ජාතික වකුගඩු රෝහල ළඟදීම

ජනවාරි 22, 2020

මහල් නවයක ගොඩනැඟිල්ලකට ගෙනයෑමයි මගේ බලාපොරොත්තුව

ජාතික වෘක්කකවේද කාන්දු පෙරීම සහ

බද්ධ කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රිෆායි කාඩර්

සෞඛ්‍යය පරිපාලන සේවයේ වෘත්තිකයන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ඇපකැපවන අන්දම හරි අපූරුය. ඒ අතරින් රෝහල් අධ්‍යක්ෂ ධූරය සුවිශේෂීය. රෝගීන්ට වඩාත් ගුණාත්මක වූ සේවයක් සැලස්වීම උදෙසා ඔවුන් නිරතුරුවම කටයුතු කරයි.

වෛද්‍යවරුන් , හෙදියන්.... ඇතුළු රෝහලක සේවයේ නියුතු සියලුදෙනා එකම දැක්මක් ඔස්සේ ගෙනයමින් වෛද්‍යවරුන් රෝගීන්ට වෙදකම් කරද්දී පරිපාලන ක්ෂේත්‍රයේ අයවලුන් හෙදකම් කරයි.

මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ පිහිටියේ ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනයයි. එහි වත්මන් රෝහල් අධ්‍යක්ෂවරයා වෛද්‍ය රිෆායි කාඩර් මහතා ය. ඔහු ජාතීන් අතර සංහිඳියාව ප්‍රකට කරමින් සියලු දෙනාම එකම දාමයක පුරුක් ලෙසින් මනාව සම්ධන්ද කර ගනිමින් කටයුතු කරගෙන යයි.

වෛද්‍ය රිෆායි කාඩර් ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනයේ රෝහල් අධ්‍යක්ෂවරයා ලෙසින් පත්වීම් ලබා පැමිණියේ මීට මාස හතරකට පෙරය. මින් පෙර එම කටයුත්තේ නියැළුණේ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාය. වත්මනේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා ය.

රෝහලක සියලුම වෘත්තිකයන් එකම අරමුණක් කරාගෙන යෑම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැහැ. එම කර්තව්‍යය සඳහා උරදීම ඔබ වෙතින් සිදුවන්නේ කොහොම ද?

රජයේ සේවකයන් ලෙස පරිපාලන කටයුතුවල යෙදෙමින් ඉහළම දායකත්වයක් ලබාදීමයි අපේ යුතුකම වන්නේ. හැමදාමත් එකම තැනක, එකම රෝහලක සිටීමේ වාතාවරණයක් අපට උදාවන්නේ නැහැ. එහෙත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලැබදෙන්නයි හැමවිටම උත්සාහ ගන්නේ. මේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ සමයේ මේ මේ දේවල් රෝහලට කළා.. යන අතීතාවර්ජනයක් පමණයි අවසානයේ ඉතිරිවන්නේ. ඉතින් කළහැකි උපරිම දේ සියලු දෙනාගේ යහපත උදෙසා සිදුකිරීමයි වැදගත් වන්නේ. සෑම මොහොතකදී ම මගේ ප්‍රාර්ථනාවන් එලෙසමයි. රෝහලක් වැනි රෝගීන්ට ඇප උපස්ථාන කරමින් ඔවුනගේ අසරණ බවට සරණක් විය හැකි තැනක කළ හැකි දේ බොහොමයි. වෛද්‍යවරුන් ඔවුන්ව කායිකව මානසිකව සුවපත් කරන්නට ගන්නා උත්සාහය පසුපස සිටිනුයේ පරිපාලන නිලධාරීන්. රෝහලට පැමිණෙන රෝගියකු දකින්නේ වෛද්‍යවරයා, හෙදිය, උපස්ථායකයන් කරනා මෙහෙය පමණයි. එහෙත් රෝහල් පරිපාලනය අඩාල වුවහොත් මුළු රෝහල් කාර්ය මණ්ඩලයම අපහසුතාවට පත්වෙමින් රෝගියා අසරණ තත්ත්වයට පත්කරනවා. එකම දැක්මක්, එකම අරමුණක් කරා යෑම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැහැ. එය හැකි උපරිමයෙන් කිරීමයි මගේ වගකීම.

බෝ නොවන රෝග වසංගතයක් ව පවතින වත්මනේ වකුගඩු රෝගීන් ඕනෑතරම්... ඔවුන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන මාවතේ ඔබේ ගමන් මඟ කෙබඳු ද?

අපේ රෝහලේ සේවය පතා පැමිණෙන රෝගීන් දහස් ගණනක්. මෙය දවසින් දවස වැඩිවනවා මිස කෙදිනකවත් අඩුවීමක් නැහැ. වෘක්කවේද, කාන්දු පෙරීම දිනකට රෝගීන් 120-130 අතර ප්‍රමාණයක් සඳහා සිදුවන්නක් පැය 24 ම අපේ රෝහල රෝගීන් වෙනුවෙන් ඇප කැප වෙනවා.

මෙය කුඩා බිම් පෙදෙසක ඉදිවුණු කුඩා රෝහලක්. අපේ රෝහල සඳහා රෝගීන්ගේ ඇති ඉල්ලුම වැඩියි. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු මට්ටමකිනුයි සිදුවන්නේ. මෙම රෝහල් වෛද්‍ය හිඟයක්, හෙදියන් හිඟයක් දක්නට ලැබෙනවා. ඉදිරියේ දී එම තත්ත්වය දුරලමින් රෝගීන්ට හැකි උපරිම සේවයක් ඉටුකරන්නට මුළු රෝහලම මෙහෙයවීමේ කටයුත්ත වගකීමෙන් ඉටුකරන්නට මා බැඳී සිටිනවා.

 

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

2020/01/22 තරුණි බලන්න