විශ්‍රාම වැටපුකට හිමිකම් නොමැති පුරවැසියන්ට විශ්‍රාම වැටුපකට මඟ පෙන්වන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය

මඟතොට දැන කොළඹ යමු
ජුනි 20, 2022

 

 

ලෝකය අතැඹුලක් සේ කුඩා වෙමින් පවතින බව අපි ආඩම්බරයෙන් පවසමු. එහෙත් අප උපන් දේශයේ පවතින සුන්දර ස්ථාන, වැදගත් ආයතන අපට සේවය ලබා දෙන රජයේ කාර්යාලයක් පිහිටි ස්ථානය ගැන ඇසූ විට බොහෝ දෙනකු නිරුත්තර වෙති.

 

ඇතැම් විට අපට වඩාත් ප්‍රයෝජනවත් වූ ආයතනයක් පිහිටි ස්ථානය ගැන පවා ඇසූ විට එය පිහිටි ස්ථානය ගැන නො දනිති. විශේෂයෙන්ම අගනුවර නැතිනම් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සෑම ආයතනයකම ප්‍රධාන කාර්යලයක් පිහිටයි. කොළඹ නගරයේ පිහිටි මේ ආයතනවලින් සේවය ලබා ගැනීමට දිනපතා සිය දහසක් දෙනා කොළඹට පැමිණෙති.

මෙලෙස පැමිණෙන බොහෝ දෙනකු එම ආයතනය පිහිටි ස්ථානයම පිහිටි ස්ථානය ගැන දැනගත්තේ දන්නා අයකුගෙනි. තරුණ අයෙක් නම් Google හෝ වෙනත් අන්තර්ජාල map එක බලාගෙන කොළඹට ළඟා වෙයි. එහෙත් කොළඹට පැමිණි පසු මාර්ග රාශියකි, ගොඩනැගිලි රැසකි. ආයතන විශාල සංඛ්‍යාවකි. දැන් ඔබ මුහුණ දෙන්නේ විශාල ගැටලුවකටය. ඔබ පෙර අසාගෙන දැනගෙන පැමිණි මාර්ග සිතියම හෝ මාර්ග සටහනේ සඳහන් ආකාරයට ඔබට අවශ්‍ය ස්ථානයට ළඟාවීමට පහසු නොවෙයි. කළ හැකි වන්නේ කාගෙන් හෝ අසා දැන ගැනීමය. මෙය මෙවැනි කාලයක අවදානමකි. එසේම එය කිසි ලෙසකින් පහසු නොවන්නකි.

මේ නිසා අප කොළඹට පැමිණෙන විට අපට අවශ්‍ය ආයතනය ගැන හොඳින් දැන සිටිය යුතුය. එසේම එම ආයතනයේ සිදුවන සේවය හා දුරකථන අංක හා මාර්ග සටහනක් හෝ Google map එකක් තිබීම පහසුවකි. එවිට ඔබට කිසිම අයකුගෙන් නො අසා අදාළ ආයතනයට හරියට ළඟාවිය හැකි වනු ඇත.

 

තැන කොතැන ද?

මුලින්ම අප ඔබට අද කැඳවාගෙන යන්නේ එවැනි ආයතනකටය. බොහෝ දෙනෙකු අසා හුරු පුරුදු නොමැති ආයතනයක් කරා අපි මෙවර පියනගමු. ශ්‍රී ලංකා ආරක්ෂණ මණ්ඩලය. මේ ආයතනය පිහිටා තිබෙන්නේ රාජගිරියේ නගරයේ ‘සමාජ ආරක්ෂණ පියස’ ලෙස නම් කළ රාජගිරිය පාරේ අංක 18 ගොඩනැගිල්ලේ පිහිටි මේ ආයතනය මඟින් විශාල සේවාවක් සිදු වෙනවා. වයස අවුරුදු 18 -59 ත් අතර රාජ්‍ය විශ්‍රාම වැටපුක හිමිකම් නොමැති ඕනෑම පුරවැසියකුට එම පුද්ගයා වෙනුවෙන්ම සැකසු 100% ක රාජ්‍ය වගකීම සහ ආරක්ෂාව සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ලබාදීම තමයි මේ ආයතනයේ සිදුකරන මුලික සේවාව.

අප මේ ආයතන මඟින් සිදුවෙන සේවය හා එම සේවාවන් ලබාගන්නා ආකාරය ගැන විමසීමක් කළේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිචාර්ය සමන් හඳරාගම මහතාගෙනි. ඔහු එම ආයතනය ගැන විස්තර කළේ මෙලෙසිනි.

