'කන්න නෙවෙයි වැඩ කරගන්න ආධාරයක් දෙන්න'

දෑතේ සවියෙන් උපකරණ හදන ආදරණීය පියෙක් ඔබෙන් ඉල්ලයි
සැප්තැම්බර් 5, 2022

 

ලැබුණු ජීවිතය සියල්ලන්ටම සැප පහසු නැත. ඒ සොබාදහමේ කතාවකි. නමුදු ඇති හැකි අයට නැතිබැරි අය වෙනුවෙන් යමක් කළ හැකියි. එය සැප පහසුව ලද ඔබ කරගන්නා මහඟු පින්කමකි. ජීවිතය අවසානයේ දී අප අරගෙන යන්නේ මේ කරන හොඳ දේය. ඒ නිසා ඔබව යහපත් අරමුණු වෙත රැගෙන යන්නට තරුණී අපි සූදානම්. ඇති හැකි අයත් නැතිබැරි අයත් මුණගස්වන ආදරණීය පාලමක් තනන්නට එන්න අපත් සමඟ අත්වැල් බැඳගන්න.

යාන්ත්‍රික ආයුධ නොමැතිව දෑතේ සවියෙන් විවිධ උපකරණ නිපදවා දිවි සරිකරගන්නා පවුලකි. ඔවුන් පදිංචිව හිඳින්නේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඹන ග්‍රාම නිලධාරි වසමේ ය. පෙදරේරුවකු වන 57 හැවිරිදි දොන් ලියනගේ දහම්පත් විපුල් ශාන්ත වසර හතකට පෙර සිය වෘත්තියේ යෙදි සිටිය දී පලංචියක් උරහිසට වැඩිමෙන් ආබාධයට ලක්විය.

ඔහුගේ බිරිය කුසලා දමයන්ති කුමාරිය. ඔවුන්ට සෞම්‍යා දිල්රුක්ෂි හා දර්ශන කුමාර යනුවෙන් දරු දෙදෙනකු ද සිටී. තම පවුල රැකගන්නට ඔතපලව හිඳින විපුල් නො විඳිනා දුක් විඳී.

අතට හසුවන ඕනෑම ලී කැබැල්ලකින් අපුරු නිර්මාණ සිදුකිරිමට හැකි විපුල් ශාන්ත මේ වන විට පොල් කටු හැඳි මෙන්ම ඉදල් නිපදවීම සිදුකරනු ලබයි.

‘මට මේවා හදන්න යාන්ත්‍රික ආයුධ නැහැ. ගෙදර තියෙන පිහිය, කියත වගේ දේවල් අරන් තමයි මේවා හදන්නේ. මේවා විකුණලා ලැබෙන පුංචි මුදලින් තමයි අපේ පවුල ජිවත් වෙන්නේ. පොල්කටු, ඉරටු වගේ දේවල් විතරක් නෙවෙයි පොල් ගෙඩිය, හාල් ටික පවා අපිට දෙන්නේ අහළ පහළ අය. ඒ අය නිසා තමයි දරු පැටවුන් දෙන්නා අමාරුවෙන් හරි පාසල් යවන්නේ

ඒ විපුල් ගේ වදන්ය. මානසික ආබාධයකින් පෙළෙන සිය බිරිය ද කාගේ හෝ කුලි වැඩක් ලැබුණොත් සිදුකරන බවත් මේ වන විට ජිවත් වීමේ අතිශය අපහසු තත්ත්වයකට සිය පවුල පත්වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

විවිධ දස්කම් රැසක් ඇති විපුල් ශාන්තට සිය රැකියාව කරගෙන යාම සදහා අවශ්‍ය යාන්ත්‍රික උපකරණ කිහිපයක් හෝ යමකුට ලබාදෙන්නට හැකිනම් එය මහඟු පින්කමකි. බොහෝ දුෂ්කරතා මැද ඉගෙනීමට දක්ෂතා දක්වන දරු දෙදෙනාගේ අධ්‍යාපනයට සහනයක් ගෙන දෙන්නට ද ඔබට පුළුවනි. නාඋල, අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික හා ප්‍රවිණ කලාකරුවකු වන වයි. එම්. එස්. බණ්ඩාර මහතා පැවසුවේ ද ඔවුන් වෙනුවෙන් යම් උපකාරයක් කළ හැකි නම් එය ඔබේ දිවිය පැහැසර කරන පින්කමක් බවයි.

ඡායාරූප හා විස්තර

නාඋල සමුහ