කිරට කිරක් නැත මෙහෙම කිරක් නැත

අගෝස්තු 26, 2024

 

මව් කුසෙහි දින, සති, මාස ගණන් ගෙවා දමමින් පුංචිම පුංචි කලලයක් ටිකෙන් ටික මෝරා වැඩෙයි. මවගේ පියාගේ කට හඬට, හුස්ම පොදට පවා පෙම් බඳින කිරිකැටියා මවගේ බඩට පයින් ගසමින් ඇඟිලි උරමින් වැදෑමහේ වතුර බෑගයක් තුළට වී සිටියි. මෙලොව එළිය දකින දා වනතුරු නොඉවසිලිමත්ව සිටින පුංචි බිලිඳා මවගේ තනපුඩුව සෙමින් සෙමින් උරා බොන්නේ අමෘතය ලැබුණාක් මෙනි.

නියමිත කාලය සම්පූර්ණ වී මව් කුසෙන් බිහිවන දරුවාගේ කායික හා මානසික වර්ධනය ආරම්භ වන බැවින් බිහිවූ මොහොතේම හැකි ඉක්මනින් මව්කිරි ලබාදීමට පටන් ගත යුතුය. අලුත උපන් දරුවා සෝදා පිරිසුදු කිරීමටත් පෙර මව්කිරි උරාබීමට සැලැස්වීම තුළින් දරුවාගේ පෝෂණ අවශ්‍යතා මෙන්ම දරුවා සහ මව අතර ඇතිවන බැඳීම වඩ වඩාත් සාක්ෂාත් වේ. එසේම අනාගතයේ ශක්තිමත් මෙන්ම බුද්ධිමත් පුරවැසියෙකු බිහි කිරීමේ අඩිතාලම ද සැකසේ. මෙම ක්‍රියාවත් සමඟම මව සහ දරුවා අතර ඇතිවන බැඳීම ජීවිත කාලය පුරාවටම පවතින අතර එය දරුවාට ඇතිවිය හැකි බොහෝ ලෙඩ රෝගවලින් රැක ගැනීමේ ආරක්ෂිත පියවර ද වේ.

 

මුලින්ම එරෙන රන්කිරි

 

අලුත උපන් දරුවාට ඉතාම සුදුසු ආරක්ෂිත ආහාරය වන්නේ මව්කිරි වන අතර දරුවාට අවශ්‍ය සියලු පෝෂක එහි අන්තර්ගත වී තිබේ. දරු ප්‍රසූතියෙන් පසුව මුල් පැය භාගය ඇතුළත මව විසින් නිපදවන ළා කහ පැහැති කිරි(මෙම කිරි සුදු පැහැ නොවේ. අවර්ණ හෝ රන්වන් පැහැවේ.) හෙවත් කොලෙස්ට්‍රම් ප්‍රමාණය ලබාදීමෙන් දරුවාට ඇතිවිය හැකි ඇදුම, පීනස වැනි ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ක්‍රියාවලිය තහවුරු වන අතර මෙම කාලය පුරාවටම නිපදවන මුල් කිරි සියල්ල දරුවාට ලබාදිය යුතුවේ. මෙලෙස පටන් ගන්නා මව්කිරි ලබාදීම මාස හයක් ගතවන තුරු ජලය හෝ වෙනත් කිසිවෙකුත් නොදී අඛණ්ඩව ලබාදිය යුතු වේ.

දරු ප්‍රසූතියෙන් පසුව ඕනෑම මවකට අවශ්‍ය තරම් ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුක්ත කිරි නිපදවීම සිදුවේ. එබැවින් සෑම මවක්ම තම දරුවාට මව්කිරි ලබා දිය යුතුවේ.

 

මව්කිරි ලබාදීමෙන් දරුවාට ලැබෙන වාසි

 

* දරුවාගේ වර්ධනයට හා විකසනයට අවශ්‍ය සියලු පෝෂක ප්‍රශස්ත මට්ටමින් දරුවාට ලැබෙයි.

* මව්කිරි පහසුවෙන් දිරවන අතර දරුවාට හොඳින් අවශෝෂණය වේ.

* දරුවාට ඇතිවිය හැකි පාචනය, ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාදන හා ශ්‍රවණ ආබාධ වලින් ආරක්ෂා කරයි.

* මලබද්ධය වළකයි.

* ඉතා පිරිසුදු වන අතර ඕනෑම විටෙක ලබා දිය හැකියි.

* මව හා දරුවා අතර සම්බන්ධතාව වැඩි කරයි.

* ජීවිතයේ පසු කාලීනව ඇති විය හැකි අසාත්මිකතාවන් වන ඇදුම සමේ රෝග ආදිය වළකාලයි.

* බෝ නොවන රෝග හෝ තරබාරුව, දියවැඩියාව, හෘද රෝග ඇතිවීම වළකාලයි.

 

මව්කිරි ලබාදීමෙන් මවට ලැබෙන වාසි

 

* පසු කාලයේදී ඇතිවිය හැකි පියයුරු පිළිකා අවදානම ඉවත් වේ.

* ගැබ් ගෙන තිබූ කාලයේදී නිසි ප්‍රමාණයට වඩා ශරීරයේ බර වැඩිවී තිබුණේ නම් බර අඩු කර ගැනීමට උපකාරී වෙයි.

* ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවදානම ඉවත්ව යයි.

* අස්ථි දිරායාමේ (ඔස්ටියෝපොරෝසීස්) අවදානම ඉවත් වේ.

* රුධිර වහනය වීම අඩුවේ.

කිසිම හේතුවක් නිසා අවුරුදු දෙකට අඩු දරුවකුට පිටිකිරි ලබාදීම නොකළ යුතුයි. පිටිකිරි දීම මඟින් දරුවාගේ කායික මෙන්ම බුද්ධි වර්ධනයද අඩුවේ. විශේෂයෙන්ම එළදෙනුන්ගෙන් ලබා ගන්නා පිටිකිරි ලබාදීම නොකළ යුතුය.

