දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් සොහොයුරන්ට මම සුබ පතනවා

-ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ
සැප්තැම්බර් 15, 2021

 

ඕනෑ ම ක්ෂේත්‍රයක සාර්ථකත්වය පවතින්නෙ කැපවීම මතයි

කෝවිඩ් අපට ජීවිතය යනු කුමක් ද කියලත් පාඩමක් ඉගැන්නුවා

මේ වෙලාවෙදි ළමයින්ට ගේ වටේවත් දුවන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ

මම නම් ඉතිං තව තවත් ඉල්ලන්නෙ ක්‍රීඩාවට සහයෝගය දෙන්න කියලා ම තමයි.

 

බිඳ වැටීම් කඩා වැඩීම් අපහාස උපහාස තමයි තමන්ගේ ජයග්‍රහණය

ආසියාවේ කළු වෙළඹ....

ආදරණීය සුසී.....

ඒ එදත් අදත් ඇයට පට බැදුණු ආදරණීය නාමයන් ය. එම්. ජයසිංහ පියාගේ ත් එම්. පී. බේබි නෝනා මවගේත් බඩපිස්සිය ලෙස උපන්නත් අතීතයේ දිනෙක ඇය ශ්‍රී ලංකා මාතාවගේ අභිමානවත් දියණියක බවට පත් වූවා ය.

ඒ ඔලිම්පික් පදක්කමක් දිනාගත් එකම සහ ප්‍රථම ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව ලෙස ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සනිටුහන් කරමිනි. එතැන් සිට ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෞරවනීය දියණියකගේ, කාන්තාවකගේ භූමිකාවට ඇය ද හිමිකම් කියන්නී ය. අද මෙන් ම මතුවට ද ඇය ලබා ගත් එම ගෞරවය නොනැසී පවතින්නේ ය. ඔලිම්පික් රිදී පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාස පොතට නව පිටුවක් අලුත් බලාපොරොත්තුවක් එක් කළ සුසන්තිකා ජයසිංහ නම් වූ ඒ අසහාය ක්‍රීඩිකාව ක්‍රීඩාවේ වසත් සමයේ දී අපි යළිත් අපේ කතාබහට එක්කර ගත්තෙමු. ඒ පසුගියදා නිමාවූ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී දිනේෂ් ප්‍රියන්ත ලබා ගත රන් පදක්කම නිසා යළිත් සුසන්තිකා පිළිබඳව මතකය අවදි කිරීම සඳහාය.

ඉතිං ආදරණීය සුසී... මොනවා ද මේ දවස්වල තොරතුරු,

තොරතුරු නම් ඉතිං... ගෙදරට ම වෙලා ඉන්න එක තමයි කරන්නෙ. දරුවො සහ මව්පියන් සමඟ නිදහසේ කාලය ගත කරන්න ලොකු අවස්ථාවක් ලැබුණා කියලත් හිතෙනවා. ඒ වගේ ම කෝවිඩ් අපට ජීවිතය යනු කුමක් ද කියලත් පාඩමක් ඉගැන්නුවා. තව දුරටත් මම ඒ පාඩම ඉගෙන ගනිමින් ඉන්නවා.

දුවයි පුතයි දැන් තරමක දැනුම් තේරුම් ඇති වයසක නේද ඉන්නෙ.

ඔව් දැන් දෙන්නා ම ලොකුයි. පුතා ඔකිත රන්දිර කොළඹ රාජකීය විද්‍යාලයෙ 07 වසරෙ ඉගෙනුම ලබනවා. දුව අයුමි අනුජනා කොළඹ විශාකා විද්‍යාලයේ 03 වසර ඉගෙනුම ලබනවා.

අද ඔබේ දරුවන් සිටින වයසෙ දි එදා ඔබ ඇත්නාවල, උඩුවක කඳු පන්ති කඳු බෑවුම් සියල්ල තරණය කරල අවසානයි. එහි ඇති රබර් ගහක් ගහක් ගණනට ඔබ ඒ කඳු පන්ති වටා දුවල ඇති. එදා ඔබට එවන් දඟකාර දඩබ්බරකම් කළ හැකි ව තිබූ පරිසරය අද ඔබේ දරුවන්ට අහිමි වෙලා. මෙවන් තත්ත්වයකදී ඔබේ දරුවන්ගේ කායික මානසික නිරෝගීතාවය ආරක්ෂා කර ගන්න ඔබ අනුගමනය කරන ක්‍රියා මාර්ග මොනවා ද?

