දැන් නම් ගෙදරට පා පැදියක් නැතුවම බැහැ...

අගෝස්තු 1, 2022

 

“ෆුට් සයිකලයක් තිබුණා නම්... වැඩ ටික කරගන්න කොයි තරම් පහසුවක් ද?" මේ දවස්වල කොයි කාගේත් අපේක්ෂිව එයයි. රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ යතුරු පැදියක් පැදීමට ඉන්ධන සොයා ගැනීමට අපහසු කාලයක කඩයට යන්න, දරුවන් පංතියට රැගෙන යන්න හොඳම ක්‍රමය තමයි පාපැදිය. ඔබටත් මේ සියලු කටයුතු කරගන්න කාන්තා පාපැදියක් තිබුණා නම් එය කාලයේ හැටියට හරිම වටිනවා. ඒ වෙනුවෙන් පුංචි මඟ පෙන්වීමක් ලබා දෙන්නයි මේ සටහන තබන්නේ.

සුදුසු බයිසිකල් වර්ගය

කරදරයක් නැතුව සාමාන්‍ය පාරේ පැදගෙන යන්න බයිසිකලයක් නම් මිල දී ගත යුත්තේ රෝඩ් බයිසිකලයකි(Road Bike). මෙය බරින් අඩුයි. Drop handle bike තියෙන්නේ. (ඒ කියන්නේ handle එක පහතට නැමිලා පිහිටන්නේ) සාමාන්‍ය මටසිළුටු මතුපිටක් තියෙන පාරක පහසුවෙන් යන්න පුළුවන්.

කඳු, පල්ලම් සහිත රළු පාරක පදින්න නම් ඔබ මිල දී ගත යුත්තේ Mountain Bike එකකි. Disk brakes තියෙන, ගියර් system එකක් තියෙන, රෝද පළලින් වැඩි, කට්ට වැඩියෙන් තියෙන එකක්. මෙහි රෝදවල thick ගතිය වැඩියි. හරියට ජීප් එකක් වගේ. ඔබේ ගමන් මඟ සාමාන්‍යය මතුපිටක් තියෙන, ඒ වගේම බොරළු පාරක් නම් ඔබට ගැළපෙන්නේ Fitness hybrid bike එකකි. මෙය පළමුවෙන්ම කියූ bike වර්ග දෙකේම සංකලනයකි.සාමාන්‍ය පාරේ යන ගමන් ඉඳලා හිටලා බොරළු පාරකත් යන්න හිතුණොත් ඔබේ තෝරාගැනීම විය යුත්තේ Sport hybrid bike එකකි. එහෙමත් නැත්නම් Dual sport bike එකකි. ඔබට එදිනෙදා අවශ්‍ය ගමන් බිමන් යන්න, අත්‍යවශ්‍ය දෙයක් ගේන්න කඩේකට යන්න, office යන්න ඕනේ නම් ගැළපෙන්නේ Comfort hybrid bike එකකි. එය සැහැල්ලුයි.

කාන්තා පාපැදි

කාන්තාවන් සඳහාම වෙන් වු පාපැදිවල විශේෂත්වය වන්නේ එය සාමාන්‍ය පාපැදියකට වඩා බරෙන් අඩු සැහැල්ලු අයුරින් නිර්මාණය කර තිබීමයි. ඉතාම ආකර්ෂණීය ලෙසින් නිර්මාණය වූ මෙවැනි පාපැදි විවිධ මෝස්තරයන් ද වෙයි. මේ පාපැදියක් පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකි වන්නේ එහි හරස් අතට යෙදූ බාර් එකක් නො තිබීමෙනි. පාපැදිය නැවත් වූ පසුව ඉතාම පහසුවෙන් බැස ගැනීමට හැකි අයුරින් පිහිටි මෙවැනි බයිසිකලයක් කාන්තාවකට පහසුවකි. එසේම මෙවැනි පාපැදිවල තිරිංග ද ඉතාම හොඳින් පිහිටයි. එසේම එහි Folding ද හොඳින් ඇති අතර පුළුල් මෘදු ආසන කාන්තාවන්ට ගැළපෙන අයුරින් නිර්මාණය වී තිබේ. හැඬලය ද ඉතාම පහසුවෙන් හැසිරවීමට හැකි අයුරින් පිහිටයි. මෙවැනි පාපැදිවල ඉතා වේගයෙන් ගමන් කළ නො හැකි අතර ගියර් යෙදූ විට පාපැදියක් තරමක් වේගයෙන් ගමන් කරයි.