 

හරක් පැටියකු මෙලොවට බිහි වන්නේ මොළය සම්පූර්ණයෙන්ම වැඩී අවසන් වූ පසු නිසා එළදෙනගේ කිරිවල මොළය වැඩීමට අවශ්‍ය වන සංඝටක (ඇමයිනෝ අම්ල වැනි) අඩංගු නොවේ. මිනිස් දරුවකු බිහි වී වසර පහක් යන තෙක් මොළය වර්ධනය සිදුවන අතරම (විශේෂයෙන් මුල් වසර දෙක තුළ) මව්කිරි වල ළදරුවාගේ මොළය වැඩීමට අවශ්‍ය සංඝටක අන්තර්ගතය. එබැවින් දරුවාට අවශ්‍ය සියලු පෝෂක සංඝටක සහිත මව්කිරි වෙනුවට එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි ලබාදීම සුදුසු නොවේ.

මව්කිරි දීම මඟින් මවත් දරුවාත් අතර ඇතිවන මානසික බැඳීම හේතු කොටගෙන දරුවාගේ පෞරුෂත්වය වර්ධනය වන අතර මව්කිරි ලබාදීමේදී දරුවාගේ දෑසත් මවගේ දෑසත් හමුවීමත් සමඟ, මව හා දරුවාගේ ශරීර ස්පර්ශය වීමත් සමඟ දරුවා සමඟ ආදර බස් දෙඩීමත් අවශ්‍යය. එමඟින් දරුවාගේ මානසික වර්ධනයට ලැබෙන පිටිවහල අපමණය.

 

 

දරුවා අසනීප වූ විට

 

අසනීප වූ කාලය තුළ පවා දරුවාගේ පෝෂණය පවත්වාගෙන යෑමට මව්කිරි ඉතා වැදගත් වන අතර එමඟින් දරුවාගේ සුව වීම කඩිනම් වෙයි. එසේම මෙම රෝගීවීම් තුළ දරුවාගේ වර්ධනය අඩාළ වීම සිදුවන අතර දරුවාට වැඩි වැඩියෙන් දියර වර්ග හා ශක්තිය අවශ්‍ය වන හෙයින් නොනවත්වාම මව්කිරි ලබාදීම කළ යුතුය. කිරි ලබා දෙන වාර ගණන වැඩි කිරීම මඟින් දරුවාට නිසි පෝෂණය හා ඉක්මන් සුවවීම යන ප්‍රතිලාභ අත්වේ.

 

දරුවාට අවශ්‍ය තරම් කිරි ඇතිද?

බොහෝ මව්වරුන්ට කිරි දින සමයේදී ඇතිවන අනියත බියක් වන්නේ දරුවාට ලැබෙන කිරි ප්‍රමාණවත්ද යන්නයි. දරුවකු ප්‍රසූත කළ මවකගේ පියයුරු සමාන කර ඇත්තේ උල්පතකටය. කොතෙක් ගලා ආවද සිඳීමක් නැත. දෙන තරමටම යළි යළිත් නිෂ්පාදනය වේ.

 

ගබඩාවක් හිස් වන්නට හිස් වන්නට එය පිරවෙන්නාක් මෙනි. එම නිසා කිරි ප්‍රමාණවත් ද යන අනියත බියක් ඇතිකර ගැනීම නිසා මතුවන මානසික බිය හේතුවෙන් කිරි එරීමේ ක්‍රියාවලියටද බලපෑමක් මතුවී කිරි නිපදවීමේ අඩුවක් ඇතිවිය හැකියි. එසේම සමහර කාන්තාවන් මෙම අනියත බිය නිසාම තම පෝෂණය රැක ගැනීමට යැයි සිතා වෙළෙඳ දැන්වීම් මඟින් ප්‍රචාරය කරන විවිධ කෘත්‍රිමව සැකසූ ආහාර පාන ලබා ගැනීමට පුරුදුව සිටියි. එමඟින් ලැබෙන කිසිදු ප්‍රතිඵලයක් නැත. සිදුවන්නේ ස්වභාවික ආහාරපාන ලබා ගැනීමට ඇති මුදල් නිකරුණේ නැතිවීමත් තමාට හා තම පවුලේ සැමට එකට භුක්ති විඳිය හැකි ආහාර ලබා ගැනීමට තිබූ අවස්ථාවන් අහිමි කර ගැනීමත්ය.

දරුවාට අවශ්‍ය තරම් කිරි ඇති ද යන ගැටලුව මතුවන මව්වරුන්ට ඒ සඳහා ඉතාම සරල පිළිතුරක් පවතී.

 

පිට කරන මුත්‍රා ප්‍රමාණය

එනම් දරුවා ඉපදී දින කිහිපයකට පසු දිනකට හය වතාවකට වඩා මුත්‍රා කරන්නේ නම් දරුවාට අවශ්‍ය තරම් කිරි ලැබෙන අතරම එය නිරෝගී දරුවකුගේ ලක්ෂණයක්ද වේ. ඊට අඩු වාර ගණනක් මුත්‍රා පිට කරන්නේ නම් ඉතා ඉක්මනින් මව්කිරි දීම හා සබැඳි ගැටලුවක් ඇති බව හඳුනාගත හැකියි.

මාස හතරට වැඩි දරුවන්ගේ මුත්‍රා සාන්ද්‍රණය වැඩිනම් තද කහ පැහැ නම් හෝ ගන්ධයක් සහිත නම් මව්කිරිදීමේ ගැටලුවක් ඇති බවට සැක කළ හැකියි.

 

බර වැඩිවීම

පළමු සිව් මස තුළ මසකට අඩුම වශයෙන් ග්‍රෑම් 500ක් හෝ සතියකට ග්‍රෑම් 125 කින් බර වැඩි විය යුතුයි. මසකට බර වැඩිවීම ග්‍රෑම් 500කට අඩු වුණහොත් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. බර සටහන බැලීමෙන් ඉතා ඉක්මනින් මෙය තේරුම් ගැනීමට හැකිවේ.

 

 

මව අසනීප වූ අවස්ථාවක මව්කිරි ලබාදීම

මව දරුණු ලෙස රෝගාතුර වූ අවස්ථාවක හැර සාමාන්‍ය රෝගී තත්ත්වයක් සහිත අවස්ථාවකදී මව්කිරි ලබාදීම දිගටම පවත්වාගෙන යා හැකියි.

මව ලබාගන්නා සමහර ඖෂධ දරුවාට බලපෑමක් ඇති කරන අවස්ථාවක, උදාහරණ ලෙස පිළිකා සඳහා භාවිත කරන ඖෂධ මව්කිරි දීම හා සම්බන්ධව වෛද්‍ය උපදෙස් අවශ්‍ය වේ.

