මේ දවස්වල පොලිය වැඩියි

ආයෝජනයට හොඳ අවස්ථාවක්
ජුනි 27, 2022

 

මුදල් තැන්පත් කරන්න විශ්වාසවන්ත බැංකුවක් පමණක් තෝරාගන්න

 

මේ දවස්වල ස්ථාවර තැන්පත් සහ ඉතුරුම් ගිණුම්වල පොලිය වැඩියි. ඒ නිසාම කවුරුත් බලන්නේ සල්ලි කීයක් හරි තැන්පත් කරලා වැඩි පොලියක් ගන්නයි. එහෙමයි කියලා හිතුමතේට හැම මූල්‍ය ආයතනයක ම සල්ලි තැන්පත් කරන්න එපා. පොලිය කෙසේ වෙතත් අපි තැන්පත් කරන සල්ලිවලට ආරක්ෂාවක් තියෙනවා ද කියලා පළමුව විමසා බැලිය යුතුයි. බොහොම අමාරුවෙන් ඉතිරි කරගත් මුදල් වැඩි පොලියක් කියා හොරුන් හා වංචාකාරයන් ළඟ තැන්පත් කරන්න හිතන්නවත් එපා.

 

පසුගිය කාලෙ වැඩි පොලියක් ගන්න එහෙම තැන්තැන්වල සල්ලි තැන්පත් කරලා කීදෙනෙක් නම් අමාරුවේ වැටුණා ද? ඒවා මාධ්‍ය මඟින් පෙන්වන විට ඔබත් අනේ අපොයි කියන්න ඇති. ඒවා ඔබටත් හොඳ පාඩම්.

ඒ නිසා මොනතරම් පොලී අනුපාත වැඩි වුණත් තමන් මුදල් තැන්පත් කරන්නේ මහ බැංකුව අනුමත කළ, මහ බැංකුවේ සහතික ලත් මූල්‍ය ආයතනයක ද කියලා විමසා බලන්න. අරයා මෙයා කියනවා ට ඔබේ සල්ලි තැන්පත් කරන්න එපා. අපේ රටේ බැංකු ලෙසින් හැඳින්වෙන ප්‍රධාන මූල්‍ය ආයතන කිහිපයක් තියෙනවා. ඒවා තමයි වඩාත් විශ්වාසවන්ත. මහජන බැංකුව, ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව ආදී වඩාත් විශ්වාසවන්ත බැංකුවක් වෙත පිවිසීමට ඔබ කල්පනාකාරී විය යුතුයි.

බැංකුවක් යනු මහජන විශ්වාසය දිනාගත යුතු ආයතනයකි. ගනුදෙනුකරුවන්ගේ තැන්පත් ආරක්ෂා කරමින් වැඩිම පොලියක් ගෙවීම සහ තමන් උපයා ගන්නා මුදල් ඉතිරි කිරීමට නිසි ආකාරයට ආයෝජනය කිරීමට බැංකුවක දර්ශනය විය යුතුයි. රටක ආර්ථික දියුණුව උදෙසා කාර්යක්ෂම මූල්‍ය වෙ‍ෙළඳපොළ ඉතා වැදගත්ය. මූල්‍ය වෙළෙඳපොළ කාර්යක්ෂම වන්නේ බැංකු පද්ධතියත් අතර පවතින තරගකාරී ස්වභාවය අනුවය. රටක මූල්‍ය වෙළෙඳපොළ සාර්ථකත්වය වෙනුවෙන් බැංකු පද්ධතිය බෙහෙවින් දායක වේ.

මේ සියලු කරුණු කාරණා සලකා බැලීමේ දී අද කාලේ බැංකුවක් සමඟ සබඳතා නොපවත්වන කෙනෙක් නැති තරම්ය.

කිසියම් පුද්ගලයෙක් තමා ඉතිරි කරගත් මුදල් පරෙස්සමට තබන්නේ, නැතිනම් තැන්පත් කරන්නේ බැංකුවලය. එසේ තැන්පතුවක් භාරගත් වහාම බැංකුකරු හා ගනුදෙනුකරු අතර නීතිමය සබඳතාවක් හටගනී.

කොහොම නමුත් දැන් අපේ රටේ ආර්ථික මට්ටම සැලකිය යුතු පරිදි පහළට බැස තිබේ. මේ හේතුව මත රටේ ජනතාවගේ හෙට දවසේ ජීවන වියදම අස්ථාවරය. බැංකු හා ගනුදෙනු කරන පිරිස් බෙහෙවින් අඩුවුණි. තමන් උපයන දේ තමා ළඟම තබාගෙන එදිනෙදා වියහියදම්වලට යෙදවීම සිදු කරන්නට වී ඇත. මේ තත්ත්වය මූල්‍ය ආයතන කඩා වැටීමටත් රටේ ආර්ථික සංවර්ධනයටත් බෙහෙවින් අභාග්‍ය සම්පන්නයි. මේ සියලු කරුණු මූලික කරගෙන අපේ රටේ මූල්‍ය ආයතන රැසක්ම තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉතුරුම්වලට ආකර්ෂණීය පොලියක් ලබා දීමට කටයුතු කර ඇත.

පහුගිය කාලයේ ස්ථාවර තැන්පත්වල පොලී අනුපාතය බෙහෙවින් ම අඩුවී තිබුණා. ඒ නිසා එලෙස දැමූ මුදල් අලුත් අනුපාතයට සකසා ගන්න. ඒ සඳහා බැංකුවට ගොස් කළමනාකාරතුමා මුණ ගැසී කතාකරන්න. රුපියල් මිලියන 10ක පමණ මුදලක් ස්ථාවර තැන්පතුවක් ලෙස දමන්නේ නම් සමහර බැංකුවල 20% කට වැඩි ඉහළ අනුපාතයක පොලියක් ගන්නත් පුළුවන්. එලෙස ඔබට තනිවම මිලියනයක් දැමීමට නොහැකි නම් යහළුවන්, නෑදෑයන් සමඟ කතාකර එක්ව ගොස් වෙන වෙනම ඒ මුදල් තමන් නමින් තැන්පත් කර අදාළ පොලී අනුපාතය ලබාගන්නටත් හැකියි. ඒ නිසා පළමුව ඔබ ගනුදෙනු කරන බැංකුව වෙත ගොස් විමසන්න. ඒ වගේම ඉහතින් සඳහන් කළ නම් සහිත බැංකු සියල්ලෙන්ම විමසා ඔබගේ ආයෝජනයට සුදුසු බැංකුව තෝරාගන්න.

ආරක්ෂාවයි ඉහළ පොලී අනුපාතයකුයි ලැබෙනවා නම් ඔබේ මුදල් එම බැංකුවක තැන්පත් කර ආදායමක් උපයා ගන්න. දැනට රැකියාවලින් විශ්‍රාම ගොස් ඉන්න බොහෝ දෙනා මෙලෙස මුදල් තැන්පත් කර ති‍ෙබනවා. ඔබට මේ උදාවී තිබෙන්නේ හොඳ ආයෝජන අවස්ථාවක්. එයින් උපරිම ප්‍රයෝජන ගන්න.

විශ්වාසය සහ ආරක්ෂාව තබා ගනිමින් ඔබේ අත රැඳි මුදල තැන්පත් කිරීමට අදම කටයුතු කරන්න.