මොන තරම් වැඩ තිබුණත් දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න උත්සාහ කරනවා

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනිය නීතිඥ සාගලා අභයවික්‍රම
නොවැම්බර් 10, 2021

 

 

තොටිල්ල පදවන අත රාජ්‍ය කරවයි” යන කියමන ඒ හැටියෙන්ම ඔප්පු කළ මෙරට කාන්තාවන් අතරට එක්වූ තවත් කාන්තාවක් ලෙස නීතීඥ සාගලා අභයවික්‍රම මහත්මිය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පළමු කාන්තා සභාපතිනිය ඇයයි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක්ය යන කියමන ඔප්පු කරන්නේ වචනයට සීමා නොවීමෙන්. නීතිය හදාරමින් සිය ජීවන වෘත්තිය ආරම්භ කළ ඇය දේශපාලනයට ඇති දැඩි කැමැත්ත මත එක්තරා අවස්ථාවක තාවකාලික විරාමයක් රැකියාවට ලබා දෙමින් නැවත රැකියාව ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙසයි. කොරෝනා වසංගත සමයේ අපේ දේශීය ඔසු පිළිබඳව ඇතිවුණු පිබිදීමත් සමඟ ඇතිවුණු ඉල්ලුම හමුවේ සංස්ථාව ලැබූ ප්‍රගතිය ගැන කතා කරන්නට ඇය සමඟ තරුණී කළ කතා බහයි මේ.

 

ඔබ වෘත්තියෙන් නීතීඥවරියක්. වෙනස්ම ක්ෂේත්‍රයක් තෝරාගෙන ඔබ පියමන් කරමින් සිටින්නේ අසීරු ගමනක නේද?. කාන්තාවක් ලෙස ඊට මුහුණ දුන්නේ. කොහොමද ?

 

''2019 දෙසැම්බර් මාසයේ 24 වැනි දා තමයි හිටපු සෞඛ්‍ය ඇමැතිනී, වත්මන් ප්‍රවාහන ඇමැතිනී නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මාව මේ තනතුරට පත් කරනු ලැබුවේ. මේ පත්වීම භාරගත් දිනයේ ඒ තනතුර අභියෝගයක් ලෙස දැනුනේ නම් නැහැ. මම කවදත් සිදුකළේ මා වෙත පැවරෙන වගකීම හැකි උපරිමයෙන් සිදුකිරීමට උත්සහ කිරීමයි. 1957 කාර්මික සංස්ථා පනත යටතේ 1969 මැයි 11 දින එවකට සිටි කර්මාන්ත ඇමැති පිලිප් ගුණවර්ධන මැතිතුමා ආරම්භ කළ තවත් එක් සංස්ථාවක් තමයි මේ සංස්ථාව.

මෙහි පළමු වතාවට මුල් පුටුවට කාන්තාවක් පත්වීම විතරක් මට බරක් ලෙස දැනුණා. මාව පත්වුණාම ආයුර්වේද සංස්ථාවට නීතීඥවරියක් ගිහින් කොහොම මොනව කරන්නද කියලත් එදා සමහරු ප්‍රශ්න කළා. මින් පෙර සිටි බොහෝ සභාපතිවරුන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අයම නොවෙයි. ඒ බව ප්‍රශ්න කළ සමහර අයට එදා අමතක වුණත් අද ලාභ ලබමින් සංස්ථාව නිසි මඟට ගැනීමෙන් මම ඔප්පු කළා ගැහැනු ද, පිරිමි ද යන්න තනතුරකට අදාල නොවන බව. අදාල වන්නේ අසීමිත කැපවීම හා ධෛර්ය පමණක් වන බවත් දැන් ඔප්පුවී තිබෙනවා.''

කෝවිඩ් ව්‍යසනයත් සමඟ කොහොමද අභියෝගාත්මකව සංස්ථාවේ ගමන් මඟ මෙහෙයවීම් සිදු කළේ.

