වලාකුළක අරුමය මැද කොළොම් තොටේ සිරි නරඹමු

ඔක්තෝබර් 3, 2022

 

සුදෝ සුදු වලාකුළු අතරට දෑත් දිගු කර බිඳක් දෝතට ගන්න තිබුණා නම්; එහෙමත් නැතිනම් ඒ දුහුල් වලාකුළක නැඟී නිල්වන් ගුවන පුරා අපූරු චාරිකාවක යෙදෙන්නට තිබුණා නම් යැයි මොහොතකට මට සිතුණි.

හිරු මුඳුන්වන මධ්‍යහනය ඇරැඹී තිබේ. එබැවින් එක එල්ලයේ අහස දෙස බැලිය නොහැකිය. නමුත් ඒ හිරු එළියේ චණ්ඩ බවක් නොදැනේ. මන්ද පසෙකින් දිස්වන නිල්වන් සයුර දෙසින් හමන මඳනල ගත දැවටෙන්නේ මෘදු සිසිලක පහස ලබා දෙමිනි.

මම අත් වැටට වාරු වී මොහොතක් පහතට එබී බලමි. දිනපතා උදේ සවස නෙත ගැටුණ ද කිසිදිනෙක නොදැකි සුන්දරත්වයෙන් බේරේ වැව් තලය දිස් වේ. බලන බලන සෑම අතම ලොකු කුඩා ගොඩනැගිලි ය. පසෙකින් කාර්යබහුල කොළඹ වරායත්, වරාය නගරයත් දෑස් මානයේ ය. දන්නා හඳුනන ගොඩනැගිලි, ස්ථාන සේම ඉසව් මෙහි සිට හඳුනා ගන්නට පුංචි උත්සාහයක් ගතිමි.

ඉඳින් මා මේ සිටින්නේ පොළොවෙන් මීටර් 350ක් පමණ ඉහළ අහසේ ය. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙසින් නම් කළ නෙළුම් කුලුන මුඳුනතයි. හරියටම කිවහොත් බැලූ බැල්මට රත් පැහැයෙන් දිදුලන නෙළුම් පොහොට්ටුවක් සේ දිස්වන කොටසෙහිය. මෙය සම්පූර්ණයෙන්ම නැරඹුම් මැදිරියකි. මෙතැනින් ඉහළට සම්ප්‍රේක්ෂණ පද්ධති සවි කළ කොටස සඳහා ඇතුළු වීමට කිසිවකුටත් අවසර නොමැති අතර එය පවතින්නේ විදුලි සංදේශන නියාමන කොමිසම යටතේය.

පසුගිය දා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණු මේ නෙළුම් කුලුනෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 2012 වසරේ දීය. කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම යටතේ දැනට මෙහි කටයුතු සිදු කෙරෙන අතර එය අදියර තුනක් යටතේ සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ඔබ නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළු වීමට නම් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතුය. රුපියල් 2000, 500 වශයෙන් මිල ගණන් දෙකක් යටතේ ඒවා අලෙවි වන අතර රුපියල් 500ක ටිකට්පතක් මිලදී ගතහොත් කණ්ඩායමක් සමඟ එහි පිවිසීමට සිදුවේ. නමුත් රුපියල් 2000ක ටිකට්පත් සඳහා පෝලිමක නොරැඳී තනිව ඉහළට යාමේ වරප්‍රසාදය හිමි වේ.

ඔක්තෝ්බර් පළමුවැනිදා සිට පාසල් දරුවන් සඳහා ද නෙළුම් කුලුන විවෘත වන අතර එහිදී ප්‍රවේශපත්‍ර ගාස්තුව වන්නේ රුපියල් 200කි. ඒ සඳහා විදුහල්පතිතුමා මාර්ගයෙන් ඉල්ලීම් කළ යුතු අතර පාසල් දරුවන් සඳහා උදෑසන 9.00 සිට ප.ව. 2.00 දක්වා විශේෂ නැරඹුම් කාලයක් ලබා දේ. එසේ නොමැතිව මෙහි මහජන ප්‍රදර්ශනය සිදුවන සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 11.00 දක්වාත් ය.

මහල් නවයකින් සමන්විත නෙළුම් කුලුනෙහි බිම්මහලෙහි තට්ටු දෙකක් ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් මෙන්ම මුළුතැන්ගෙය සඳහා වෙන් කර තිබේ. මේ කුලුනට අයත් එකම මුළුතැන්ගෙය එය වන අතර 1500ක පිරිසකට එකවර ආහාර පිසිය හැකි ස්ථානයකි. දෙවැනි මහල සම්මන්ත්‍රණ ශාලා සහ රැකියා ස්ථාන සඳහා වෙන් කෙරෙන අතර තෙවැන්නෙහි පිටත නැරඹුම් ස්ථානයක් ද වේ. එළිමහන් ප්‍රසංග, සංදර්ශන ආදිය පහසුවෙන් පැවැත්විය හැකි මේ කොටසෙහි සිට කුලුනු බඳ ආරම්භ වේ. හතරවැනි මහල වන්නේ නෙළුම් පොහොට්ටු කොටසයි. උත්සව ශාලා සහිත ඒ කොටස රාත්‍රී කාලයේ දී වර්ණවත් විදුලි ආලෝකයෙන් අලංකෘත වේ.

මෙතෙක් ලංකාව තුළ ඔබ නොවිඳි අපූරු අත්දැකීමක් විඳින්නට නම් පස්වැනි මහලට ගොඩවැදිය යුතුමයි. එය අපූරු කැරකෙන අවන්හලකි. පැය 1 1/2ක කාලයක් පුරා සෙමෙන් ගමන් කරන මේ අවන්හලේ දී කොළඹ නගරයේ සුන්දරත්වය දැක ගනිමින් පුටුවක වාඩි වී කෝපි කෝප්පයක රස පහස විඳින්නට ඔබට හැකි වේවි.

හයවැනි මහල සම්පූර්ණයෙන්ම සුඛෝපභෝගී නිවාස 06ක් සඳහා වෙන් කර තිබේ. හත්වැනි මහලේ අප කලින් සඳහන් කළ නැරැඹුම් මැදිරිය පිහිටා ඇති අතර එහිදී කොළඹ නගරයම ඔබේ දෙනෙත් අබියසට රැගෙන එනු ඇත.

තවත් නොබෝ දිනකින් ඩිජිටල් බැංකු සේවා, වෙළෙඳසල්, 9 D සිනමාශාලා ත්‍රාසජනක ක්‍රීඩාවල අත්දැකීම් ද මෙහිදී ඔබට ලබාගත හැකිය.

අති නවීන තාක්ෂණික පහසුකම් සහිත මේ කුලුනෙහි විදුලි සෝපාන පද්ධතිය පිළිබඳ ද නොකියාම බැහැ. තත්පර 49ක් තුළ තට්ටු 29ක් කරා ගමන් කිරීමේ හැකියාව සහිත ලංකාවේ වේගවත්ම විදුලි සෝපාන පද්ධතියක් නෙළුම් කුලුනට හිමිය. එබැවින් ඉතා වේගයෙන් ඉහළ අහස කරා පියඹා යන්නට, කොළඹ සුන්දරත්වය නරඹන්නට, කැරකෙන අවන්හලේ අපූර්වත්වය විඳින්නට ඔබට හැකියාව ලැබේවි.

 

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න