ඇත්තට ම මේ වෙලාවෙදි ළමයින්ට ගේ වටේවත් දුවන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ. ගමේ හිටියා නම් අපේ කාලෙ තරමට බැරි වුනත් දරුවන්ට දුවල පැනල සෙල්ලම් කරන්න පරිසරයෙ ඉඩ කඩ තියෙනවා. අද මගේ දරුවන්ට වගේ ම අපේ රටේ බහුතරයක් දරුවන්ට ඒ අවස්ථාව අහිමි වෙලා. ඇත්තට ම දරුවො පවු. ගේ ඇතුළට කොටුවුණු දරුවා පොන් එකත් රූපවාහිනියත් කම්පියුටරයත් එක්ක විතරයි සෙල්ලම් කරන්නෙ. වසංගත තත්ත්වය නැත්නම් අපි කාර්යබහුලයි. ඒනිසා ඒ කාලයටත් දරුවොත් එක්ක පරිසරය විඳින්න සෙල්ලම් කරන්න අවස්ථාවක් නැහැ. අනිත් කාරණය දරුවන්ට පංති එයාලටත් වෙලාවක් නැහැ. නමුත් පවතින තරඟකාරී ලෝකයත් සමඟ අපි ගමන් කළ යුතුයි. ඒ නිසා මම නම් මේ මොහොතෙ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ව තමයි මූලිකවම අවධානය යොමු කරන්නෙ. නමුත් ඉතිං පාසලක, පංතියක ගුරුතුමිය ළඟ ඉගෙන ගන්නවා වගේ දරුවන්ගෙන් හික්මීම විනය මේ මොහොතෙ බලාපොරොත්තු වෙන්නත් බැහැ. එක ම ප්‍රාර්ථනය අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය ඉතා ම ඉක්මනින් යථා තත්ත්වයට පත් වේවා කියන එකයි. එහෙම වුණොත් අඩු ම වශයෙන් අපේ දරුවන්ට පාසල් පිට්ටනියෙ හරි දුවල පැනල සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. අනෙක් කාරණය ක්‍රියාශ්‍රීලි ක්‍රියාකාරි වයසේ දි දරුවන්ට ඊට අවස්ථාව තිබිය යුතුමයි. ක්‍රීඩාව පෞරුෂ සංවර්ධනයට ඉතා ම වැදගත්. ක්‍රීඩා පිට්ටනියක දී දරුවන් ලබන අද්දැකීම් ඒ අයට පොතක ලියන්න බැරි වෙයි. එහෙත් වැඩිහිටි වෙන්න වෙන්න එයින් ලැබූ ප්‍රයෝජන දරුවන්ට අත්විදින්න ලැබෙනවා.

වර්තමානයේ දි ඔබ ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළ දක්ෂතා පිළිබඳ අධ්‍යක්ෂිකාව සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාව. මේ දවස්වල කොහොමද ඒ වැඩ කටයුතු සිදු වෙන්නෙ.

පසුගිය කාලයේ දී නම් zoom තාක්ෂණය මඟින් විවිධ වැඩසටහන් කළා. පංති පැවැත්තුවා. නමුත් දැන් මාසයක පමණ කාලයක සිට ඒ දේවලුත් සිදු වෙන්නෙ නැහැ.

ඒ ක්‍රමය සාර්ථක ද?

කාලයක් එක දිගට හොඳින් සෙල්ලම් කරපු දරුවෙක් අපිට එක පාරට අත් හරින්න බැහැ. ඒ වගේ ම නිවැරැදි මඟ පෙන්වීමකින් තොර ව දරුවෙක් ට ඒ දේවල් තනිව ම කර ගන්න කියලා දරුවා නිදැල්ලේ හරින්නත් බැහැ. මොකද මේ හැම කෙනෙක් ම අපේ රටේ අනාගතය. දරුවෙක් නියමාකාර ව ක්‍රීඩකයෙක් බවට පත් කරන්න අපි ට වසර ගණනක් ගත වෙනවා. ඒනිසා 100%ක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැරි වුණත් ඊට පොඩි හරි සහනයක් බලාපොරොත්තුවෙන් අපි නවීන තාක්ෂණය භාවිත කරමින් දරුවන්ට සමීප වුණා.

