මිනිත්තු අසූ පහකට ජනපති පුටුවට ගිය කමලා හැරිස්

නොවැම්බර් 29, 2021

බල කාමය පියපුතු, සහෝදර බැඳීම දෙ‍දරවන පරමාණු බෝම්බයකි. ඉතිහාසයේ ඊට සාක්ෂි ඕනෑතරම් තිබෙයි. බල තණ්හාවේ ස්වභාවය එය වුව ද ලෝකයේ බලවත් ම රාජ්‍යය ලෙසින් සලකන අමෙරිකාවේ පසුගියදා ඉතිහාසගත සුහද බල හුවමාරුවක් සිදු විණි.

මිනිත්තු 85කට සීමාවූ ඒ බල හුවමාරුව සිදු වූයේ එරට ජනපති ජෝ බයිඩ්න් සහ උප ජනපති ධූරය දරන කමලා හැරිස් අතර ය.

අමෙරිකාවේ වයස්ගතම ජනපතිවරයාවූ හැත්තෑ නව හැවිරිදි ජෝ ට රටේ ජනපතිවරයා වශයෙන් පළමු කායික වෛද්‍ය පරීක්ෂාවට යොමු වීමට සිදු විය. ඔහු සිහිනැති කර කොලොනොස්කොපි සඳහා පෙනී සිටිමට පෙර කමලාට ජනපති ධූරය පැවරීය. කොලොනොස්තොපි යනු මහා බඩ වැලේ සහ ගුද මාර්ගයේ ගැටලු ඇත්දැයි බැලීමට කුඩා කැමරාවක් සම්බන්ධ කළ දිගු නම්‍යශීලී බටයක් යොදා කරන පරීක්ෂාවකි.

වසර 250 කට ආසන්න අමෙරිකානු රාජ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවකට පැයකුත් මිනිත්තු 25 කට ජනපති ලෙසින් වැඩ බැලීමට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. කමලා මෙසේ ඉතිහාස ගත වූයේ තෙවැනි වරටයි. මින් පෙර ඇය එරට පළමු උප ජනපතිනිය ලෙසින් වාර්තා පොතට එක්වූවාය. එමෙන්ම ඇය එරට ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු පළමු කළු ජාතික දකුණු ආසියානු අමෙරිකානු සම්බවයක් ඇති පුද්ගලයායි.කමලා අමෙරිකානු ඉතිහාසයේ තවත් අලුත් පිටුවක් පෙරළුවේ නොවැම්බර් 19 වැනි දිනය දීය. උදෑසන 10.10 ට ජෝ බයිඩ්න් විසින් කමලා හැරිසන්ට ජනපති බලය පැවරූ අතර යළි පෙ. ව. 11.35 ට බයිඩ්න් බලය සියතට ගත්තේය.

පනස් හත් හැවිරිදි කමලා මිනිත්තු 85 ක කාලයකදී අමෙරිකානු හමුදාසේනාංකවලත් න්‍යෂ්ටික යුද ගබඩාවේත් තාවකාලික භාරකාරිය වූවාය. කමලා ධවල මනිදිරයේ හදවත වැනිවූ වෙස්ට් වින්ග් හි තම කාර්යාලයේ සිට ඒ කෙටි කාලයේදී රාජකාරි කටයුතුවල නිරත වී තිබෙයි.

අමෙරිකානු ඉතිහාසයේ කමලාට ලැබුණු අවස්ථාවට යම් තරමකට හෝ හිමිකම් කීමට ලැබුණේ වුඩ්රෝ විල්සන් ගේ බිරිය එඩිත් විල්සන් ආර්යාවට යි. වුඩ්රෝ විල්සන් ජනපති ධූරය දරද්දී කිහිප වරක්ම ආඝාතයට ගොදුරු වූ අතර අප්‍රසිද්ධියේ රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කරන ලද්දේ එඩිත් විසිනි. එහෙත් කාන්තාවට සම තැන ඇතැයි පවසන රාජ්‍යයේ සැබැවින්ම කාන්තාවට නිසි තැනක් නො තිබුණු නිසා බලධාරීන් විසින් ඇයට වැදගත් තීරණ ගැනීමට, නිලධාරීන්ට අණසක පැතිරවීමට, නව වැඩසටහන් ඇරැඹීමට අවසර ලබා දුන්නේ නැත.

 

අන්තර්ජාලයෙනි