දහම් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට මුස්ලිම් දියණියක්

අපි ඉගෙන ගන්න ඕනේ මනුස්සකමයි අමීරා හමීඩ්
සැප්තැම්බර් 26, 2022

 

 

සමාවෙන්න හිමියනි මම යසෝදරා

 

නිමක් නොමැති මහමෙර වන් සසර පුරා
භවයෙන් භවය ආ ගමනෙදි පෙරුම් පුරා
වරදක් නොකෙරුවත් දැන දැන සසර පුරා
ප්‍රභාවතිය ලෙස නම් මම වැරැදි කරා

 

රූමත් කුමරියක් ලෙස කල වයස පුරා
පතිනිය ලෙසින් ආවෙමි රජ මැඳුර කරා
ඔබෙ වත නුදුටුවත් මගෙ හද මඩල පුරා
සත්තයි හිමියනේ මම ආදරය කරා

 

සිහි කර ඒ භවය හැඬුවෙමි සසර පුරා
අද පැමිණියෙමි ලොව්තුරු අම නිවන කරා
වඩිනෙමි අද දිනයෙ මම පිරිනිවන කරා
වනු මැන සමා හිමියනි මම යසෝ දරා

 

පාසලේ වෙසක් සුබ පැතුම් පතක් සඳහා ද ඇගේ කවියක් තෝරා ගැනිණි. එය මෙසේය.

 

 

ලුම්බිණි මහ සල් උයනම සොඳුරු බවින් පිබිදුණා
මල් සුවඳත් පිසගෙන එන මඳ නල ගත දැවටුණා
කුමරු තබන තබන අඩියෙ සත් පියුමක් පිබිදුණා
දෙවියන්ගේ සාධු නාදෙ ඒ හැම තැන පැතිරුණා

දහම් සිසිලසෙන් සැණසෙන දහම් පාසල බෞද්ධ දරුවන්ගේ හැදියාව හා විනය ගොඩනඟන තැනයි. මානූෂී ගුණයෙන් යුත් දරුවෙක් තනන්නට දහම් පාසලකින් වන සේවය මිල කළ නොහැකිය.

 

ජාතී ආගම් භේද නිසා ගැටලු ඇතිවන වටපිටාවක මුස්ලිම් දැරියක් දහම් පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වීම තරමක අරුමැසි දෙයකි. එහෙත් දහම් කරුණු නිවැරැදිව ඉගෙන ගන්නා අමීරාට නම් එය අරුමැසි නැත.

කොටිකාවත්ත, මුල්ලේරියාව, කුඩාබුත්ගමුව ශ්‍රී ධර්මරක්ෂිතාරාමය‌ට අනුබද්ධිත ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය පසුගිය දා පත් කෙරුණි. ඒ විහාරාධිපති ප්‍රධානාචාර්ය පූජ්‍ය දේදුණුපිටියේ අනෝමදස්සි හිමියන්ගේ අනුශාසනා මතයි. උප ප්‍රධානාචාර්ය දේශබන්ධු සමන් කිත් ආනන්ද මහතාගේ අධීක්ෂණය මත දහම් පාසලේ ගුරුවරුන්ගෙන් සැදුම් ලත් තේරුම් කමිටුවකින් ඔවුන් පත්කරන ලදී. මෙහිදී විශේෂත්වයක් වන්නේ කුඩා කල සිටම මේ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ අමීරා හමීඩ් නමැති මුස්ලිම් ජාතික දියණිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව හැටියට පත් වීමයි. සමහර විට මෙය දහම් පාසල් ඉතිහාස‌යේ ප්‍රථම අවස්ථාව ද විය හැකියි.

ඇය බප/ජය සෝමාදේවි බාලිකා විදුහලින් මූලික අධ්‍යාපනය ලබා 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගයෙන් සමත්ව කොළඹ යසෝදරා විද්‍යාලයට ද්විතීයික අධ්‍යාපනය සඳහා ඇතුළත් විය. 2022 වසරේ මැයි මස පැවති සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී දැන් ඇය ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඇය පාසල් අධ්‍යාපනයේදීත් විෂයක් වශයෙන් බුද්ධ ධර්මය විෂය හදාරයි. එලෙසින්ම ඇය සම්මානලාභී ලේඛිකාවකි. 9 වසරේ සිට ඇය පුවත්පත් දෙකක ලියාපදිංචි පාසල් මාධ්‍ය වාර්තාකාරිනියක ලෙස කටයුතු කරයි. එලෙසින්ම ඇය දක්ෂ කිවිඳියකි. කුඩා කල සිට ගද්‍ය රචනා, පද්‍ය රචනා හා කථික තරගවලින් දක්ෂකම් පා ලැබූ ජයග්‍රහණ විශාල ප්‍රමාණයකි. ඇයගේ මව ගයානි සමන්මලී පෙරේරා සිංහල බෞද්ධ පවුලකින් පැවත එන කෙනෙකි. පියා ඉසර්දීන් හමීඩ්ය. ඔහු මුස්ලිම් පවුලකින් පැවත එන්නෙකි.

ජාති ආගම් භේද පසෙක ලා එකම රටක් තුළ සියලුම ජාතින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් වීමට එය හොඳම උදාහරණයකි. බෞද්ධ දහම් පාසල යනු බුදු දහම උගන්වන තැනක් පමණක්ම නොවේ. එය ජීවිතය උගන්වන තැනකි. ජීවත් වීමේ කලාව උගන්වන තැනකි. විෂය බාහිර කටයුතු තුළින් හොඳ පෞරුෂයකින් යුත් දරු පරපුරක් රටට දායාද කිරීමේ ආරම්භය දහම් පාසල බව ඇය පවසයි.

“අද රටේ බොහෝ අය මාව අඳුරන්නේ මගේ කථිකත්වය, කවීත්වය තුළින්. මට මේවා ලැබුණේ මගේ දහම් පාසල නිසායි. මම මේ රටේ හැම නැන්දා මාමා කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ අධ්‍යාපනය කියන්නේ තරග විභාග, විෂය සම්බන්ධ පත පොත විතරක්ම නෙවෙයි. ඊටත් වැඩිය අපි ඉගෙන ගන්න ඕනේ මනුස්සකමයි. මනුස්සකමක් නැති අධ්‍යාපනයේ වටිනාකමක් නෑ. ඒ නිසා මේ රටේ හැම නංගි මල්ලි කෙනෙක්ම දහම් පාසල් අධ්‍යාපනයට යොමු කරන්න.” ඒ ඇගේ අදහස්ය. ඇය ලියනු ලබන බොහෝ කවි බෞද්ධ සාහිත්‍ය ඇසුරින් ලියැවුණු ඒවායි. ‌බොහෝ අයගේ ඇගයීමට ලක් වූ ඇය ලියූ කවියක් මේ.

සිංහල භාෂාවට, බුදු දහමට ආදරය කරන ඇය මතු අනාගතයේ තමන් තෝරාගන්නා වෘත්තිය කුමක් වූවත් සිංහල සාහිත්‍ය අත් නොහරින බවත්, සිංහල සාහිත්‍යට සහ බෞද්ධ සාහිත්‍යට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවත් පවසන්නීය. ඇගේ එම ප්‍රාර්ථනාවන් ඉටු වේවා යන්න තරුණී අපේ පැතුමයි.