රෝගී තත්ත්වයක් ඇති විට මවගේ සිරුර මඟින් නිපදවන ප්‍රතිදේහ මව්කිරි ඔස්සේ දරුවාට ගමන් කරන නිසා ඉන් දරුවාට රෝගය බෝවීම වළකියි.

තාවකාලිකව මව්කිරි දීම නවතන අවස්ථා

මෙවැනි අවස්ථා කලාතුරකින් පවතී.

* දරුවා ලැබුණු පසු මවට HIV වයිරසය ශරීරගතව ඇත්නම් හෝ ඒඩ්ස් රෝගය වැලඳී ඇත්නම්

* මානසික රෝග උත්සන්න වීම, ඉතා අධික රුධිර පීඩනය හෝ කම්පන අවස්ථාවක මව සිටින විට කිරි දීම අපහසුය.

* මවගේ තනපුඩු මත හර්පීස් රෝගයේ බිබිළි හටගෙන ඇති අවස්ථාවලදී

* පිළිකානාශක ඖෂධ, විකිරණශීලී ඖෂධ හෝ වෙනත් අහිතකර ඖෂධ ලබාගන්නා අවස්ථාවල වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මව්කිරි දීම ළදරු පෝෂණය හා මව සහ දරුවා අතර බැඳීමෙහි තීරණාත්මක අංගයකි. කෙසේ වෙතත් බොහෝ කිරි දෙන මව්වරුන් තනපුඩුවල වේදනාව සහ අනෙකුත් තනපුඩු සම්බන්ධ ගැටලු අත් විඳින අතර එය අභියෝගාත්මක හා වේදනාකාරී විය හැකියි.

 

පියයුරු ආසාදනය වීම

පියයුරේ එක් ප්‍රදේශයක් රතු පැහැ ගැන්වී රත් වී වේදනා ගෙන දෙන තත්ත්වයක් පවතී නම් එය පියයුරු ආසාදනයක් බවට අනුමාන කළ හැකියි. ආසාදනයක් නම් එයට මුල් කාලයේම ප්‍රතිකාර නොලැබීමෙන් පියයුරේ සැරව ගෙඩි ඇතිවිය හැකියි. මෙය කලාතුරකින් දැකිය හැකිවුවත් ඉතාම වේදනාකාරී තත්ත්වයකි.

සැරව ගෙඩියක් ඇති වුවහොත් කුඩා ශල්‍යකර්මයන් මඟින් එහි ඇති සැරව ඉවත් කළ යුතුයි.

 

ආසාදනය වීමට හේතූ

* තනපුඩු පැළී විෂබීජ ඇතුළු වීම

* කිරි නාළ අවහිරවීමෙන් සෑදුණු කිරි සහිත ගැටිති සඳහා ප්‍රතිකාර නොකර සිටීම

* ප්‍රතිශක්තිය හීන වීම හා දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළීම.

 

වැළැක්වීම හා ප්‍රතිකාර

* තනපුඩු වල තුවාල හෝ පැළීම් ඇත්නම් වෛද්‍ය

ප්‍රතිකාර සඳහා යොමුවීම

* කිරි නාළ අවහිරවීමෙන් ඇතිවන ගැටිති සඳහා

ප්‍රතිකාර ලැබීම

* මව්කිරි දීම නොනවත්වා කරගෙන යෑම

* ආසාදනය සහිත පියයුරෙහි කිරි දොවා ඉවත් කිරීම

* මවට ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක ලබාදීම

* සැරව සහිත ගෙඩි තිබේ නම් සැරව ඉවත් කිරීම

* නිතර කිරි ලබාදීම, වැඩිපුර කිරි ඇත්නම් දොවා ඉවත් කිරීම

 

කිරි මව්වරුන් අතර බහුල ගැටලු

 

පැතලි හා ගිලුණු තනපුඩු

ගිලුණු තනපුඩු කිරි දීමට බාධාවක් නොවේ. තනපුඩුව ද සමඟින් පියයුරේ ඇරියොලාව කොටස ද දරුවාගේ මුඛයට වැඩි ප්‍රමාණයක් යන සේ හොඳින් සම්බන්ධ කර කිරි දීමට පුහුණු කළ යුතුයි. පියයුරු අවශ්‍ය ලෙස හැඩගස්වා ගැනීමෙන් ද කිරි බීම ආරම්භ කිරීමට පෙර තනපුඩු පිටතට ගැනීමද රුකුලක් වේ. තනපුඩුව අතින් සැකසීම, සිරින්ජරයක ආධාරයෙන් ද මෙය කළ හැකියි.

 

කිරි තදවීම

පියයුරේ නිපදවන කිරි නිසි ලෙස ඉවත් නොවී ග්‍රන්ථි තුළ රැඳී තිබීම මීට හේතු වේ.

* වැඩි කිරි ප්‍රමාණයක් තිබීම

* කිරි දීම ආරම්භය ප්‍රමාද වීම

* දරුවා නිසි ලෙස පියයුරට සම්බන්ධ නොවීම

* නිතර නිතර කිරි ඉවත් නොවීම

* කිරි බොන කාලය සීමා කිරීම

මේ සඳහා බලපායි.

 

කිරි තද වීම වැළැක්වීම හා ඒ සඳහා ප්‍රතිකාර

* ප්‍රසූතිය අවසන් වූ විගස මව්කිරි ලබාදීම

* පියයුරට දරුවා හොඳින් සම්බන්ධ කිරීම

* මව්කිරි දීම සීමා නොකිරීම

කිරි තද වූ පියයුරක් නම්

දරුවාට නිතර නිතර කිරි උරාබීමට සැලැස්වීම මෙහිදී හොඳම ක්‍රමය වේ. දරුවාට කිරි උරා බීමට නොහැකි නම් අතින් කිරි දොවා අස්කළ යුතුවේ. කිරි හොඳින් ගලා එන්නේ නම් සෙමින් ක්‍රමිකව කිරි දෙවීම කළ හැකියි. එසේ නැත්නම් උණු ජලයෙන් පියයුරු තැවීමෙන් හා සම්බාහනය කිරීමෙන් අනතුරුව කිරි දෙවිය හැකියි.