 

''මම වැඩ භාරගන්නා විට ඇතැම් ප්‍රශ්නගත තත්වයක් ඇති නොවුණා කිව්වොත් එය අසත්‍යයක්. මේ ආයතනයේ වෘත්තීය සමිති තමයි යහපාලන ආණ්ඩුව ඉවත් කිරීමේ පළමු වෙඩිමුරය සිදු කර තිබුණේ. විවිධ අරමුණු වල එල්බගෙන සිටි වෘත්තීය සමිති සමඟ මම වැඩකරන්න පටන් ගත්තා. මම මුලින්ම සිදු කළේ මට වාහනයක් කුලියට ගන්න ගෙනආ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමයි. ඊළඟට ආයතනයේ තිබෙන රථයක් අලුත්වැඩියා කරල මම භාවිතා කරන්න ගත්තා. මේ සංස්ථාව පාඩු ලබමින් තිබුණේ. සංස්ථාවේ තිබූ වත්කම් නැති වී තිබුණා. අනවශ්‍ය වියදම් කපා හැරිය යුතුයි කියන තැන තමයි මම හිටියේ. කාන්තාවක් ලෙස සකසුරුවම්කම සංස්ථාවට ගෙන එන ආකාරය මම කල්පනා කළා.

එහෙම කරන්න හිතුවේ ඒ අයගේ වරප්‍රසාද කපලා නොවෙයි. තනතුරේ වරප්‍රසාද මම භුක්තිවිදින්න ගියොත් ඒක හොඳ ආදර්ශයක් නොවන නිසා මම මුලින්ම මට හිමි බොහෝ දේ ගත්තේ නැහැ. සංස්ථාවට මම බරක් නොවිය යුතුයි කියන තැන මම හිටියා. මට වෙන්වූ සීතල කමරයට වෙලා මම කල් ගෙව්වේ නැහැ.''

 

ඔබ ගෙන ගිය මේ කටයුතු වලට සේවක සහාය ලැබුණේ කොහොමද ?

 

ඔව්, සහාය ලැබුණා වගේම ගැටලු රැසක්ම මතුවුණා. ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. අතිකාල දීමනා ලබාගැනීමේ විධිමත් ක්‍රමවේදයක් මෙහි තිබුණේ නැහැ. ඒත් මම මේ දේවල් සමඟ ගැටෙන්න ගියේ නෑ. මම සේවකයින් හොඳින් නිරීක්ෂණය කළා. විනිශ්චය කිරීමේ ශක්තියක් මට හොඳින් තිබෙනවා. නිෂ්පාදනය කිරීමේ දී යම් ගැටලු ආවා. ඒ ප්‍රශ්න වලට අභියෝගාත්මකව මුහුණ දුන්නේ ප්‍රායෝගික විකල්ප භාවිතා කරමින්. ඒ ගැටලු වලට මම සාර්ථකව මුහුණ දුන්නා. සේවකයින්ගේ විනය පවා සකසන්න මට සිදුවුණා. මම රෑ 12ට පාන්දර 04ට 05ට සංස්ථාවට ආවා. මෙහි නිෂ්පාදන කටයුතු කරන හැටි මම නිරීක්ෂණය කළා. රාත්‍රි කියලා මම හිතන්න ගියේ නැහැ. මම ඔවුන් සමඟ නිෂ්පාදනය කරන්නත් එක් වුණා.

ඔවුන් සමඟ එක්වී කටයුතු කරන්න මම ගත් උත්සාහය නිසා ඔවුන්ට මාවත්, මගේ යෝජනාත් ප්‍රතික්ෂේප කරන්න බැරිවුණා.

ස්ථාන පරීක්ෂා කිරීම් නිසා බීමත්කමට තිත තියන්න මට හැකිවුණා. මම සභාපති වීමට පෙර රුපියල් කෝටි දෙකහමාරක් තුනක් අතර මාසිකව නිෂ්පාදන සිදුකර තිබුණා. යහපාලන ආණ්ඩු පාලන කාලයේ මාර්තු මාස දෙකක පමණක් රුපියල් කෝටි හතරක නිෂ්පාදනය කර තිබුණා. 2015 සිදුවූ මිල වෙනස් කිරීමත් ඒ වෙනසට හේතුවී තිබෙනවා. මාර්තු මාසයේ තමයි මෙහි වැඩිම නිෂ්පාදන සිදුකරන්නේ. ඒ අවුරුදු නිවාඩුව නිසා. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන 440 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. අරිෂ්ට, ආසව, ක්වාත, තෛල, කල්ක, ලේප, ලේහ, මෝදක, වටිකා, රසායන, චුර්ණ, එස ඖෂධ, සිරප් ආදි ඖෂධ. ඒ වගේම කෝවිඩ් සඳහා ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ පෙළක්ම නිෂ්පාදනය කර තියෙනවා.