 

ස්වයං රැකියාලාභීන්ට

‘මෙය 1996 දී ආරම්භ කළ රජයේ ආයතනයක්. මුලික කාර්යය තමයි රජයේ විශ්‍රාම වැටුපක් නැති විශේෂයෙන් ස්වයං රැකියාලාභින් ඉලක්ක කර ගනිමින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. මේ විශ්‍රාම වැටුප් ක්‍රමය අවුරුදු 25ක් පුරා ක්‍රියාත්මක වෙන්නේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලෙසයි. ඒ කියන්නේ දායකත්වය ලබා ගැනීම සඳහා මුදලක් මාසිකව ගෙවිය යුතුය. එය තමුන් ලබාදෙන දායකත්වය අනුව විශ්‍රාම වැටුපක් ලෙස වසර 60ක් කල් පිරුණු පසු ලබා ගැනීමට හැකි ආකාරයටයි සැලසුම් කරලා තිබෙන්නේ. මේ විශ්‍රාම වැටුප් ක්‍රමයට රජයේ විශ්‍රාම වැටුපක් නො ලබන අවුරුදු 18- 59 වයසේ ඕනෑම පුරවැසියකුට දායක වෙන්න පුළුවන්. අවුරුදු 59 සිට විශ්‍රාම වැටුප ජීවිතාන්තය දක්වාම ලැබෙනවා. මේ සඳහා වාරිකය ගෙවීම මාසිකව හෝ මාස 3කට වරක් තමුන්ට පහසු ආකාරයට ගෙවිය හැකියි. යම් ආකාරයකින් විශ්‍රාම වැටුප් හිමි සාමාජිකයා වයස අවුරුදු 80ට පෙර මිය ගියොත් දායකත්වය ලැබූ තැතැත්තාගේ ළඟම ඥාතියකුට (කාලත්‍රයාට) එම විශ්‍රාම වැටුප ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. යම් සාමාජිකයෙක් අවුරුදු 60 පෙර මිය ගියොත් මරණ පාරිතෝෂිත මුදලක් හිමි වෙනවා. එසේම සාමාජිකයාට අනතුරක් වූ අවස්ථාවේ දී උපකාර කිරීම සඳහා රක්ෂණ ක්‍රමයකුත් මේ විශ්‍රාම වැටුප් ක්‍රමය තුළම ක්‍රියාත්මකයි.

 

දායක වන්නේ කොහොමද?

එම රක්ෂණ ක්‍රමය ගැනත් විශ්‍රාම වැටුපට දායකවෙන ආකාරය ගැනත් වඩාත් හොඳින් ඔහු අපට විස්තර කළේ මෙලෙසිනි. ‘විශ්‍රාම වැටුප් ලාභියා පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණොත් විශ්‍රාම වැටුප් ක්‍රමය ගෙවීම නවත්වා ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් ලබාදීමත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අර්ධ ආබාධිත වුණත් පාරිතෝෂික මුදලක් හිමි වෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුපක් නැති පෞද්ගලික ආයතනයක සේවය කරන අයකුට පවා මේ ක්‍රමයට දායකවීමට අවස්ථාව තිබෙනවා. මේ සඳහා දායකවීමට අවශ්‍ය වන්නේ තමුන්ගේ ජාතික හැඳුනුම්පත විතරයි.

මේ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකවීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරියෙක් සිටිනවා. අපේ ප්‍රධාන කාර්යලය තිබෙන්නේ රාජගිරිය නගරයේය. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සුබ සාධන නිලධාරි හෝ සමාජ ආරක්ෂක නිලධාරි හමුවීමෙන් සේවය ලබා ගත හැකියි. ඊට අමතරව ග්‍රාම නිලධාරින්ගෙන් විස්තර ලබාගන්න පුළුවන්. ඔබට වාරික මුදල් ගෙවීම බැංකු මඟින් හෝ තැපැල් කාර්යාල මඟින් සිදු කරන්න පුළුවන්. දැනට ලක්ෂ අටහමාරකට වැඩි ප්‍රමාණයක් අපගේ ආයතනයේ සාමාජිකයන් වී සිටිනවා. මේ වන විට මාසිකව 350000කට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් ලබා ගන්නවා. මේ ගෙවන මුදල් අරමුදලක් ලෙස රජයේ බැංකුවල පමණක් අප ආයෝජනය කරලා තිබෙන්නේ ඉතාම සුරක්ෂිත ආකාරයටයි. මෙයට අමතර සාමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අතිරේක ප්‍රතිලාභ රාශියක් ලබාදීමත් අප සිදු කරනවා. අපගේ ප්‍රධාන කාර්යාලයට අමතර දිස්ත්‍රික් 25 පුරාම දිස්ත්‍රික් කාර්යාල පිහිටා තිබෙනවා.’ මේ කාර්යාල මඟින් ලබාදෙන සේවයට අමතරව ඔබේ රක්ෂණ ක්‍රමයේ විසඳගත නොහැකි ගැටලුවක් ඇතිනම් අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණිය හැකියි.’

 

විශේෂ ස්තූතිය -

තොරතුරු ලබාදීමේ දී සහය වූ ප්‍රවර්ධන කළමනාකාර සංජීව ලක්මාල් මහතා ට

 

 

 

 ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති
ජ්‍යෙෂ්ඨ කථිචාර්ය
සමන් හඳරාගම මහතා