උණු දිය ස්නානය මෙහිදී සුදුසුය. කිරි දෙවීමෙන් අනතුරුව හෝ කිරි උරා බීමෙන් අනතුරුව පියයුර සිසිල් කළ යුතුයි. නැවත කිරි ගලා ඒම පාලනයට එය වැදගත්ය.

තනපුඩු තුවාල වීම හා පැළීම

පියයුරට දරුවා නිසි ලෙස සම්බන්ධ නොවී තනපුඩුව පමණක් උරා බීම ප්‍රධාන හේතුවයි. දිලීර ආසාදන කලාතුරකින් හේතු විය හැකියි.

 

වැළැක්වීම හා ප්‍රතිකාර

* දරුවා නිසි ලෙස පියයුරට සම්බන්ධ කර කිරි දීම (තනපුඩුව සමඟ ඇරියොලාවේ වැඩි ප්‍රමාණයක් මුඛය තුළට දීම)

* කිරි බීමට නොහැකි ලෙස තුවාල වී ඇත්නම් තාවකාලිකව විවේකව තැබීම

* කිරි බීමෙන් පසු කිරි ස්වල්පයක් තනපුඩුවේ ආලේප කර වාතයට නිරාවරණය කර තැබීම

 

මව්කිරි ප්‍රමාණවත්ව නොලැබීමට හේතු

මව්කිරි දීමේ ගැටලු

 

* කිරි වේල් ගණන අඩුවීම /කෙටි කිරි වේල් දීම

* රාත්‍රියට කිරි නොදීම

* දුර්වල සම්බන්ධය

(තනපුඩුවට නිසි ලෙස සම්බන්ධ නොවීම)

* බෝතල්, සූප්පු භාවිතය හෝ අමතර වෙනත් දෑ ලබාදීම

 

මවගේ මානසික ගැටලු

* ආත්ම විශ්වාසයක් නොමැති බව

* දුක, කලකිරීම, අධික පීඩාව ආදී මානසික කැළඹීම්

* මව්කිරි ලබාදීමට අකමැත්ත

* දරුවා ප්‍රතික්ෂේප කිරීම

 

මවගේ කායික ගැටලු

* නැවත ගැබ් ගැනීම

* ඖෂධ වර්ග (උදාහරණයක් ලෙස උපත් පාලන ගිලින පෙති ගැනීම)

* අධික තෙහෙට්ටුව හෝ මව දුර්වල වීම, පෝෂණය අඩු බව

* දුම්පානය, මත්පැන් පානය

* පියයුරු ආශ්‍රිත ගැටලු තත්ත්වයන්

 

දරුවාගේ තත්ත්වයන්

* රෝගී වීම

* අසාමාන්‍ය තත්ත්ව උදාහරණයක් ලෙස විදලිත තල්ල

 

මව්කිරි නිපදවීමට බලනොපාන සාධක

* මවගේ වයස

* ආර්තවය

* සංසර්ගය

* රැකියාවට යෑම

* දරුවාගේ වයස

* සීසර් ශල්‍යකර්මය

* දරුවන් ගණන

* සරල ආහාර ගැනීම

* පිටිකිරි පාන නොගැනීම හෝ විශේෂ පෝෂණ ආහාර ලැබීම

* පියයුරේ ප්‍රමාණය

 

කිරි එරීම සඳහා ඔක්සිටොසීන් ප්‍රතීකය උත්තේජනය කිරීම

* කිරි අඩු වූ මවකට හෝ කිරි දෙවිමට අවශ්‍ය වන විට මවකට කිරි එරීම සඳහා උත්තේජනයන් ලබාදිය හැකියි. ඒ සඳහා නිවෙසේ අනික් අයගේ සහය ලැබිය යුතුයි.

* ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට මවට සහය වීම

* වේදනාවක් හෝ මානසික පීඩන තත්ත්වයන් තිබේ නම්

සහනයක් ලබා ගැනීමට උපකාර කිරීම

* ධනාත්මක සිතුවිලි, යහපත් හැඟීම් ඇති කර ගෙන

දරුවාගේ කටයුතු සිදුකිරීමට මවට සහාය වීම.

* කිරි දීමට පෙර උණුසුම් පානයක් ගැනීම.

* පියයුරු තැවීම

* උණුසුම් වතුරෙන් ඇඟ සේදීම හෝ නෑම.

* තනපුඩු උත්තේජනය කිරීම

* ඇඟිලි තුඩු හෝ පනාවක් භාවිත කරමින් පියයුරු පිරිමැදීම

* මිට මොළවා ගත් අතින් පියයුරු දිගේ තනපුඩු දෙසට තෙරපීම.

 

විශේෂිත සම්බාහන ප්‍රතිකාර ලබාදීම

 

* වාඩි වී හෝ ඉදිරියට නැමී ඉදිරිපස ඇති මේසයක් හෝ ඇඳක් මතින් දෑත තබාගන්න.

* පියයුරු එල්ලා වැටෙන සේ තිබිය යුතුයි.

* උඩුකය නිරුවතින් තිබිය යුතුයි.

* පිටුපසින් සිටින කෙනකු මවගේ කොඳු ඇට පෙළ දෙපස පිට උඩ සිට පහතට මහපට ඇඟිල්ල හා මිට මොළවා ගත් අතින් සෙමෙන් සෙමෙන් පිරිමැදීම.

* මහපට ඇඟිල්ලෙන් සම තෙරපා කවාකාර ලෙස පිරිමැදීමත්

බෙල්ලේ සිට උරපතු ඇට දක්වාත් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් මෙසේ කොඳු ඇට පෙළ දෙපස පිරිමැදිය යුතුය.

 

 මව්කිරි දිය යුතු නිවැරැදි ආකාරය

 

* සෑම මවක්ම මව්කිරි දිය යුතු නිවැරැදි ඉරියව් ගැන දැන සිටිය යුතුයි.

* මේ සඳහා වෛද්‍යවරයකු, හෙදියක, පවුල් සෞඛ්‍ය නිලධාරිනියක හෝ වෙනත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු යන අයගෙන් උපදෙස් ලබාගත හැකියි.

* දරුවා නිවැරැදි ලෙස පියයුර වෙත ළංකොට තබා ගැනීමෙන් කිරි සැපයුම ඉක්මන් වන අතර කිරි දීමද පහසු වේ. වේදනාව ඇති කරන, ඉදිමුම සහිත පියයුරු පැළුණු සහ වණ වූ තනපුඩු ඇතිවීමද මෙමඟින් වළක්වා ගත හැකියි.