ඒ විතරක් නෙවෙයි. පෞද්ගලික අංශයේ මාසික අලෙවිය මීට කලින් මිලියන 12 පමණ අගයක් තමයි තිබුණේ. කොවිඩ් වාතාවරණය තුළ වුණත් දැන් එය මාසික අලෙවිය මිලියන 19 කට ආසන්න අගයකට වර්ධනය වෙලා තියෙනවා.

2020 ජූනි මාසයේ මම ඇවිත් මාස 06 ක් ඉක්ම යන විට රුපියල් හාරකෝටි විසි ලක්ෂයක නිෂ්පාදනයක් සිදු කරන්න අපට හැකිවුණා. කිසිදු පිරිවැයක් හා මිල වැඩිකිරීමකින් තොරවයි මේ ආදායම අපි ලැබුවේ. 2020 මාර්තු මාසයේ කෝවිඩ් හේතුවෙන් සේවකයන්ගේ පැමිණිම ඉතා සීමිතව තමයි මේ ආදායම ලබන්නේ. ඒ අවස්ථාවේ මම කර්මාන්තශාලාවට ගිහින් වැඩ කළා. මා සමග කළමනාකරුවන් පවා කර්මාන්තශාලාවේ වැඩ කරන්න ආවා. ඒක තමයි මෙහි හැරවුම් ලක්ෂ්‍යය කියා මම හිතන්නේ. සේවකයන් අතරට ගොස් මම වැඩකරන්න ගත්ත එකෙන් සේවක ක්‍රියාශීලිත්වය වැඩි වුණා. මම කර්මාන්තශාලාවේ වැඩකරන්න ගත්ත එකෙන් ඒ අය කාර්යක්ෂම වුණා. කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ අපි සේරම එක්ව වැඩ කළ තැනක්. මම සභාපති කාමරයේ ඉන්නවාට වඩා ඉන්නේ කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ. හැම මාසෙකම 20 වැනිදායින් පස්සේ මම කර්මාන්තශාලාවට වැඩිපුර ආවොත් තවත් කෝටි එකහමාරක් විතර වැඩිකරගන්න පුළුවන් කියා සංස්ථාවේ සේවකයෝ මට නිතර කියනවා. මමත් මගේ සේවකයන් සමඟ සහයෝගයෙන් වැඩකරනවා. මොකද මම සීතල කාමරයට වෙලා උපදෙස් දුන්නොත් සේවකයන්ට ඒක තදින් දැනෙන්නේ නැහැ. මම කාර්යක්ෂමව සහ ප්‍රායෝගිකව කටයුතු සිදු කළා. මගේ කාර්යල සේවකයන්, රියැදුරන්, රිය සහායකයන් වැඩක් නැති වෙලාවක දී ඇසුරුම් පෙට්ටි හදනවා, නිෂ්පාදනාගාරයට සහයෝගය දක්වනවා. පිළිගැනීමේ නිළධාරිනිය පවා තමන්ගෙ රාජකාරියට අමතරව ඇසුරුම් පෙට්ටි හදනවා. ඒකයි අපේ සාමූහික වෑයම දියුණු වීමට හේතුව, මමත්වය පසෙකලා කටයුතු කිරීම.

ඔබට මේ ක්ෂේත්‍රය ගැන දැනුවත් භාවයක් තිබෙනවාද ?