 

උසට සරිලන පාපැදිය

පාපැදියක් මිල දී ගැනීමේ දී අනිවාර්යයෙන් බැලිය යුතු දෙයක් වන්නේ අපේ උස අනුව අපිට සුදුසු මොන size එක ද කියන එක. ඔන්න ඉතිං අපි shop එකකට ගිහින්ම ගත්තොත් නම් නැගලා බලලා ගන්න පුළුවන්. online order කළොත් තමයි අපිට මේ ගැන හිතන්නම වෙන්නේ.

 

ටයර්වල ප්‍රමාණය

මේ ගැනත් දැනගෙන ඉන්න එක ගොඩාක් හොඳයි. සාමාන්‍යයෙන් බයිසිකල් ටයර් මිලිමීටර් 12.5 සිට මිලිමීටර් 28 දක්වා පළලකින් යුතු වෙනවා. ඔබගේ අවශ්‍යතාවට අනුව බයිසිකලයක් මිල දී ගන්නා විට මෙයත් ගොඩාක් වැදගත් වෙනවා.

ගැළපෙන සීට්

මෙතෙක් ආ comfortable V සීට් එක තියෙන්නේ රැලේ (Rally) වර්ගයට අයත් බයසිකල්වලයි. මෙය සම්පූර්ණ spring එකකින් සමන්විතයි (යකඩවලින්). මොකද අපිට පහසුවෙන් වගේම ලොකු විනෝදයකින් බයසිකලය පදින්න නම් සුව පහසු සීට් එකත් හුඟක් වැදගත්.

ලෙඩක් නැතිව පදින්න

ගොඩාක් අය හිතනවා ඇති බයිසිකලයක් නම් ඉතිං ගත්ත ගමන් පදින්න පුළුවන්නේ කියලා. ලංකාවේ පාපැදි නිෂ්පාදනය කරන්නේ එකම එක සමාගමක් විතරයි. ඒකත් තමන්ගේ නිෂ්පාදන අපේ වෙළෙඳපොළට දාන්නේ නෑ. ලංකාවේ විකුණන්නේ එකලස් කරපු බයිසිකල්. ඉතිං මේවා ගොඩාක් වෙලාවට මාස 7-8ක් වෙනවා fit කර එක තැනක රඳවා තබා. ඒ නිසා අලුතින් ගත්ත ගමන් පදින්න යන්නේ නැතුව, දන්න-කියන තැනකට ගිහින් ෆෝක් කම්බි, නට් ටික තද කර, ග්‍රීස් ටිකක්, තෙල් ටිකක් දාලා ගත්තා නම් වැඩි කාලයක් ලෙඩක් නැතුව පදින්න පුළුවන් වෙයි.

 

පොඩි පොඩි Repairing

හුළං පොම්පයක්, ටයර් repair kit එකක්, අඟල් 13, 14, 15, 16, 17 වගේ යතුරු කිහිපයක් එහෙම ළඟ තියාගත්තා නම් පොඩි පොඩි ලෙඩවලට වින්කලේ අයියාව හොයාගෙන දුවන්න වෙන වාර ගාණන අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවේ හුළං පෝළිමක් ඇතිවෙන එකත් අඩු කරගන්න පුළුවන්.

 

ආරක්ෂාව

ඉස්සර රුපියල් 7000ත් – 20000ත් අතර තිබුණු බයිසිකලයක් දැන් රුපියල් 45000ක් - 500000ක්. ඉතිං බයිසිකල් හොරුත් වැඩි වෙලා. ඒ නිසා පොඩි ගාණක් වියදම් කරලා කෝකටත් ලොක් එකක් දා ගන්න එකත් වැදගත්. ඉස්සර නම් lock එකක් රුපියල් 600 කට විතර ගන්න තිබුණා. දැන්නම් රුපියල් 2500ක් - 3000ක් අතර වෙනවා.