'මේ අප ලියන්නට සිතාගෙන සිටි කතාව නොවේ'

අගෝස්තු 22, 2022

 

“ මේරි වයිට්හෙඩ් මේ දිනවල වාසය කරන්නේ නැගෙනහිර බෘන්ස්වික්වල ඩීන් නමැති පෙම්වතා එක්ක.”

ඔර්ජන් ප්‍රාන්ත යුදෙව් මාධ්‍ය හමුවකදී ඒබ්‍රහම් ප්‍රකාශ කොට තිබිණි. CBS රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ඩියාන් ඩයමන් නමැත්තෙක් ඒ ශ්‍රාවකයන් අතර හිඳ ඇත. වහා ක්‍රියාත්මක වූ හේ් දින ගණනක්ම අපගේ අලුත් නිවෙස ආසන්නයේ කැමරා ආම්පන්න අටවාගෙන සිටින්නට කටයුතු කොට තිබිණි.

නැගෙනහිර බෘන්ස්වික්හි පිහිටි අපගේ එම නව නිවෙස පිළිබඳව ඒ වනවිට පිටස්තර කිසිවෙක් දැන සිටියේ නැත. අසල්වැසි කිසිවකුත් අප ගැන කිසිවක් දැන සිටියේද නැත. එහෙත් මාධ්‍යය ඔස්සේ අප පිළිබඳව ප්‍රචාරය වීමත් සමඟ දරුවෝ පාසල් යන්නට පවා බියපත් වූහ. නිවෙසෙහි සිටි බල්ලන් පිටත ගෙන යන්නට ද අප හට නොහැකි විය.

අපේ නිවෙස පසුකොට යන අසල්වැසියන්ගෙන් පවා මාධ්‍යය ප්‍රශ්න විමසා තිබිණි.

“ ඔවුන් මේ ප්‍රදේශයෙන් පළවා හැරිය යුතුද?”

අසල්වැසියන්ගෙන් එසේ විමසූ මාධ්‍යකරුවෝද සිටියහ. සමහරකු ඊට පිළිතුරු දී තිබුණේ “ ඔව්” යනුවෙනි.

මගේ කතාව ප්‍රකාශයට පත් කරන්නට සූදානම්ව සිටි පොත් ප්‍රකාශක සංගමය වෙතින් ද මා ප්‍රතික්ෂේප වී තිබිණි. මා හා ඔවුන් අතර වූ ගිවිසුම හදිිසියේ අවලංගු කෙරිණි.

“ මේ අප ලියන්නට සිතාගෙන සිටි කතාව නොවේ.”

ඔවුන් එසේ සඳහන් කොට තිබිණි.

මේරි යනු අස්ථාවර පවුලක අස්ථාවර ගැහැනියක බව ඔප්පු වී ඇතැයි ගැරී ස්කොලොෆ් පවසා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආසන්න වනවිට මා ගැබ් ගත්තේ නම් එය මා කෙරෙහි පුළුල් බලපෑමක් ඇති නොකරනු ඇතැයිද ඔහු කීවේය.

ඒ දිනවල ඩීන් නිව්යෝර්ක්හි රැකියාවෙහි යෙදී සිටි අතර ඔහු ගෙන ආවේ අපූරු යෝජනාවකි.

“ ඔයාලට තනියෙන්ම ඔය ගෙදර ඉන්න එක ප්‍රශ්නයක් වේවි. අපි රික්ට ඔහාට එන්න කියමු.”

ඩීන්ගේ යෝජනාවට අනුව රික් අප නිවෙසට පැමිණියේය. මටත් දරුවන්ටත් දැනුණේ මහත් සහනයකි. “ නිව්යෝක් පෝස්ට්” පුවත්පතෙහි එක් අරගලකාරී පුවත්පත් කලාවේදියකු අප නිවෙසට පැමිණ සිටියේ ඒ අතරය. ඔහු දොරෙහි සීනුව නාද කළේය. දොර විවර කළේ රික් ය. මාධ්‍යවේදියාට සිහි එළවාගත නොහැකි වූ සෙයකි. අවතාරයක් දුටුවා සේ ඔහුගේ මුහුණ විමතියෙන් පිරී තිබිණි.

