය ඔවුන්ගේ ජීවිතවලට ළඟා කර දිය යුතුයි. පාසල තුළින් ඇඳුම් පැලඳුම්වල සිට තරමක් තද නීති රීතිවලට අවනත කර ගෙන හදන්නට උත්සාහ කරන්නේ කෙදිනක හෝ ඔවුනට ගෞරවනීය චරිතයක් වීමටයි.
වර්තමානයේ ඉගෙනීමෙන් එසේත් නැත්නම් විභාග ප්‍රතිඵලවලින් පළමු තැන හිමි වන්නේ ගැහැනු දරුවන්ට ද පිරිමි දරුවන්ට ද?
අධ්‍යාපනයේ දී ගැහැනු හෝ පිරිමි දරුවන් ලෙසින් වෙන් කළ යුතු නැහැ. එසේ කිරීමට මා කැමැතිත් නැහැ. ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු හෝ වේවා සමාජයේ පිළිගත් උසස් තැනක සිටිය යුතුයි. අද සමාජයේ පිරිමි දරුවන් හා සමානවම ගැහැනු දරුවන් ද හොඳ අධ්‍යාපනයක් ලබනවා. ඒක ඇත්තටම සතුටුදායක කරුණක්. පීතෘ මූලික සමාජයක් ඇති අපේ රටේ කාන්තාව ද ඔවුන් හා සමාන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය කරනවා. මේ දෙපාර්ශ්වයෙන් එක් අයකු හෝ පහළ දමා හෝ ඉහළ දමා කතා කිරීම සුදුසු වන්නේ නැහැ. අපේ යුතුකම වන්නේ මේ දෙපාර්ශ්වයම රටේ අනාගතයත්, ඔවුන්ගේ අනාගතයත් වෙනුවෙන් ඉහළ තැනකට ගෙන යාමයි. එසේම ගැහැනු දරුවන්ගේ හා පිරිමි දරුවන්ගේ වෙනස් වූ විවිධ දක්ෂතා තිබෙනවා. අපි ගැහැනු දරුවෙක් පුරුදු පුහුණු කළ යුත්තේ කෙදිනක හෝ හොඳ යහපත් බිරියක් වගේම හොඳ මවක්, හොඳ ගෘහිණියක් හා සමාජ සේවිකාවක් කිරීමටයි.
ඔබේ මවත් රැකියාවක නියුතු අයෙක්. මව රැකියාවක් කිරීම ඔබතුමියගේ ජීවිතයට බලපෑවේ කෙසේද?
මගේ මව රජයේ නිලධාරිනියක්. දැන් විශ්‍රාමිකයි. ඇත්තෙන්ම ඇගේ රාජකාරි ජීවිතේ තිබුණේ කාර්යාලයට පමණයි. ඇය හොඳ බිරියක්. ඒ වගේම හොඳ මවක්. මේ සියල්ල එකට පටලවා ගත්තොත් ඉන් එකක් වත් සාර්ථක වන්නේ නැහැ.
එහෙත් මගේ මව මේ භූමිකා සියල්ල හඳුනාගෙන ඒ සියල්ලට සාධාරණයක් කළ අයෙක්. ඇය ගෙමිදුලේ මල් සහ විවිධ දේ වගා කළා. නංගිත් මමත් ඇන්දෙත් අම්මා මහපු සුදු ගවුම්. ඒ වගේම ඇය කටට රසට උයන්නත් හපනියක්. මේ සියල්ල කරන අතර මට, නංගීට, මල්ලිට හොඳ අධ්‍යාපනයක් ලබා දී රාජ්‍ය සේවයේ රැකියා ලබා ගැනීමටත් ඒ තුළින් රටට ලොකු සේවයක් කිරීමටත් මඟ පෙන්වීම සිදු කළා. කාන්තාවකගේ සැබෑ දක්ෂතාව විය යුත්තේ එයයි. ඇයගෙන් කිසිදු දෙයක් අතපසු වුණේ නැහැ. එබැවින් රැකියාවක නියුතු මව කාලය කළමනාකරණයේ දී වුව වඩාත් සාර්ථකයි කියා මා දකිනවා.
දියණිවරුන් තම භූමිකාව නිසි කලට නිසි පරිදි සිදු කිරීමේ වැදගත්කම පැහැදිලි කර දෙන්න.
කාන්තාවක් යනු ඇත්තටම අභිමානවත් කෙනෙක්. මේ දෙය තරුණ දියණිවරුන් අවබෝධ කරගත යුතුයි. තමන්ගේ සීමාව දැනගෙන වගකීමෙන් ජීවත් විය යුතුයි. කෙදිනක හෝ කාන්තාවක් ලෙස තමන්ට වැදගත් වන කුසලතා රැසක් තමා සතු කර ගැනීමට ඇය දක්ෂ විය යුතුයි. මල් වවන්න, මහන්න, ගොතන්න, උයන්න, පිහන්න මනා ලෙස දැන ගෙන ඒවායෙන් හොඳ අත්දැකීම් ගන්න හැකි විය යුතුයි. එවැනි කාන්තාවක් ගෙදරට ශ්‍රියා කාන්තාවක්. විභාග කේන්ද්‍ර නොවුණු අධ්‍යාපනයක් ලබා දීම තුළින් එවැනි කාන්තාවක් බිහි කළ හැකියි.