 

පසු ප්‍රසව සමයේ මව්කිරි වඩන ආහාර

 

පුංචි බිලිඳාගේ පණ රැකෙන්නේ ආදරණීය අම්මාට එරෙන කිරි ටිකෙනි. ඇය අසීමිත කැපකිරීම් සිදුකරමින් තම ලෙයින් උපන් කිරිකැටියා කිරෙන් පෝෂණය කරන්නට ඇප කැප වේ.

කිරිකැටියාට ජීවිතයේ මුල් අවධිය ගත කිරීමට අවශ්‍ය කරන සෑම පෝෂණ සංඝටකයක්ම මව්කිරි වල නොඅඩුව අන්තර්ගත වේ.

කිරි නිපදවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට මවගේ සිරුරේ නිරෝගීබව සහ පෝෂණය මනාව පවත්වාගෙන යෑම අතිශය වැදගත් වේ.

මේ නිසාම මුල් මාස කිහිපයේ කිරි දෙන අම්මා කෙනකුගේ ආහාරපාන, සාමාන්‍ය කෙනකුගේ ආහාරපානවලට වඩා යම් විශේෂත්වයක් දැක්විය යුතු වනවා. මෙය පූර්ව ප්‍රසව සමයේ සිටම සිදු විය යුතු දෙයකි. දරු ප්‍රසූතියෙන් පසු ශරීරය සුවපත් කිරීමට ශක්තිය ලබා ගැනීමට මෙන්ම කිරි නිපදවීමට මේ අමතර පෝෂණය ඉවහල් වේවි.

ප්‍රෝටීන

මාළු - වෙනදට එක මාළු කෑල්ලක් නම් කන්නේ මාළු කෑලි එකහමාරක් හෝ දෙකක් ගැනීම සුදුසුයි.

මස් බිත්තර වුවත් ඒ හා සමානයි.

යකඩ - දරු ප්‍රසූතියේදී අහිමි වුණු රුධිරය නැවත ලබා ගැනීමට යකඩ අවශ්‍ය වේවි. මස්, මාළු, නිවිති, පරිප්පු ධාන්‍ය වර්ගවල යකඩ යහමින් අඩංගුවේ.

කැල්සියම් - කිරි දෙන මවකට ඉතාම අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. කිරි, කිරි ආහාර, කොළ පැහැති එළවළු, ආමන්ඩ්, ටෝෆු

ඔමේගා 3 - දරුවාගේ මොළයේ වර්ධනයට ඉවහල් වේ. තෙල් සහිත මාළු වර්ග, අලි පේර, සැමන්, බිත්තර, වෝල් නට්ස්

විටමින් - අලුත් එළවළු සහ අලුත් පලතුරු

මීට අමතරව නිර්දේශ කර ඇති අන්දමට ප්‍රසූතියෙන් පසුවත් සායනයෙන් ලබා දෙන විටමින් සහ අතිරේක පෝෂක ලබාගැනීම වැදගත් වේවි.

මව්කිරි දෙන සමයේ මවක් හැම විටම වතුර හෝ පාන වර්ග වැඩිපුර ගැනීම වැදගත්. සීනි සහිත බීම,අධික ලෙස කාබෝහයිඩ්‍රේට් සහ මේද ආහාරවලින් වැළකීමත් වැදගත්.

 

මව්කිරි එරීම වැඩි කරන ආහාර වර්ග

කිරි අගුණ සහ තිත්තාගුණ

අතීතයේ සිටම ගැබිනි අම්මගේ බත් පතේ අගුණ කොළ සම්බෝලය වැරදුනේ නැහැ.

කොස්

බබෙක් ලැබුණු අම්මා කෙනෙකුට පොලොස්, කිරි කොස් අනිවාර්යයෙන්ම හොයලා හරි දෙන කෑමක්. ගහ යටින් ගියත් කිරි එරෙන කොස් කියලා තමයි කිව්වේ.

තුඹ කරවිල/කරවිල

තුඹ කරවිල වගේම තිත්ත කරවිලත් අම්මලට කිරි එරෙන සාම්ප්‍රදායික ආහාරයක්.

කෙසෙල් මුව

මලබද්ධයෙන් වළකින්නත් කිරි එරෙන්නත් සුදුසු කෑමක්.

කුරකන්, කොල්ලු, තැම්බුම් හොදි, සූදුරු, උළුහාල්, මහදුරු, කුරුඳු, කොත්තමල්ලි වගේ කුළුබඩු, තල ඇට, පොල්, බතල, රාජා අල, ඉඟුරු, රතු ලූනූ, මුරුංගා, අමු පැපොල්, වට්ටක්කා, නෙළුම් අල, වැව් මාළු කිරි එරවන කෑම වර්ග.

කිරි දෙන කාලෙදි සංතෘප්ත මේද, සොසේජස්, මීට්බෝල්ස් වගේ සකසන ලද කෑම වර්ග, කෝලා බීම, ගැඹුරු තෙලේ කීප වරක් බදින ලද කෑම ජාති, ක්ෂණික ආහාර හැකි තරම් සීමා කළ යුතුයි. වස විස කෘමිනාශක ගැසූ කෑමවලට වඩා ගමේ ගොඩේ වැවෙන කාබනික ආහාර ගැනීම ඉතාම සුදුසුයි.

 

ගු ඩුස් යැවීම හා කිරි වමනය යෑම

 

කිරි උරා බොන දරුවන් උරා බිව් කිරි අතිරික්තය හෝ පිරුණු වාතය සමඟ කිරි ප්‍රමාණයක් නැවත පිට කිරීම සාමාන්‍ය තත්ත්වයකි.

මව්කිරි උරා බොන දරුවකු නිසි ලෙස පියයුරට සම්බන්ධ නොවූ විට හෝ යම්කිසි ආකාරයකින් කිරි උරාබීමේදී වාතය ස්වල්පයක් ඉබේම පෙවීමට ඉඩ ඇත. මෙලෙස වාතය ළදරු කුසට ඇතුළු වීම ළදරුවාට අපහසුතා ඇති කරයි. මේ නිසා කිරි වේලකින් අනතුරුව දරුවා කෙළින් වඩා ගෙන එම වාතය ඉවත්වීමට ඉඩ සලසයි. මෙය ගුඩුස් ඇරීම නම් වේ. මෙසේ කළ විට වාතය පිට නොවුණාද කියා කලබල විය යුතු නැත.