ඔබේ යුගයට වඩා අද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා දක්වන්නට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ පසුබිම් සැකසෙමින් පවතිනවා. එමෙන් ම අද අප රටට අන්තර්ජාතික වශයෙන් රන්, රිදී, ලෝකඩ පදක්කම් ලැබෙමින් තිබෙනවා. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් හැමදාම හඬක් නැගූ ඔබට වර්තමාන තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි ද?

මම නම් ඉතිං තව තවත් ඉල්ලන්නෙ ක්‍රීඩාවට සහයෝගය දෙන්න කියලා ම තමයි. ඒ වුණත් ඇත්තටම අතීතයට වඩා වර්තමානය හොඳයි. අනාගතය තව තවත් හොඳ අතට පත් වෙයි කියලා මම හිතනවා. මේ සියල්ල අතර අපට කළ හැක්කේ මඟ පෙන්වීම පමණයි. ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව දැන ගත යුතුයි තමන්ගේ ඉලක්කය වෙත යන්න. ඕනෑ ම ක්ෂේත්‍රයක සාර්ථකත්වය පවතින්නෙ කැපවීම මතයි. ඒක මටත් ඔබටත් අපි සෑම දෙනාටත් පොදුයි. ඒ වගේ ම සත්‍යයත් එයයි. ඒ නිසා කැපවීම තමයි අවශ්‍ය ය. අද මම තරගය දිනුව කියලා හෙටත් මට දිනන්න බැහැ. කැපවීම කියන්නෙ ක්‍රීඩකයකුගේ ජීවිතයේ හැමදාම තිබිය යුතු දෙයක්.

පසුගියදා පැරඔලිම්පික් රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් අප රටට ලැබුණා. මොකද හිතෙන්නෙ ඒ පිළිබඳ?

ඇත්තට ම මට හරි ම සතුටු යි. ආසයි මේවා දකින්න. සිදු විය යුත්තේ එයයි. අපේ රටේ දක්ෂ දරුවො ඉන්නවා. බොහෝ දෙනෙක් අවශ්‍යතාවය නිසා ඉදිරියට එනවා. එත් තවත් පිරිසක් කවුරු හරි කිවුවොත් එහෙම නැත්නම් කාගෙවත් බලකිරීමට ඉදිරියට එනවා. එහෙම නැතුව තම තමන්ගේ හැකියාව හඳුනාගෙන ඒ පිළිබඳ විශ්වාසය තබනවා නම් සෑහෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හෙට දවසේ අන්තර්ජාතික තලයට යනවා සිකුරුයි.

ඒ වගේ ම මම මේක අවස්ථාවක් කරගන්නවා දිනේෂ් ප්‍රියන්ත හේරත් ට සහ සමිත දුලාන් කොඩිතුවක්කු සොහොයුරන්ට සුබ පතන්න. මට වගේ ම ඔවුන්ගේ ජීවිතවලත් කියන්න කතන්දරයක් ඇති. ඒ නිසා බිඳ වැටීම් කඩා වැඩීම් අපහාස උපහාස තමයි තමන්ගේ ජයග්‍රහණය කියල හිතන්න ඕනා. එහෙම වුණොත් අපි හැමෝටම එකට එකතු වෙලා ලෝකය දිනන්න පුළුවන් නිසැකයෙන් ම.

අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

අවුරුදු ගණනාවකට පසුව ඉඩෝරයට වැසි වැටෙනවා වගේ පදකමක් දෙකක් නොව සෑම වර්ෂයක් පාසා ම සෑම තරගාවලියක් පාසා ම අපේ රට රන් පදක්කමින් සැරසෙන යුගයක් ඉදිරියේ දී බිහි විය යුතුයි. අද දවසේ අපේ කැපවීමත් ඒ වෙනුවෙන්මයි. ඒ නිසා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවෙන් ලෝකය දිනන්න බලාපොරොත්තුවෙන ඔබ ලාංකික ක්‍රීඩා ඉතිහාස තුළ ඔබේ නමත් රන් අකුරින් ලියා ගන්න නම් අද ම පෙරට එන්න ඔබේ ගමන ආරම්භ කරන්න සිහින පසුපස හඹායන්න හැබැයි දිනනකම් නවතින්න එපා.