ගෝත්‍රික කාන්තාවක් ඉන්දීය ජනපති පුටුවට ඈ... ද්‍රෞපදී මුර්මු

අගෝස්තු 1, 2022

 

ගෝත්‍රික ජන වර්ගයකින් පැවත එන ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu) නම් කාන්තාව ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස තේරී පත්විය. ඇය එරට ජනාධිපති පදවියට පත් දෙවැනි කාන්තාව වන අතර ගෝත්‍රික ප්‍රජාවකින් පැවත එන පළමු ජනාධිපති වේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මුර්මු 2015 සිට 2021 දක්වා ජාර්කන්ඩ් ප්‍රාන්තයේ 9 වැනි ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය.

 

පසුගිය ජූනි මාසයේ දී, භාරතීය ජනතා පක්ෂය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂිකාව ලෙස මුර්මු නම් කරන ලදී. ඇය විරුද්ධ පක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද යෂ්වන්ත් සිංහාට එරෙහිව ඉදිරිපත් විය.

1958 ජූනි 20 වැනිදා ඔඩීශාහි මයුර්බාන් දිස්ත්‍රික්කයේ උපර්බෙඩා ගම්මානයේ බිරන්චි නාරායන් ටුඩූ ට දාව සන්තාලි ගෝත්‍රික පවුලක ඈ උපන්නාය. ඇගේ පියා සහ සීයා යන දෙදෙනාම පංචාතී රාජ් ක්‍රමය යටතේ සර්පන්ච් ලෙස තේරී පත් වී ඇත. මුර්මු, රාම දේවි කාන්තා විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියකි.

ඇය ශ්‍යාම් චරන් මුර්මු නම් වූ බැංකුකරුවකු සමඟ විවාහ වී සිටි අතර ඇගේ සැමියා 2014 වසරේ දී මියගියේය. පුතුන් දෙදෙනෙක් හා දියණියකගේ මවක් වුවද ඇගේ පුතුන් දෙදෙනා ද දැන් ජීවතුන් අතර නැත. 2009 සිට 2015 දක්වා වසර 7ක කාලයේ දී ඇයට සිය සැමියා, පුතුන් දෙදෙනා, මව සහ සහෝදරයකු අහිමි විය.

මුර්මු ප්‍රාන්ත දේශපාලනයට පිවිසීමට පෙර පාසල් ගුරුවරියක ලෙස සේවය කර ඇත. ඒ රයිරන්ග්පූර් ශ්‍රී ඔරෝබින්ඩෝ සමෝධානික අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේය. ඔඩීශා රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාරවරියක් ලෙස ද ඇය සේවය කර තිබේ.

මුර්මු 1997 දී භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූ අතර රයිරන්ග්පූර් නගර් පංචායතනයේ මන්ත්‍රීවරිය ලෙස තේරී පත් විය. 2000 දී රයිරන්ග්පූර් නගර් පංචායතනයේ සභාපතිනිය බවට පත් විය.

ඔඩීෂා හි පැවැති සභාග ආණ්ඩුව තුළ, ඇය 2000 මාර්තු සිට 2002 අගෝස්තු දක්වා වාණිජ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය වූ අතර 2002 අගෝස්තු මස සිට ධීවර හා සත්ත්ව සම්පත් සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.

2015 මැයි 18 දින ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දුන් අතර, ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ප්‍රථම කාන්තා ආණ්ඩුකාරවරිය බවට පත් විය.

2017 දී ආණ්ඩුකාරවරිය ලෙස, 1908 චොටනාග්පූර් කුලී පනතට සහ 1949 සන්තාල් පර්ගානා කුලී පනතට සංශෝධන ඉල්ලා ජාර්කන්ඩ් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරන ලද පනත් කෙටුම්පතකට අනුමැතිය ලබා දීම මුර්මු ප්‍රතික්ෂේප කළේය. ඉඩමේ අයිතිය වෙනස් නොවන බව සහතික කරන තෙක් ඔවුන්ගේ ඉඩම් භාවිත කිරීමට අවසර නොදුන් ඈ රගුබර් දාස්ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවෙන් ගෝත්‍රිකයන්ගේ යහපැවැත්ම සඳහා ගෙන එන වෙනස්කම් පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

 

අන්තර්ජාලයෙනි