තරගය තියෙන්නේ මාත් එක්කමයි'

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා
අගෝස්තු 1, 2022

 ‘මේ ගේම් එකේ මැජික් පෙන්වන්න බැහැ,

“තරගය ඉවර වෙලා මම ට්‍රැක් ඒකේ පැත්තකට වෙලා හිටියා. මට හුරුපුරුදු කෙනක් මගේ ළඟට ආවා. ඔහු තමයි ලොව බිහි වූ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා, යෙහාන් බ්ලේක්. ඔහු දෙවැනි වුණේ ජැ‍ෙමයිකාවේ උසේන් බෝල්ට්ට විතරයි. ඔහු මගේ ක්‍රීඩා ජීවිතේ වීරයන් අතර ඉන්න විශිෂ්ටයෙක්. “යුපුන් උඔ ලංකාවේ නම ලෝකය ඉස්සරහට ගෙනියන්න ලොකු දෙයක් කරනවා. ඒකට මම හරි කැමැතියි." යනුවෙන්, ඔහු කියා ඇත්තේ දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයාටය.

යුපුන් අබේකෝන්, ඔහු අපේ මලල ක්‍රීඩා පිටියේ නැවුම් ඔලිම්පික් බලාපොරොත්තුවයි. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වෙමින් නව වාර්තාවක් තබන ඔහු මලල ක්‍රීඩා පිටියේ අපට හිමි රික්තය මකා දමන්නේ වසර ගණනාවකට පසුවය. සුසන්තිකා, දර්ශා, ශ්‍රියානි, සුගත් යුගයෙන් පසුව අපේ මලල ක්‍රීඩාපිටිය තුළ පැවතියේ හිඩැසකි. ඒ හිඩැස පුරවමින් පායා ආ තරුව ඔහුයි.

පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවති 'Resisprint' Athletics Championship මලල ක්‍රීඩා තරගාවලියේ දී කැපී පෙනන දස්කම් දැක්වූ යුපුන් මීටර් 100 ඉසව්ව අවසන් තරගය තත්පර 9.96 ක කාලයකින් නිමා කරමින් ඔහු විසින්ම තබා තිබූ දකුණු ආසියාතික වාර්තාව බිඳ දැමීමට සමත් විය. එය නව දකුණු ආසියාතික හා ශ්‍රී ලංකා වාර්තාවකි. මේ වාර්තාව අලුත් කිරීමත් සමඟ ආසියාවේ ම වේගවත් මිනිසුන් අතර සිව්වැනි ස්ථානයට අපේ තරුණයකු පත්වීම විශාල අභිමානයකි. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් මලල ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි යුපුන් නැවතත් අපට ඔලිම්පික් පදක්කමක් ගැන බලාපොරොත්තු දල්වන්නේ දශකයකට වැඩි කාලයකටත් පසුවය.

1994 වසරේ දෙසැම්බර් 31 වැනිදා මීගමූවේ දී උපත ලැබූ යුපුන් දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවාය. පාසල් කාලයේ පටන් ක්‍රීඩා පිටියට ආදරය කළ යුපුන් මූලික අධ්‍යාපනය හදාරන්නේ පන්නල ජාතික පාසෙලනි. පසුව වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා ඔහු යුද හමුදාවට බැඳෙන්නේ 2013 වසරේදීය. එම වසරේ ඉන්දියාවේ රාංචි නුවර පැවති දකුණු ආසියා තරගයට එක්වන යුපුන්ට මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතාගෙන් ආරාධනාවක් ලැබෙන්නේ යුද හමුදාවට බැඳී ඔහුගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන ලෙසය. කෝප්‍රල්වරයකු ලෙස යුද හමුදාවට එක්වූ යුපුන් තම හැකිවන් දියුණු කර ගනිමින් ඉදිරියට පැමිණි ගමන් මඟ පිළිබඳ මෙලෙස කතාබහක යෙදිණි.

“ඇත්තටම හමුදාවට බැඳුණු නිසා තමයි මගේ මේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන් වුණේ. නැත්නම් මේ වගේ වාර්තාවක් තියන්න ලේසි නැහැ. ඇත්තටම අපේ රටේ මලල ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් ආරක්ෂා කරන්නේ යුද හමුදාව. ඒක අපට ෙලාකු ශක්තියක්. මේ හීනය සැබෑකර ගන්න අවුරුදු ගාණක් මහන්සි වුණා. මේ ගේම් එකේදී මැජික් පෙන්වන්න බැහැ. අනිවාර්යයෙන්ම පුහුණු වෙන්න ඕනේ. ඒක ක්‍රමානුකූලව පියවරෙන් පියවර කරන්න ඕනෙ දෙයක්. මේක හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හැබැයි මගේ උත්සාහය පැරදුනා කියලා අතහරින්නේ නැහැ. මගේ තරගය තියෙන්නේ මාත් ඒක්කමයි. මම පුහුණුවීම් කළේ මගේ අතේ තිබුණු සල්ලි වියදම් කරගෙන. ඊට පස්සේ උදව් කරපු කිහිප දෙනක් ඉන්නවා. අපට යමක් ලබා ගන්න ඕනෙ නම් මුලින්ම ඒ වෙනුවෙන් අපේ කැපවීමක් කරන්න ඕනෙ. මේ ජයග්‍රහණය පිටුපස තියෙන්නේත් එවැනි හීනයක් සැබෑ කර ගැනීමක්. ඒක මම මහන්සියෙන් ආපු ගමනක්. දකුණු ආසියාවේ ම වේගවත් ම මිනිසා කියන තැනට එන්න කාපු කට්ට දන්නේ මම විතරයි. හැබැයි ආපහු හැරිලා බැලුවාම ලොකු සතුටක් දැනෙනවා."

යුපුන් ලැබූ සතුට උතුරා ගලන්නේ ඔහු ඔලිම්පික් පදක්කමක් දිනූ දවසකය. එය ලබා ගන්නට ඔහුට හැකියාව ලැබේවි. දැනටමත් එම ධාවන පථයට පිවිස සිටින ඔහුට අවශ්‍යව ඇත්තේ නිසි මෙඟ පෙන්වන පිරිසකි. ඒසේම ජාත්‍යන්තර පුහුණුවකි. ඒ සියල්ල සපුරා ගත් පසු ඔහු නියත වශයෙන්ම ඔලිම්පික් සිහිනය සැබෑ කරගනු ඇත.