 

ගුඩුස් යැවීමේ නිවැරැදි ඉරියව්

දරුවා ඉහළට වඩා ගැනීමේ දී දරුවාගේ උදරය මවගේ උරහිසට මඳක් පහළට වන්නට හොඳින් තද වන සේ තිබිය යුතුය. දරුවාගේ හිස සහ දෑත් මවගේ උරහිසේ පිටුපසටත් දරුවාගේ කිහිලි උරහිස උඩටත් තිබෙන සේ දරුවා තබා ගත යුතුය.මෙලෙස තබා ගැනීමෙන් පසු දරුවාගේ පිට පිරිමැදීම සිදුකරන විට ගුඩුස් යන හඬින් වාතය පිටවීම සිදුවේ. නැතහොත් දරුවා ඔබේ උකුළ මත කෙළින් අතට තබාගෙන සිටීමෙන්ද ගුඩුස් යැවීම කළ හැකියි.

නාසයෙන් කිරි පිටවීම

නාසයෙන් කිරිපිටවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද සමහර විටෙක පෙනහලුවලට යෑම සිදුවිය හැකියි. මේ නිසා එලෙස කිරි වමනය දමන දරුවන් කිරි බිවූ පසු හොඳින් ගුඩුස් යවා තැබීම අවශ්‍යයි. එලෙස කිරි නාසයෙන් පිටවෙන අවස්ථාවල දරුවා උඩට එසවීම නොකරන්න. හරවා තබන්න.

කිරි බොන වාරයක් පාසා කිරි වමනය යෑම හා වැඩිපුර කිරිවමනය යෑම

මෙලෙස කිරි වැඩි ප්‍රමාණයක් ඉවතට යෑම මව්වරුන් බියට පත් කරයි. නමුත් දරුවාගේ බර අඩු නොවේ. යම්කිසි පමණකට මුත්‍රා කරයි නම් එය සාමාන්‍යයි. ප්‍රතිකාර අනවශ්‍යයි.

කිරිමැලියම්

මැලියම් ලෙස සුදු පැහැයට දරුවාගේ දිවෙහි බැඳී ඇති නම් පිරිසුදු රෙදි කැබැල්ලක ඇඟිල්ල ඔතා දරුවා නාවන විට ඉතා මෘදුව ප්‍රවේසම්ව පිස දැමීම කළ හැකියි. මෙය අත්‍යවශ්‍ය නොවේ. නමුත් අපිරිසුදු රෙදි කැබැලි හෝ ඇඟිලි හෝ වෙනත් රසායනිකයන් (ග්ලිසරින් වැනි) හෝ භාවිතකර කිරි බොන දරුවන්ගේ මුඛය පිරිසුදු නොකළ යුතුය.

කිරි වමනය යෑම

උපතේ සිට අවුරුදු එකහමාරක් පමණ යන තෙක් මව්කිරි බොන දරුවන්ට කිරි වමනය යා හැකියි. මෙය රෝගී තත්ත්වයක් නොවේ. ළදරු උදරය පමණට වඩා පිරීම නිසාත් කිරි උරා බීමෙන් පසු සිදුවන ආමාශ සංකෝචන නිසාත් නොවැඩුණු පේශීන් වැනි විවිධ හේතු නිසා සාමාන්‍යයෙන් කිරිවමනය ඇතිවෙයි.

ආමාශයේ වාතය එකතු වී තිබීමෙන්ද දරුවාට කිරිවමනය යෑමට ඉඩ ඇත. ගුඩුස් යැවීමෙන් මෙම තත්ත්වය වළකා ගත හැකියි. කිරි බීමෙන් අනතුරුව සමහර දරුවන්ගේ කට දිගේ කිරි ටිකක් ගලා ඒමද සාමාන්‍යයි.

කිරි පොවා ගුඩුස් යැවීමෙන් අනතුරුව දරුවා පැත්තකට හරවා නිදි කරවන්න. හදිසියේ කිරි වමනයක් සිදුවුවහොත් ස්වාස නාලයට ගමන් නොකොට පිටතට පෙරීම එමඟින් සිදුවේ. ඈතට විදින ලෙස හෝ කහ, කොළ පැහැයට වමනය යන්නේ නම් පමණක් වෛද්‍ය උපදෙස් අවශ්‍යයි.

 

ගත යුතුය. මෙලෙස තබා ගැනීමෙන් පසු දරුවාගේ පිට පිරිමැදීම සිදුකරන විට ගුඩුස් යන හඬින් වාතය පිටවීම සිදුවේ. නැතහොත් දරුවා ඔබේ උකුළ මත කෙළින් අතට තබාගෙන සිටීමෙන්ද ගුඩුස් යැවීම කළ හැකියි.

 

මව්කිරි දෙවීම

දරුවාට මව්කිරි සාමාන්‍ය ලෙස උරාබීමට හෝ මවට දරුවාට කිරි දීමට නොහැකි විට වෙනත් ආකාරයකට පියයුරෙන් කිරි ඉවත් කිරීම මව් කිරි දෙවීම නම් වේ.

 

මව්කිරි දෙවීම සිදුවන්නේ කුමන අවස්ථාවන්හිදී ද?

* නියමිත දිනට පෙර උපත ලද හෝ ඉතා බර අඩු කිරි උරාබීමට නොහැකි දරුවන්ට පෙවීම සඳහා (මොවුන්ට මුල් දිනවලදී කිරි උරාබීමට ශක්තියක් නැත.)

* කිරි තද වූ විට දරුවාට පියයුර අල්ලා ගැනීමට අපහසුවේ. එවිට දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ කරවීමට නම් කිරි ස්වල්පයක් දොවා පියයුරේ කළු කොටස (ඇරියොලාව) ඉතා මෘදු කළ යුතුවේ.

* රාජකාරී කරන මවකට රාජකාරී වේලාවේ දී දරුවා පෝෂණය සඳහා රාජකාරියට යාමට පෙර කිරි දෙවිය යුතුවේ.

