ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ 94 හැවිරිදි අත්තම්මා

අගෝස්තු 1, 2022

 

වයසත් සමඟ අප අතරින් බොහෝ දේවල් මඟ හැරී යයි. ක්‍රීඩාව, රඟපෑම්, නර්තනය, විහිළු තහළු කිරීම, ඉගෙනීම, නව අත්හදා බැලීම කිරීම, විලාසිතා කිරීම ආදී බොහෝ දේ ඒ අතර වේ. වයසත් සමඟ මේ දේවල් ජීවිතයෙන් ඈත් වී යනවා නොව අප විසින් ම ඒවා ඈත් කරනු ලබයි.

 

එහෙත් සත්‍ය වන්නේ මේ කිසිවක් කිරීමට අපේ වයස බලපෑමක් නො කරන බවයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ අපේ උනන්දුව හා කැපවීම පමණි. මේ සඳහා කදිම ආදර්ශයන් ගෙන දෙන සිදුවීමක් කෙරෙහි මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. ඒ වයස අවුරුදු 94 දී ක්‍රීඩා පිටියේ ලද ජයග්‍රහණයක් ගැනයි. ඇය ඉන්දීය ජාතික මිත්තණියකි. ඇගේ කතාව ලොව සියල්ලන්ට කියන්නේ උනන්දුව හා කැපවීම තිබේ නම් කිසිවකට තම වයස බලපෑමක් නො කරන බවයි. වයස යනු ඉලක්කමක් පමණක් බව ඇය මුළු ලොවටම හඬගා කී කතාවයි මේ.

 

පසුගිය දා ෆින්ලන්තයේ පැවැති 2022 ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කමක් සහ තවත් පදක්කම් දෙකක් දිනා ගැනීමට 94 හැවිරිදි භග්වානි දේවි දාගර් නම් මේ ඉන්දියානු ජාතික අත්තම්මා සමත් විය.

කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක් වන ඇය ජ්‍යෙෂ්ඨ පුරවැසි අංශයේ මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 24.74ක කාලයකින් තරගය නිමා කරමිනි. වෙඩි තැබීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හා කවපෙත්ත විසිකිරීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ද ඇය සමත් විය. ලෝකඩ පදක්කම් දිනාගත් විට ඇය පැවසුවේ තමන් එම වර්ණයට අකැමැති වුවත් එම පදක්කම් තමන්ට අනර්ඝ වස්තූන් බවයි

හර්යානා ප්‍රාන්තයෙන් පැමිණි දේවි මිත්තණියට සුබ පතමින් සෑම ඉන්දියානුවෙක්ම පවසන දෙයක් ඇත. එනම්, “ වයස අවුරුදු 94 දී ඇය මුළු ලෝකයටම ආශ්චර්යයක් ලබා දෙන මූලාශ්‍රයක් වී ඇත. එමෙන්ම ඇයගේ මේ ජයග්‍රහණය යෞවනයන් අතර ක්‍රීඩාව කෙරෙහි උද්යෝගයක් ඇති කිරීමට සමත්ය. ජීවිතයේ ඕනෑම දෙයක් සාක්ෂාත් කර ගැනීමට වයස බාධාවක් නොවන බවත් භගවානි දේවි නැවත වරක් ඔප්පු කර ඇත.” දාගර් අත්තම්මාගේ ජයග්‍රහණයේ කැපී පෙනෙන දෙය නම් ඇගේ වයස පමණක් නොව ඇය මලල ක්‍රීඩාව ආරම්භ කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී වීමයි.

 

ඒ ඉන්දියාවේ පැවැති ප්‍රාන්ත සහ ජාතික ශූරතා තරගවලට සහභාගී වෙමිනි. එහිදී ඇය රන් පදක්කම් තුනක් දිනාගෙන තිබුණි. පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති දාගර් ඇගේ ආදර්ශය ලෙස සලකන්නේ ඇගේ මුනුපුරා වන පැරා මලල ක්‍රීඩක විකාශ් දාගර් ය. ඔහු දැන් ඇගේ පුහුණුකරු ද වේ.

 

“ඉස්සර මම සතුටු වුණේ අපේ ගෙදර මගේ මුනුපුරාගේ පින්තූර සහ සහතිකවලින් සරසා ඇති බිත්තිය දෙස බලලයි. දැන් ඔහු වගේම මමත් රට වෙනුවෙන් පදක්කම් දිනලා තියෙනවා, ඒක ලොකු සතුටක්.” අද ඇය පවසයි.

 

අන්තර්ජාලයෙනි