ඔබේ තෝරාගැනීම කැන්ගරු දේශය නමින් සුප්‍රකට ඔස්ට්‍රේලියාව ද?

ව්දෙස් රටක පදිංචියට යන්න ද සූදානම.....
අගෝස්තු 1, 2022

 

 

අද දවසේ ලාංකේය බහුතරයකගේ අපේක්ෂාව උපන්බිම අතැර විදෙස්ගත වීමය. සමහරු ස්ථිර පදිංචිය සඳහා ද තවත් පිරිසක් රැකියා සඳහා ද තරුණ පිරිස අධ්‍යාපනය සඳහා ද මෙලෙස විදෙස්ගත වන්නට සිතති. ඒ අතර බහුතරය එංගලන්තය ප්‍රමුඛ යුරෝපය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානය වෙත අවධානය යොමු කරති. මෙලෙස විදෙස්ගත වන්නට අදහස් කරන අයට රජයෙන් ද දිරිගැන්වීම් ලැබෙන නිසා ඔබට තෝරාගත හැකි රටවල් පිළිබඳ තරුණී වෙතින් දිග හැරෙන ලිපි පෙළක තෙවැන්නයි මේ.

නවසීලන්තය, ඉතාලිය පිළබඳ දැනගත් ඔබට අද ඔස්ට්‍රේලියාව කුමනාකාර රටක් දැයි දැනගත හැකියි. අප මේ ලිපි පෙළ ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වී එම රටවල පදිංචි වී හිඳින අපේ ම අයගේ අදහස් මතිනි. ඒ නිසාම එම රටවල් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්නටත් ඔබට යන්නට සුදුසු රට කුමක්දැයි තීරණය කරන්නත් මේ ලිපි පෙළ බෙහෙවින්ම වැදගත් වේවි.

 

 

 

කැන්ගරු දේශය නමින් සුප්‍රකට ඔස්ට්‍රේලියාව, ඕෂනියා කලාපයේ පිහිටි ප්‍රධානම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ගත්කල ලෝකයේ හයවැනියට විශාලම රටයි. එහි ප්‍රධාන භූමිය මෙන්ම ටැස්මේනියා දූපතත් තවත් කුඩා දූපත් රාශියකුත් එරටට අයත් වේ. රටේ විශාලත්වය නිසා, එහි භූමිය සහ දේශගුණය විවිධත්වයෙන් යුක්තයි. රට මධ්‍යයේ කාන්තාරය. ඊසානදිග නිවර්තන වැසි වනාන්තර. නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් කඳු වැටි සහිත සෞම්‍ය දේශගුණයක් තිබේ. ඒ නිසාම ජනාවාස වූ මහාද්වීප අතරින් ඔස්ට්‍රේලියාව පැතලිම, වියළිම සහ අඩුම සාරවත් පස් සහිත, මහාද්වීපය ලෙස හඳුන්වයි. කාන්තාරය හෝ අර්ධ ශුෂ්ක බිම් ප්‍රදේශය පොදුවේ අවුට්බැක් ලෙස හඳුන්වනු ලබන අතර එය ඔස්ට්‍රේලියාවේ භූමියෙන් විශාලතම ප්‍රදේශයක් වෙනවා. මහාද්වීපික ප්‍රදේශය පුරා වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 500 ට වඩා අඩුයි. ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට වැසියන් 3.4 කි. මේ නිසා ජනගහනයෙන් විශාල කොටසක් ජීවත් වෙන්නේ සෞම්‍ය දේශගුණයක් ඇති දකුණු හා නැගෙනහිර වෙරළ තීරයේය.