 

මම එනවිට දැනගෙන හිටියේ නැහැ තමයි. ඒත් දැන් මම දන්නවා තෙලක් හදන්න යන කාලය. තෙලක් නිමෙන්න යන කාලය. බෝතල් පැක් කරන, ගුලි හදන, කරල් හදන විදියත් මම දන්නවා. කෙටි කාලයකින් මේ අවබෝධය ලැබුවේ සීත කාමරයේ නොසිට කර්මාන්ත ශාලාවට ගිය නිසයි. නමුත් මම හැමදාම ආයුර්වේද බෙහෙත් පාවිච්චි කළ අයෙක්.

ඔබ අවිවේකී චරිතයක්. ඒ අතරේ මේ සියලු දේ කළමනාකරණය කරගන්නේ කොහොම ද?

මම නීතීඥවරියක් ලෙස කටයුතු කළ බැංකුවට සමුදෙන්නේ 2016 නොවැම්බර් මාසයේ දී. මගේ ස්වාමිපුරුෂයා දරුවන් දෙන්නා මගේ මව්පියන් විශාල සහයක් ලබාදුන්නා. මගේ දරුවන් දෙන්නත් සාමාන්‍ය පෙළ විෂයන් 09 A සාමාර්ථ, උසස් පෙළ A සාමාර්ථ 03 ක් ගෙන ඔවුන් ඉගෙනුම් කරමින් මට සහාය දුන්නා. මම තමයි මගේ ගෙදර කෑම හදන්නේ. කවුරු හිටියත් ඒ වගකීම මම ඒ කාටවත් දෙන්නේ නැහැ. මම මොනතරම් වැඩ තිබුණත් දරුවන්ට හොඳ අම්මා කෙනෙක්, ස්වාමිපුරුෂයාට හොඳ බිරියක් ලෙස වගේම මගේ මව්පියන්ට හොඳ දියණියක් වෙන්න උත්සහ කරනවා. පවුලට මගේ වගකීම උපරිමයෙන් ඉටු කරනවා.

ඔබට දේශපාලනය කරන අරමුණකුත් තිබුණ ද ?

ඔව්. මම දේශපාලනය දකින්නේ ඉතාම කුඩා අවධියේ සිට. මගේ ආතා පිලිප් ගුණවර්ධන මහතාගේ අනුගාමිකයෙක්. මගේ මාමලා දෙන්නත් ඒ කාලේ මැතිවරණයට ඉදිරිපත් වුණා. මගේ අම්මගේ මහගෙදර දී 1978 ජනවාරි මාසේ 29 වනදායි එන්.එම් පෙරේරා මහතා මුලින්ම දකින්නේ. එතකොට මට අවුරුදු08 යි. මගේ ආච්චි නැතිවූ අවස්ථාවේ මළ ගෙදරට එන්.එම් පෙරේරා මහතා පැමිණියා. මගේ අම්මා එන්.එම් පෙරේරා මහතාට එරෙහිව කළ බැංකු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අම්මාට රැකියාව නැති වෙනවා. වෘත්තීය සටන් දකින්නේ මම එහෙමයි. මගේ තාත්තගේ හොඳම මිතුරෙක් තමයි දිවංගත අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මහතා. දේශපාලනය කියන එක මට අමුතු දෙයක් නෙවෙයි. වාමවාදී දේශපාලන ආභාෂය මට හොඳින් තිබෙනවා.

ඒ වගේම තමා 1995 වසරේ දී මට මුලින්ම වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් එදා කම්කරු ඇමැති ලෙස නීති විදුහලේදී මුණගැහෙනවා. එදා එතුමාගේ වාග්විලාසය, හැසිරීම මාව තවත් දේශපාලනයට ඇදගන්නක් වුණා. 2008 දී මම නිවාස රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරද්දී එවකට ආර්ථික සංවර්ධන සහ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා මුණ ගැහෙනවා. එතුමා එදා වැඩකළ විලාසය නිසාම තමා 2016 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවද්දී මමත් එතැනට එක්වුණේ. එතුමාට තිබෙන්නේ අසමසම සංවිධාන ශක්තියක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරගන්නට මම මට කළ හැකි සියලු දේ කරනවා. මේ රට හොඳ මාවතකට ගෙන ඒම මගේ සිහිනයක් .

 

 ඡායාරූප - සුදත් නිශාන්ත