* එමෙන්ම රාජකාරියට ගිය මවගේ කිරි අඩුවීම වැළැක්වීමට රාජකාරී වේලාවේදී පැය තුනකට වරක්වත් කිරි දෙවිය යුතුවේ. පියයුර නිතර නිතර හිස් වූයේ නැත්නම් එහි කිරි නිපදවීම අඩුවේ.

* ගිලුණු තනපුඩු ඇති මව්වරුන්ගෙන් දරුවා කිරි උරාබීමට පුරුදු වන තුරු ඔවුන්ට මුල් දින කිහිපයේදී කිරි දොවා පෙවිය යුතුය.

* දරුවා හෝ මව දැඩි ලෙස අසනීප වී (කිරි දීමට නොහැකි විට) හෝ කිරි උරා නොබොන විට කිරි නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීමට කිරි දොවා අස් කළ යුතුවේ. නැතහොත් පියයුර හිස් නොවන විට කිරි නිපදවීම අඩුවිය හැකියි.

 

පියයුරේ කිරි ඇත්තේ කොහෙද?

පියයුර කොටස් 15 - 16 පමණ සමන්විත වේ. ඒ සෑම කොටසකම කිරි නිපදවන සෛල ඇති අතර ඒවා නාළ මඟින් තනපුඩුවට සම්බන්ධ වේ. මෙම නාළ තනපුඩුවෙන් පිටතට විවෘත වීමට පෙර තන මඬලට එසේත් නැතහොත් පියයුරේ කළු කොටස යටදී විශාල වී කිරි එකතු වන කොටසක් බවට පත්වේ. ඉන්පසු නැවත එය කුඩා වී සිදුරු ලෙස තනපුඩුවෙන් පිටතට විවෘත වේ. කිරි එකතුවන කළු කොටස ඇරියුලාව නම් වේ. දරුවාට බීමට මෙන්ම දොවා ගත හැකි වන්නේද වන්නේද මෙම කළු කොටසට ඇරියොලාවට යටින් එකතු වන කිරි පමණි. කිරි දොවා ගැනීමට නම් කිරි සෑදෙන ග්‍රන්ථිවල සිට එම කිරි පහළට ගලා ආ යුතු වේ. සාමාන්‍යයෙන් මේ සිදු වන්නේ දරුවා කිරි උරන විටය.

ඔබ දරුවාට කිරි දෙන මවක් නම් පළමුව දරුවාට කිරි උරා බොන්නට දී දෙවනුව අනෙක් පියයුරෙන් හා පළමු පියයුරෙන් කිරි දොවා ගන්න. දරුවා කිරි උරා බිවූ පසු කිරි පහළට ගලා එන නිසා කිරි දෙවීමට පහසුවේ.

රැකියාවට යද්දී

එසේ නැතහොත් කිරි දෙවීමට පෙර කිරි පහළට ගලා ඒම පහසු කිරීමට පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරන්න.

* උණු වතුරෙන් පියයුර තවන්න.

* ඔබගේ ඇඟිලි තුඩුවලින් තනපුඩුව රෝල් කරන්න. නැතහොත් මෘදුව ඉදිරියට අදින්න.

* ඇඟිලි තුඩු වලින් පියයුර තනපුඩුව දෙසට මෘදුව තෙරපන්න.

* මිට මොළවා ගත් අතින් පියයුර මෘදුව තෙරපන්න.

මෙවිටද දරුවා කිරි උරා බොනවා මෙන් පියයුර උත්තේජනය වී කිරි තන මඬල දෙසට ගලා එයි. එම කිරි දොවා ගැනීම පහසු වේ.

 

කිරි දෙවීමට භාජනයක් සකසා ගැනීම

කිරි දෙවීමට කට පළල් භාජනයක් භාවිත කළ යුතුවේ. එය හොඳින් සබන් යොදා සෝදා උතුරන වතුරේ විනාඩි දහයක් තම්බාගන්න. මේ සඳහා වෙළෙඳපොළේ අඩු මිලට ගත හැකි ස්ටෙන්ලස් ස්ටීල් කෝප්පයක් භාවිත කළ හැකියි. මෙම කෝප්පයේ කට වසා ගැනීමට පියනක් ඇත්නම් වඩාත් හොඳය.

 

කිරි දොවා ගන්නා අන්දම

** අතින් කිරි දෙවීම ඉතා පහසු වේ. පළමුව සබන් ගා දෑත් හොඳින් සෝදා ගන්න. ඔබගේ මාහපට ඇඟිල්ල ඇරියොලාව (පියයුරේ කළු කොටස) පියයුරේ සම හමුවන තැන තබන්න. ඔබගේ දෙවැනි ඇඟිල්ල මහපට ඇඟිල්ලට ප්‍රතිවිරුද්ධව සිටින සේ තබන්න. එනම් ඇඟිලි දෙක අතරේ පියයුරේ කළු කොටස අල්ලා ගන්න.

** පපුව දෙසට ඇඟිලි දෙක මද ලෙස තෙරපන්න.

** මාපට ඇඟිල්ලක් දෙවැනි ඇඟිල්ලත් දබර ඇඟිිල්ල අතරේ තන මඬල තෙරපන්න.

** පළමුව කිරි බිංදුව බිංදුව වෑස්සෙයි. ඉන්පසු කිරි ගලා ඒම අරඹයි. නැත්නම් ඉදිරියට විදියි. නිසියාකාරව කිරි ගලා ඒම

අඩු වන තුරු මෙසේ තෙරපන්න. නිදහස් කරන්න.

** ඉන්පසු අනෙක් පියයුරට යන්න. එහි කිරි වෑස්සීම අඩුවන විට නැවතත් මුල් පියයුරට එන්න. මෙලෙස දොවා ගත හැකි වන්නේ පියයුරේ එක් පැත්තක ඇති කිරි පමණි.

** මහපට ඇඟිල්ලෙන් හා දෙවැනි ඇඟිල්ලෙන් පියයුරේ පැතිද අල්ලා ගන්න. පියයුරේ දෙපැත්තේ කිරි ද මේ ආකාරයට දොවා ගන්න.

මුල් දිනවලදී හරියාකාරව මෙම ක්‍රමයට කිරි දොවා ගන්න පුරුදුවන්න. ක්‍රමය පුරුදු වන තුරු මෙය ඉතාමත් අපහසු කටයුත්තක් සේ ඔබට වැටහේවි. නමුත් එය අපහසු නැත.