 

2021 ඔස්ට්‍රේලියාවේ සංගණනය අනුව ජන ගහනය මිලියන 25.5ක් පමණ වෙනවා. එයින් සියයට 50.7 ක් කාන්තාවන්. මධ්‍යස්ථ වයස අවුරුදු 39 ක් සහිත කාන්තාවන්. ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 29.1%ක් විදේශයන්හි උපත ලබා ඇති අයයි. එනම් මිලියන 7.5 ක ජනතාවක්. එතෙර උපන් විශාලම පිරිස එංගලන්තයේ උපත ලැබුව ද 2011 වසරෙන් පසු වැඩිම වැඩිවීමක් ඇති කණ්ඩායම වූයේ ඉන්දියානුවන්. චීනයේ උපත ලද පිරිස තුන්වැනි තැන ගන්නා අතර දහවැනි තැනට සිටින්නේ ශ්‍රී ලාංකිකයන්. එනම් 145,790. මින් වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ. බොහෝ පුද්ගලයන් වැඩිහිටියන් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන අතර ඒ ස්ථිර පදිංචිය, තෘතීයික අධ්‍යාපනය හෝ රැකියා වීසා යටතේ. 2020 දී ඔස්ට්‍රේලියාව, රටේ මුළු ජනගහනයේ ඇතුළත් මුළු සංක්‍රමණිකයන් සංඛ්‍යාව සඳහා ජාත්‍යන්තරව 9 වැනි ස්ථානය ගත්තා.

 

රැජිනගේ පාලනය

පොදු රාජ්‍යය මණ්ඩලයට අයත් ඔස්ට්‍රේලියාව දෙවැනි එලිසබෙත් රැජින විසින් පාලනය කරන අතර ඇයව ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාරවරයා විසින් නියෝජනය කරනු ලබනවා. ෆෙඩරල් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති මෙහි අගමැති මුලිකත්වය ගන්නවා. එසේම ප්‍රාන්ත හා ටෙරටෙරිවලට වෙනම ආණ්ඩුකාරවරුන් සිටිනවා. සෑම අවුරුදු 18 සහ ඊට වැඩි, සියලුම ලියාපදිංචි වූ පුරවැසියන් මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යය වෙනවා. මැතිවරණ සාමකාමී අතර ඉන් කිසිදු පුරවැසියකුගේ එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් මෙන්ම පරිසර හානියක් නැහැ.

 

ප්‍රාන්ත හයක්

ඔස්ට්‍රේලියාව ප්‍රාන්ත හයක් සහ ප්‍රධාන භූමි ප්‍රදේශ තුනකින් සමන්විතයි. ප්‍රාන්ත සහ එම ප්‍රාන්තවල ප්‍රධාන නගර පිළිවෙළින් නිව් සවුත් වේල්ස් - සිඩ්නි, ක්වීන්ස්ලන්තය - බ්‍රිස්බේන්, දකුණු ඔස්ට්‍රේලියාව - ඇඩිලේඩ්, ටැස්මේනියා - හෝබාර්ට්, වික්ටෝරියා - මෙල්බන් සහ බටහිර ඔස්ට්‍රේලියාව - පර්ත් ය. ප්‍රධාන භූමි ප්‍රදේශ තුන නම් ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරටෙරි - කැන්බරා, උතුරු ප්‍රදේශය - ඩාවින්, සහ ජාවිස් බේ ටෙරටෙරි ය. මීට අමතරව ක්‍රිස්මස් දිවයින ඇතුළු බාහිර ටෙරටෙරි හතක් තිබේ. මෙහි වැසියන්ගෙන් සියයට 80ක් පමණ ජීවත් වන්නේ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය සහ ඔස්ට්‍රේලියානු අගනුවර ප්‍රදේශයේ ය.

ජනතාවගෙන් සියයට 66.9 ක් ප්‍රධාන නගරවල වාසය කරන අතර සියයට 33.1 ක් ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවල ජීවත් වෙනවා. ජනගහනයෙන් වැඩි පිරිසක්‌ සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙන්නේ. රටේ අගනුවර කැන්බරා. මිලියන 5.2 ක ජනතාවක් සිටින ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය ලෙස සිඩ්නිත්, මිලියන 4.9 ක ජනතාවක් සිටින මෙල්බර්න් සහ මිලියන 2.5 ක ජනතාවක් සිටින බ්‍රිස්බේන් පිළිවෙළින් ජනාකීර්ණ වූ නගර ලෙස වාර්තා වෙනවා. ජීවන මට්ටම සහ ජීවත් වීමට සුදුසු නගර අතරින් ඔස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින්ම සටහන් වෙනවා.

 

පහසුකම් ඉහළයි

සෞභාග්‍යවත් හා සංවර්ධිත රටක් ලෙස නම් දරා ඇති ඔස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්ත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස සහ සිවිල් අයිතින්, සුරක්ෂිතභාව වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතින්නේ. ඒ නිසාම විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටිනවා. ඔස්ට්‍රේලියාවේ ඉහළ ඒක පුද්ගල අදායම් මෙන්ම වැඩිම නිවාස මිල ගණන් සහ ලෝකයේ ඉහළම ගෘහ ණය මට්ටම් ඇති රටක්.

සේවා, ඛනිජ සම්පත් හා පතල් අපනයන, බැංකු, නිෂ්පාදන, කෘෂිකර්මය සහ ජාත්‍යන්තර අධ්‍යාපනය ඇතුළු විවිධ මූලාශ්‍රවලින් ආදායම් උපදවන අතර, බහුල වශයෙන් පවතින ස්වාභාවික සම්පත් සහ මනාව ඇතිකරගත් ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා රටේ ආර්ථිකයට ඉතා වැදගත් වෙනවා. මෙහි බදු ආදායම ඉතා වැදගත්. අවුරුදු 18 ඉහළ, වාසය කරන සියලුම දෙනා, හැම බදු වර්ෂයක් සඳහාම සිය බදු තක්සේරු වාර්තා ඉදරිපත් කළ යුතු වෙනවා. වැටුප් , බැංකු, රක්ෂණ ආදී සෑම දෙයක්ම බදු කාර්යාංශය සමඟ සම්බන්ධ කර තිබෙනවා.

 

භාෂාව

මේ රටේ රාජ්‍ය භාෂාවක් නැහැ. රටේ ජාතික භාෂාව ඉංග්‍රීසි. එම නිසා නිපුණතා වීසා, ශිෂ්‍ය වීසා, ස්ථිර පදිංචි ලබාගැනීමට ඉංග්‍රීසි භාෂා දැනුම අවශ්‍යයි. පාසල්වල ප්‍රධාන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාවත් ඊට අමතරව ප්‍රංශ, ඉතාලි, ආදී භාෂා උගන්වනවා. ඔස්ට්‍රේලියාව බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. මේ නිසා පාසලේ උගන්වන්නේ නැති භාෂා ඉගෙන ගැනීමට භාෂා පාසල් හරහා අවස්ථාව ලැබෙනවා. සිංහල භාෂාවත් ඊට අයත්. එමෙන්ම වික්ටෝරියානු සහතිකපත් විභාගයට විෂයක් ලෙස සිංහල භාෂාව තෝරාගත හැකියි. සමහර රාජ්‍ය ආයතන වෙබ් අඩවිවල තොරතුරු වෙනත් භාෂාවලට පරිවතනය කර ලබාගැනිමටත්, අවශ්‍ය අවස්ථාවල භාෂා පරිවර්තක සේවය ලබාදීමටත් කටයුතු සලසා තිබෙනවා. බොහෝවිට ගෙදර දී කතාකරන භාෂාව සඳහන් කරන්න කියනවා. 2021 සංගණනයේ දී, ජනගහනයෙන් 72% ක් නිවෙසේ දී කතා කරන එකම භාෂාව ඉංග්‍රීසි ලෙස දක්වා තිබෙනවා. ඉංග්‍රීසි හැරුණු විට මැන්ඩරින්, අරාබි, වියට්නාම, කැන්ටනීස් හා පන්ජාබ් නිවෙසේ දී වඩාත් භාවිත වන පොදු භාෂාවන් වෙනවා. සිංහල භාෂාව කතා කරන වැඩි පිරිස් සිටින ප්‍රදේශවල ප්‍රාදේශීය පුස්තකාලවල සිංහල පොත් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය ආගමක් නොමැති ඔස්ට්‍රේලියාව 2021 සංගණනයේ දී, ජනගහනයෙන් 38.9%ක් "ආගමක් නැත" ලෙස හඳුනාගෙන තියෙනවා. විශාලතම ආගම ක්‍රිස්තියානි ධර්මයයි. එනම් ජනගහනයෙන් 43.9% කි

 

අධ්‍යාපනය

පාසල් පැමිණීම හෝ නිවාස අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වීම ඔස්ට්‍රේලියාව පුරා අනිවාර්යයි. අධ්‍යාපනය එක් එක් ප්‍රාන්තවල වගකීම බැවින් ප්‍රාන්ත අතර නීති වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් ළමුන්ට වයස අවුරුදු 5 සිට 16 පමණ දක්වා පාසල් යාම අනිවාර්යයි. සමහර ප්‍රාන්තවල වයස අවුරුදු 16-17 අතර ළමුන් එක්කෝ පාසල් යාම හෝ ආධුනිකත්ව පුහුණුවක් වැනි වෘත්තීය පුහුණුවකට සහභාගී වීම අවශ්‍යයි. මෙහි අධ්‍යාපනය මුල් ළමාවිය අධ්‍යාපනය (පෙර පාසල්), ප්‍රාථමික අධ්‍යාපනය (ප්‍රාථමික පාසල්), ද්විතීයික අධ්‍යාපනය (උසස් පාසල්), තෘතීයික අධ්‍යාපනය (විශ්වවිද්‍යාල සහ ලියාපදිංචි පුහුණු ආයතනයන) යන අංශ ඇතුළත්. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය සඳහා, රජයේ පාසල් සහ රජයේ නොවන පාසල් (කතෝලික හා ස්වාධීන) කටයුතු කරනවා. තෘතීයික මට්ටමේ දී, ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල බහුතරයක් පොදු ඒවා. ශිෂ්‍ය ගාස්තු, ශිෂ්‍ය ණය වැඩසටහනක් හරහා සිසුන්ට සහනාධාර ලබා දෙන අතර එහිදී ණය යම් ආදායම් මට්ටමකට ළඟා වූ විට ගෙවීම සිදු වෙනවා. ඔස්ට්‍රේලියානු සුදුසුකම් රාමුව මඟින් ඔස්ට්‍රේලියාව උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (VET) සහ පාසල් පාදක අධ්‍යාපනය ඇතුළත් ජාතික සුදුසුකම් පද්ධතියක් අනුගමනය කරනවා. ඒ අනුව සිසුන්ට තමන් කැමැති අංශවලින් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛ ගෝලීය සැපයුම්කරුවෙකි.

 

පාසල් වාර

පාසල් වසරක් ජනවාරි සිට දෙසැම්බර් දක්වා වේ. විශාල පාසල් සංඛ්‍යාවක් සම- අධ්‍යාපනය සපයන අතර කුඩා ප්‍රමාණයක් වෙනම පිරිමි සහ බාලිකා පාසල්. ප්‍රාථමික පාසලේ කාලසීමාව වන අවුරුදු හත ඇතුළත අත්‍යවශ්‍ය සාක්ෂරතාව, සංඛ්‍යාව සහ සමාජ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, අවට ලෝකය පිළිබඳ දරුවන්ට මූලික දැනුම ලබා දෙනවා. ප්‍රයෝගික ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. සෞන්දර්යය, ක්‍රීඩා, පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, චාරිකා, කඳවුරු ආදියට සහභගි වෙනවා. සිසුන් තරගකාරි අධ්‍යපනයක යෙදෙන්නේ නැහැ. වාර විභාග නැහැ. නමුත් නිරන්තර ඇගැයීම් කර ඔවුන් ඉගෙනීමේ ගුණාත්මකභාවය අපේක්ෂිත මට්ටමට පැමිණ ඇත්දැයි බලනවා. වර්ධනය කළ යුතු දේ පවසනවා.

 

විෂය මාලාව

මෙහි විෂය මාලාව, පූර්ව වසර 1 සිට 10 වසර දක්වා, ඉගෙනුම් ක්ෂේත්‍ර අටකින් සමන්විතයි. එනම් ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා , කලා, තාක්ෂණයන්, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය මෙන්ම භාෂා. ජ්‍යෙෂ්ඨ ද්විතීයික විෂය මාලාවේ, 11 සහ 12 වසර සඳහා, ඉංග්‍රීසි, ගණිතය සමඟ තමන් කැමැති අනුමත විෂයන් තෝරාගත් හැකියි.

දරුවන් ඉහළ ප්‍රාථමික වසරවල දී ම කැල්කියුලේටර් සහ පරිගණක ඉගෙනීම සඳහා භාවිත කරනවා. ද්විතීයික අධ්‍යාපනයේ දී විද්‍යාත්මක කැල්කියුලේටර් සහ පරිගණකයක් අත්‍යවශ්‍ය ඉගෙනුම් මෙවලම්. පාසල් සහ මවුපියන් අතර සන්නිවේදන කටයුතු සඳහා ද තාක්ෂණය යොදා ගන්නවා

 

පාසල් කාලය

පාසල් කාලය බොහෝ පාසල්වල උදේ 8.45 - 9.00 සිට හවස 3.15 - 3.30 වන තුරුයි. අතරමැද කෙටි විවේක කාලයක් හා දහවල් අහාර සඳහා විවේකයක් ලැබෙනවා. දහවල් විවේකයේ දී දරුවන් කැමැති නම් චිත්‍ර , චෙස් ආදී සමාජවලට සහභාගී වීමට පුළුවන්. සමහර ද්විතීය පාසල්වල, පාසලෙන් පසුව නියමිත දිනවල දී අමතර උදව් අවශ්‍ය ළමුන් සඳහා හෝම් වර්ක් ක්ලබ් පැවැත්වෙනවා.

රජයේ නොවන පාසල් සාමාන්‍යයෙන් අනිවාර්යය උපකාරක පන්ති සහ වෙනත් ගාස්තු අය කරනවා. බොහෝ රජයේ පාසල් නිශ්චිත වියදම් පියවා ගැනීම සඳහා 'ස්වේච්ඡා' ගාස්තු ගෙවීමට ඉල්ලා සිටියත්, අනිවාර්යය උපකාරක ගාස්තු නොමැතිව අධ්‍යාපනය ලබා දෙනවා. එක් එක් පාසලට නියමිත නිල ඇඳුම් (ග්‍රීෂ්ම, ශීත හා ක්‍රීඩා) ඇඳීම අවශ්‍ය වෙනවා. මාපියන් ලිපි ද්‍රව්‍ය, පෙළපොත්, ක්‍රීඩා, නිල ඇඳුම්, පාසල් කඳවුරු සහ වෙනත් පාසල් අධ්‍යාපන වියදම් දැරිය යුතුයි.

දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ගෙන් කුඩා කොටසක් නීත්‍යානුකූලව නිවෙසේ සිට අධ්‍යාපනය ලබනවා. එසේම ඉගෙනීමේ දුෂ්කරතා, ශාරීරික දුබලතා, සංවර්ධන දුර්වලතා හෝ සමාජ/චිත්තවේගීය කැළඹීම් හේතුවෙන් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති හෝ අත්අඩංගුවේ සිටින සිසුන් සඳහා විශේෂ පාසල් තිබෙනවා.

 

ශ්‍රම බලකාය

කෙනෙක් පාසල් අධ්‍යාපනයෙන් පසු කෙළින්ම ශ්‍රම බලකායට යාමට බලාපොරොත්තු වෙනවා නම් ඔස්ට්‍රේලියානු වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු (VET) සුදුසුකම තුළින් වෘත්තීය කුසලතා සහ නිපුණතා, සේවා ස්ථානය සඳහා අවශ්‍ය ප්‍රායෝගික අත්දැකීම් ලබාගත හැකියි. සිසුන්ට නම්‍යශීලී ලෙස ඉගෙන ගෙන සුදුසුකම් සහතික මට්ටම් හතරක් (සහතික I, II, III සහ IV), මෙන්ම ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා වෙත යා හැකියි. මෙරටේ දී කිසිම වෙලාවක තනතුර පදනම් කරගෙන කටයුතු කරන්නේ නැහැ. ඔවුන් සැමටම එක ලෙස සලකනවා.

 

රැකියා

පුද්ගලයන් රජයේ, පුද්ගලික අංශයේ, කර්මාන්තවල, කෘෂිකර්මාන්තයේ රැකියා කරන අතර තවත් සමහරක් තමන්ගේ ව්‍යාපාර, ස්වයං රැකියාවල යෙදෙනවා. රාජ්‍ය සේවයේ රැකියා සඳහා පුරවැසිභාවය හෝ පදිංචිය පිළිබඳ අවශ්‍යතා ද සලකා බලනවා. සේවා කාලය අනුව පූර්ණ කාලීන, අර්ධ කාලීන, අනියම්, කොන්ත්‍රාත්, තාවකාලික හෝ සෘතුමය අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. ජාතික අවම වැටුප පැයකට ඩොලර් 21.38 ක්. පසුගිය කාලය තුළ කාන්තා රැකියා සහභාගීත්වය වර්ධනය වී ඇත. ඉහළ කුසලතා අවශ්‍යතාවලට ප්‍රතිචාර වශයෙන්, යෞවනයන් අධ්‍යාපනය සඳහා වැඩි කාලයක් ගත කරනවා. මේ වෙනස්කම් පුළුල් සමාජ හා ආයතනික වෙනස්කම්වලට බලපාලා තිබෙනවා. සේවා ස්ථාන වඩාත් නම්‍යශීලී වෙනවා. මාපියන්ට ළමා රැකවරණය සඳහා වැඩි ඉඩකඩක් දෙනවා, රැකියා සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අවස්ථා පවතිනවා. STEM කුසලතා (විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය) ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එය බොහෝ කර්මාන්තවල වඩාත් සංකීර්ණ, නව්‍ය වැඩ පහසුව කිරීමට උපකාරී වෙලා. ආබාධිත පුද්ගලයන් සඳහා ද රැකියා අවස්ථා ලබා දීම් තියෙනවා.

පාසල්වල ඉහළ වසරවල සිටින සිසුන්ට තම ප්‍රාන්ත රජයන්ගේ නියමයන් අනුව නිසි වයස් සම්පුර්ණ කිරීමෙන් තම අධ්‍යාපනයට බාධා නොවන පරිදි අර්ධ කාලීන රැකියා කිරීමට පුළුවන්. එසේම විශ්වවිද්‍යාල සිසුන්, අන්තර්ජාතික සිසුන් උපරිම පැය ගණනකට යටත්ව රැකියාවල යෙදෙනවා. සුපිරි වෙළෙඳපොළ, අවන්හල්, පිරිසුදු කිරීම, බෙදා හැරීම රැකියා ඒ අතර වෙනවා. සමහර පවුල්වල දරුවන් බලාගැනීමේ අවශ්‍යතා අනුව නම්‍යශීලි වැඩ කිරීමේ වේලාවන්, දරුවන් සුරැකීමේ මධ්‍යස්ථාන භාවිත කිරීම හෝ එක් අයකු පමණක් රැකියාව කරනවා.

අද වනවිට කාන්තාවන් ට්‍රක්, බස්රථ, ගුවනයානා, ෆොර්ක්ලිෆ්ට් ආදිය ධාවනය මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කරනවා. සෞඛ්‍යය සේවා, ලියාපදිංචි හෙදියන්, වයස්ගත රැකවරණ සහ ආබාධිත සහායක සේවකයන්, ද්විතියික පාසල් ගුරුවරුන්, අධ්‍යාපන හා ළමා රැකවරණ, ඉදිකිරීම්, ජලනල කාර්මිකයන්, සමාජ සේවා, සුපවේදී ආදී කේෂ්ත්‍රවල ඉහළ රැකියා ඉල්ලුමක් පවතී.

 

මේ ලිපියේ ඉතිරි කොටස 08-08 තරුණී e paper වෙතින් කියවන්න.

 

 

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යාෙව්දි විශේෂ උපාධිය සමත්ව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය වාණිජ බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් ලෙසින් සේවය කර දැනට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචිව හිඳින ශානිකා ප්‍රනාන්දු ලියයි