හිතක පිපුණු මල්

සැප්තැම්බර් 26, 2022

තුන් ඈඳුතු පෙම
 

රාත්‍රියේ සරතැස නිවී
පුන්සඳක සේයා මැවෙයි
තනිකඩ අහසක්ව හිත තාම
ඈ ගැනම ළතැවෙයි

නිවි නිවී විසිරෙන තරු පොකුරු අතරින්
සඳ කිනිත්තක් තනිවම රැය සිප ගනියි
හිත් කවුළුවට දුර ඇගේ රුව
පාළු සුළඟක වෙළී තාමත් විසිරෙයි

මැදියමේ අසබඩ සහින ගං තෙර
රැඳුණු දෑසම ඒ නුඹම දැයි අසයි
දෙසවන් මැදින් සීරුවට තවත්
අඩවන් සඳක් ඉඟි බිඟි කරයි

නොනිමි මේ රැයේ මතකයක ඇබින්දක්
අලුුයමට සියොළඟම කළඹයි
පෙර නොදුටු විලසට අඩ සඳත්
තරුවකට මුමුණමින් ගනඳුරට සැඟවෙයි..

නිපුනි සන්ධ්‍යා රුද්‍රිගූ
මාදම්පේ.

---------------------

සුනාමියක අඳුරු මතක...

එදා පෝය මල් කැඩුවේ අපි පන්සල් යන්නයි
එහෙත් මුහුද මල් වට්ටිය අරන් ගියේ මන්දැයි
සිල් සුවඳත් මැකී කරදිය ගඳ දැණුනයි
ගෙයි වහලත් මූදු ගිහින් ඉතිරි වුණේ අහසයි

හෝඩි පොතේ පිටු ගැලවී අකුරු මැකී තිබුණා
සල් මල් අකලට පරවී ගහත් කඩා වැටුණා
අමර ආයෙ ආවෙත් නැහැ මට තනිකම දැනුණා
හෝඩි පොතේ නයනලාගෙ ඇස් කඳුළින් තෙමුණා

පෝය සඳේ රැස් දහරින් කඳුළු බින්දු ඉනුවා
ඒ කඳුළැලි කැටි ගැහිලා කඳුළු ගඟක් ගැලුවා
ඒ සළුවෙන් මුහුද පුරා සුදු පාවඩ එලුවා
ඒ පාවඩ පිට ඈතට කඳුළු ගඟක් ගැලුවා

මිනිස්කමේ නැවුම් සුවඳ දැනුණෙ එදයි කාටත්
මුළු ලොවක් ම ඉකිබින්දා මතකයි මට තවමත්
මව් පිය සෙනෙහස නැතිදා පාළුයි ලොව කවදත්
මගෙ තනිකම කවි කෙරුවට අහන්න නැහැ කවුරුත්

අලුත් දිනෙක අලුත් ඉරක් පහනක් සේ දිලෙනා
එනමුදු හදවත අඳුරුයි හිතේ පහන නිවුණා
ඒ පහනට තෙල් දමන්න කවුරුත් නැති බැවිනා
පුංචි නෙතක උපන් කඳුළු ලොවට හොරෙන් ගලනා

රමේෂ් සංජීව
තිඹිරිගස්කටුවේ
 

---------------------

ඡන්දදායකයාගෙන් පරාජිත
ජනතා නියෝජිතයාට...

ගමට රටට නොවේ ඔබට
නිසි මග පෙන්නලා දෙන්න..
පොදු ජනතා උපහාරය
මෙවර ඔබට ලබා දෙන්න....
කතිරය නිවැරැදිව දුනිමි
වැරදුණ තැන යළි හදන්න...
ඔබ තුමාට විවේකයක්
සැනසිල්ලේ දිවි ගෙවන්න...

ඩබ්ලිව්.ඒ.කේ. වීරක්කොඩි
පනාවල - අැහැළියගොඩ

--------------------

වරම් ලදිමි

කිරි අම්මා සාමි සමඟ
සත් මුහුදෙන් එහා යන්න
නොලැබුණි වරමක්

සුබ ගමනේ මුලිච්චි වී
සතුටු සිතින් සුබ පතන්න
හිමි නැත වරමක්

උදේ හවා නැන්දණියන්
යදිනා කිරි සුවඳ දෙන්න
දෙවිඳුන් දී නැත වරමක්

පර්යේෂණ ගොන්නක් මැද
දෝස මගේ නොවනා බව
පවසන්නට නැත වරමක්

සිප් සයුරෙන් දිවි සයුරම
වසා ගලන සෙනේ දියෙන්
නැහැවෙන්නට ඇත වරමක්

අයේෂා හේරත්
රුවන්වැල්ල

--------------------

මවකගේ කිරි සිහිනය

කිරි කැටි පුතකු හා පිළිබඳ සිහිනේ
මගෙ හදවතේ නිතරම කිති කැවේ
පෙරමග බලා සිටිය නම් ඇති භවේ
පිළිසිඳ ගත් සිහිනය සැබෑ වුණේ