* සාමාන්‍යයෙන් කිරි දොවා ගැනීමට විනාඩි 20 - 25ක් පමණ ගතවේ.

* කිරි දෙවීම වේදනාකාරී නොවේ. එය වේදනාකාරී නම් කිරි දොවන ක්‍රමය නිවැරදි නොවේ.

* තනපුඩුව ඇදීමෙන් හෝ තෙරපීමෙන් කිරි දොවා ගත නොහැකියි.

* පියයුර ඉහළ සිට පහළට තෙරපීමෙන් හෝ පිරිමැදීමෙන් හෝ තෙරපීමෙන්ද කිරි දොවා ගත නොහැකියි.

එසේම කිරි දෙවීම සඳහා පොම්ප(Breast Pumps) භාවිත කිරීම එතරම් සුදුසු නැත. එම පොම්ප ඇතුළත විෂබීජ නියමාකාරව විනාශ කිරීමටද නොහැකියි. එමෙන්ම අතින් කිරි දොවනවාට වඩා පොම්පය භාවිත කිරීම ඔබට වේදනාකාරී මෙන්ම අපහසු ද වේ.

 

දරු උපතින් පළමු දිනදී කිරි දොවා ගත හැකි ක්‍රමයක්

දරුවා ඉපදුණු විගසම කිරි දොවන විට කිරි වෑස්සීමක් නොවේ. බිංදු වශයෙන් කොලෙස්ට්‍රම් තනපුඩුව උඩ එකතු වේ. මෙය විශාල භාජනයකට දෙවීමට නොහැකියි. එවිට එය භාජනයේ බිත්තියට ඇලේ. කොලෙස්ට්‍රම් පසු දිනවලදී එරෙන කිරිවලට වඩා ඝනකමින් යුක්තය. එම නිසා මුල් දින දී හෝ දෙවැන දින දී කිරි දොවයි නම් මිලි ලීටර් දෙකේ ප්ලාස්ටික් සිලින්ජරයක් ගෙන එහි ඉඳිකටුව අයින්කර තනපුඩුවේ එකතුවන කිරි බිංදු සිරින්ජරයට බිංදුවෙන් බිංදුව එකතු කර ගත හැකියි. මෙය අපතේ යාමකින් තොරව දරුවාට සිරින්ජරය භාවිත කර පෙවීමටද පුළුවනි.

 

දිනකට කී වරක් කිරි දෙවිය යුතුද?

දරු උපතින් මුල් දිනවලදී ඔබගේ දරුවා ළදරු කාමරයේ සිටි නම් දිවා කාලයේදී පැය තුනකට වරක් ද රාත්‍රියේ දී දෙවරක් ද කිරි දෙවිය යුතුවේ.

රාජකාරියට යන මවට කිරි නිපදවීම හොඳින් ආරක්ෂා කර ගැනීමට නම් රාජකාරී වේලාවේදී පැය තුනකට වරක්වත් කිරි දෙවිය යුතු අතර රාත්‍රියට දරුවාට කිරි උරාබීමට දිය යුතු වේ. නැතහොත් කිරි ප්‍රමාණය ඉක්මනින් අඩුවී යා හැකියි.

ඔබ නිවෙසින් බැහැරව සිටින විට දරුවාගේ පෝෂණය සඳහා කිරි දොවන්නේ නම් දරුවා කිරි බිවූ විගස එම පියයුරේ ඉතිරි කිරි ප්‍රමාණය ද අනිත් පියයුරින්ද කිරි දොවා රැස් කළ යුතුවේ. කිරි නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීමට නම් පියයුර හිස්වීම අත්‍යවශ්‍ය වේ.

 

දොවා ගන්නා කිරී ගබඩා කරන්නේ කෙසේද?

මේ සඳහා හොඳින් උතුරන වතුරේ විනාඩි දහයක් තම්බා ගත් කට වැසිය හැකි භාජනයක් භාවිත කළ යුතුවේ. කාමර උෂ්ණත්වයේ පැය හයක් කිරි ගබඩා කර තබා ගත හැකියි. ශීතකරණයේ සාමාන්‍ය කොටසේ පැය විසිහතරක් කිරි ගබඩා කළ හැකියි. අධිශීතකරණයේ මාස හයක් කිරි ගබඩා කර තැබිය හැකියි. ශීතකරණයේ තැබූ කිරි දරුවාට පෙවීමට පෙර උණුසුම් කළ යුතු වේ. නමුත් කිසිවිටකත් ලිපක තබා රත්න කළ යුතුවෙයි. මඳක් උණුසුම් වතුරේ කිරි මාජනය ගිල්වා උණුසුම් කළ යුතු යුතුවේ දෝව ගත් කිරිවල රසයේ හෝ ගුණයේ කිසිම වෙනසක් නැත.

 

දොවා ගත් කිරි දරුවාට පොවන්නේ කෙසේද?

* කෝප්පයක් හෝ හැන්දක් භාවිත කර දරුවාට කිරි පොවන්න.

* කිසිවිටකත් බෝතල් සූප්පු භාවිත කරන්න එපා.

* දරුවා සූප්පුවෙන් කිරි බීමට පුරුදු වුවහොත් පියයුර උරන්න මැළිවේවි.

* දරුවා ඇල කර උකුලේ වාඩි කරවා ගන්න.

* දොවා ගත් කිරි කෝප්පය යන්තමට ඇල කර කිරි තොලේ ගෑවීමට සලස්වන්න.

* දරුවාගේ යටි තොල තුළ මත කෝප්පය ලිහිල්ව රැඳෙමින් කෝප්පයේ පිට දාරය දරුවාගේ උඩු තොලෙහි ස්පර්ශ වන අන්දමට කෝප්පය අල්ලන්න.

* කිරි මුඛයට වත් කිරීම නොකළ යුතුයි.

* දරුවා දිව සහ තොල් උපයෝගී කරගනිමින් කිරි අවශ්‍ය පමණ සෙමින් බොයි.

* අවශ්‍ය ප්‍රමාණය බිවූ පසු දරුවාම නවත්වයි.

* එක වේලාවකදී ගත් ප්‍රමාණය මදි නම් කිරි වේල් ගණන වැඩි කරන්න.

 

උපදෙස් :

ළදරු හා ළමා

සෞඛ්‍ය

උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ

 

 

විශේෂ ස්තූතිය

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය