කියවන්න හොඳ පොතක්

ජූලි 11, 2022

 

“ පොත් කියන්නෙ මැජික් එකක්. මොකද ඒ මැජික් එකට පුළුවන් වාඩි වී සිටින පුටුව මත සිටීයදීම ඔබව ගව් ගාණක දුරකට රැගෙන යන්න.”

- කැත්‍රිනා මේයර්

ඇය සඳහන් කළ මේ කාරණය කොයිතරම් නම් සත්‍යයක්දැයි පොත් කියවන අයම දන්නවා. නිරන්තරයෙන් අපේ හිත් තළා පෙළා දමන ඕනෑම කරුණක් සැණෙකින් අමතක කර දමන්න, විඩාබර මනස සැහැල්ලු කරන්න හොඳම ඖෂධය තමා පොතක් කියවීම. විශේෂයෙන්ම විවිධාකාරයේ සමාජ මාධ්‍ය ජාලා දෙස දෙනෙත රඳවමින් නිකරුණේ වැය කරන කාලය හොඳ පොතක් කියවීමට යොදා ගැනීමට හැකි නම් අනිවාර්යයෙන්ම ඔබේ දැනුමට යමක් එකතු කරගත හැකි බව අමතක කරන්න එපා.

 

දුෂ්ටයෙකුගේ ආදර කතාවක් - ඩිල්ෂාන් පතිරත්න

කවියෙක්, ගීත රචකයෙක්, නිවේදයෙක් පමණක් නොව නීතිවේදියකු ලෙසින් ඔබ හොඳින් දන්නා හඳුනන ඩිල්ෂාන් පතිරත්න ලියූ අලුත්ම නවකතාවයි. පරවේශනීය සාක්ෂි එදිරි ව හෘද සාක්ෂියේ නඩුකාරය හෙවත් දුෂ්ටයකුගේ ආදර කතාවක්.

ටිකක් අමුතුයි කියලා හිතෙන නමක් එක්ක, තමන්ගේ නීතිඥ වෘත්තියේ දැනුමත් භාවිත කරමින් දිල්ෂාන් ලියූ මේ පොත සාම්ප්‍රදායික ප්‍රේරම කතාවලින් බැහැර වූවක්. අපි අහන, දකින, නරඹන සුදු, කළු චරිත අතරේ අළු පාට චරිත ද තිබිය හැකි බව කියන ඔහු එවැනි අළු චරිතයක් මතු කිරීමේ ආසාවෙන්ම මේ පොත ලියූ බව පවසයි. එමෙන්ම මෙහි කතාසාරය නිර්මාණය කිරීමට ඔහු පොළඹවා ඇත්තේ ද කලකට පෙර නැරැඹූ ඉංග්‍රීසි චිත්‍රපටයක කතා තේමාවකි.

--------------------------------

නදී ගීතය - පුෂ්කර වන්නිආරච්චි

බංගලාදේශයේ ලේඛිකාවක වන මහාචාර්ය සෙලීනා හුසේන් විසින් බෙංගාල බසින් රචිත මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ “ගංදියේ නවාතැන” කෘතියේ පරිවර්තනය “නදී ගීතය” නමින් දැන් වෙළෙඳපොළට එකතු වී තිබේ.

චරිත කතා රචකයකු, රූපවාහිනී වාර්තා වැඩසටහන් රචකයකු සේම වෙළෙඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂකයකු වූ පුෂ්කර වන්නිආරච්චිගේ ප්‍රථම පරිවර්තන කෘතිය වන්නේ මේ නදී ගීතයයි.

දෙව්ජානි සෙන් ගුප්තා නමැති ලේඛිකාව The Painter’s palette නමින් මේ ගංදියේ නවාතැන ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තිබේ. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ තරුණ විය පිළිබඳ අප්‍රකට තොරතුරු රුසක් ඇතුළත් මේ කෘතියෙන් පීඩිත ජනතාව පිළිබඳ ගැඹුරු පැතිකඩක් විවරණය වේ.