නුඹ මගෙ කුස තුළ පිළිසිඳ ගත් දවසේ
දැනුණ සතුට කියා නිම කළ නොහැකිය කිසිසේ
කොපමණ කරදර ආවත් සිත ඇතුළේ
හිරු දුටු පිණි සේ නුඹ දුටු විට අමතක වූයේ

අඬන විටදි මගෙ ළමැදේ කිරි එරුණා
සුරලොව සිට ඔබ ආවාදැයි සිතුණා
මෙතෙක් ඉහිලූ දුක සතුටට හැරුණා
ඒ සතුටට දෙනෙතට කඳුළක් ඉනුවා

කිරුළු නැතත් ළඟ
නුඹ හිස මත පලඳවන්නට
පුතේ නුඹ මට රජෙකි
මගෙ සිත තුළ රඳනා

ඇල්. ජේ. ආනන්දශීලි පෙරේරා
උණවටුන

-------------------

මිරිවැඩි සිහිනය

මිරිවැඩි සඟලත් ගෙවිලා
අලුත් එකක් ගන්න තමා
කාසි පණම් එකතු කළේ

මහ වැස්සක් වැස්සා
ඒ අතරින් කන්ද බැහැලා
කඩ පිළ වෙත යන්න වුණා
පොඩි වුන් බඩගින්නේ

පරෙස්සමට බැස්ස නමුත්
නොසිතූ ලෙස ලිස්සා ගොස්
හෙළ පහළට වැටුණා
පයකුත් බිඳුණා

මිරිවැඩි සිහිනය පැත්තක දා
අවසන, බිඳුණු පය හදා ගන්නට
එකින් එක එකතු කරගත්
කාසි පණම් වැය කළා..

භද්‍රා කේ. රාජපක්ෂ
පේරාදෙණිය
 

------------------------

පෙර මඟ බලමි නුඹ හමුවන

තුරු හිස් මත
තුරු පත් නැති
ඉපල් වූ ගස
ගෙනෙයි උපමා මසිතට...

වසත් කල
උදාවක
ළදළු කැඳවා
නටු අගට
සැනසෙන්න
මග බලන
ඉපල් වූ
ගස හා සමය
මගෙ සිත..

මියැදෙන
හීන සමඟින
දල්වා දෑස්
පෙර මඟ
බලමි නුඹ
හමුවන
දිනෙක හසකැන්
පීදෙන....

දිස්නා කුමාරි සායක්කාර
බත්තරමුල්ල

---------------------

වසන්තය උදා විය

මල් ගොමුවක් ලෙසින්
විරාජමාන වූ මා දිවියම
කාටවත් බැහැ සිඳලන්න
ජීවිතය ඇති තුරා ඔබ මගේ

සා විසි වසරක්
ගෙවූ මුත් මා දිවි ගමන
එළිය වූයේ එදා
ඔබ මා මුල්වරට දුටුව දා
බුලත් හෙප්පුව මැදින්

නෑසියන් පිරිවරම
කියූවද බොහෝ දේ
නෑසුනා මගෙ සවනතට
ඔබ ළඟින් ආ සුවඳ
මතකයක පණ ලබයි

ගෙවන්නට ඉතිරි දුර ජීවිතයෙ
ඔබ සමඟ සිටිමි මම සදහට ම
කාටවත් බැහැ සිඳලන්න
ජීවිතය ඔබ ළඟ තබා
හිනාවෙමි - හිනාවෙමි හැමදාම

කමලා ධර්මලතා ජයසූරිය
පරගස්තොට - හොරණ

-------------------

තාත්තේ

කාෂ්ටක වූ වියළි කතරේ
සිහිල් සුව දුන්
කෙම්බිමයි නුඹ..

මිහිරි ඵලයක් සිහිල් සෙවණක්
නිබඳ ගෙන දුන්
වනස්පති නුඹ...

තැවුණු හදවත් නිවා සැනසූ
සාදා නොසිඳෙන
උල්පතයි නුඹ...

අඳුරු අහසට එළිය ගෙන ආ
පහන්තරුවයි
තාත්තේ නුඹ...

තාත්තේ... නුඹෙ හඬක් නොඇසී
ගෙවී ගිය මුත්
තෙවසරක්...

මහද තවමින් දවා නැගෙනා
සෝ සුසුම්වල
නැත නිමක්...

විඳින්නට ඔබෙ සෙනෙහෙ ආයෙත්
ලැබේදෝ
සසරේ ඉඩක්...

ඔබේ ගුණ කඳ සදාතනිකව
සුවය සදනා
මහමෙරක්...

ජයන්තා පී. මිහිඳුකුලසූරිය
බණ්ඩාරවෙල