මම රික් සමඟ සාලයේ වූ පුටුවක වාඩි වූයෙමු. දුසිමක් පමණ වූ තවත් මාධ්‍යකරුවන් පහත මාලයේ විමතියෙන් එක් රොක්ව හිඳිනු මම දුටුවෙමි. ඒ මොහොතේදී අප දෙදෙනාගේ සිත් කෙතරම් අසීරුවකට පත් වුණේද?

ඊළඟට එළැඹෙන මිනිත්තුවේදී මා මොනවා කියන්නට දැයි සිතමින් සිටියෙමි. හැරල්ඩ් කැසිඩිගේ තවත් ප්‍රකාශයක් මගේ කණ වැකුණේ ඒ අතරතුරදීය.

“ මාතෘ අයිතිවාසිකම් නතර කරන්නට ඇගේ පෞද්ගලික තත්ත්වයන් අදාළ කරගන්ඩ බෑ. ආදේශක මව්පියවරු වෙන එකත් පහසු නෑ බලන්න. මේ නඩුවේ පැමිණිලි පක්ෂය ඔබගේ පියා පාර්ශවයමයි.”

“ සාරා අයිති කරගැනීමේ සටන මා අත් හළ යුතුද? එදින රාත්‍රියේ මම නැවත කල්පනා කළෙමි. නමුත් මා එලෙස අත්හැර දැමීම සහ ඇයට තම සොයුරු සොයුරියන් අහිමි කිරීම සම්බන්ධයෙන් සාරා කිසියම් දිනෙක මා හට දොස් නොපවරනු ඇද්ද?

කෙසේ වෙතත් මගේ මූලික පරමාර්ථය පහසුවෙන් වෙනස් කරගත නොහැකිය. සාරා, ඈ මගේ දියණියයි. මා ඇගේ අම්මාය.

පසුවදා වනවිට මගේ සිතුවිලි සියල්ල ගොනු කරගත හැකි විය. මා ගැබ් ගැනීම හේතුවෙන් සමකාලීන “ හෙස්ටර් පි‍්‍රන්” කෙනෙකු බවට පත් කොට මා අසරණ කරන්නට ඉඩ නැතිවා නොවේ. එහෙත් මම බොහෝ දේ දරා සිටිනා ගැහැනියක්මි.

ඩීන් පසෙකින් සිටියදී මා ඉදිරි දොර විවෘත කොට මගේ ප්‍රකාශය සිදු කළෙමි.

මා ගර්භණී මවක බවත් ළඟදීම දිනෙක රික්ගෙන් දික්කසාදය ලැබ ඩීන් හා විවාහ වන බවත් මාධ්‍යය හමුවේ නොපැකිළව පවසන්නට මට ශක්තිය ලැබිණි. කුසෙහි හිඳින දරුවා ද ආදරයෙන් රැක බලාගන්නා බවත් මම ඔවුනට පැවසුවෙමි.

රික් දික්කසාදය ඉල්ලා සිටියේ නිව්ජර්සි මිඩ්ල් සෙක්ස් උසාවියෙහිය. මම වන්දි මුදලක් හෝ අන් කිසිවක් රික්ගෙන් ඉල්ලා නොසිටියෙමි. එබැවින් නඩුව ගොනුකොට දින දෙකකට පසුව නඩු තීන්දුව ලැබ අපි වෙන් වූයෙමු.

එදින මා උසාවියට කැඳවාගෙන යන්නට අපේ නිවෙසට ආවේද රික්මය. එහි යන්නට සුදුසු ලෙස ඔහුගේ කමිසය මැද දුන්නේද මාය. අනතුරුව අපි දෙදෙනාම මාධ්‍යයට සත්‍ය කතාව පැහැදිලි කළෙමු. ඉන්පසු අප දෙදෙනා උදෑසන ආහාර ගත්තේ ද එකටමය. සිනාසෙමින් ඡායාරූපවලට මුහුණ දෙන්නටද අප හට හැකි විය. කෙසේ වුව රික් වෙතින් සමුගැනීම මට ඉමහත් වේදනාවක් විය.

 

මීළඟ දිග හැරැම ලබන සතියේ සුනිලා විජේසිංහ