ශක්තිමත් ගැහැනුන් කිසිදා ආපස්සට නොහැරෙයි

ඔක්තෝබර් 3, 2022

 

මේ ජීවිතය ඔබේය. එය සතුටට මෙන්ම දුකට පත් කළ හැක්කේත් ඔබටමය. ඒ බව පහදා දෙමින් ඔබේ ජීවිතය වර්ණවත් කරගන්නට, ජයග්‍රහණය කරා මෙහෙය වන්නට ධනාත්මක සිතුවිලි ගොඩනඟන ඔබේම පත්ඉරුවයි මේ.

ගැහැනු ළමයෙක් ලෙස ජීවිතය දිනන්න විනයක් ද පවත්වාගෙන යන්න. මහත්මා ගාන්ධිතුමා වරක් පැවසුවේ "නළුවකුගේ මෙන් සුරූපී මුහුණක් නැති, ඉතා ආකර්ෂණීය ලෙස කතා කළ නොහැකි වූ, තමාට සමාජයේ මිනිසුන් දිනා ගැනීමට හැකි වූයේ දිනපතා තමා තමාටම පනවා ගත් විනය නීති රීති නිසා බවයි."

දීම විශ්වයේ තිබෙන මහා නීතියක්. දීම මඟින් ලැබීම උපද්දවනවා. යමක් නොදෙනවා නම් එතැනදී ම ලැබීම නවතිනවා.

ඉගෙන ගන්න, ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැනු ළමයෙක් වන්න. මාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න. තමන්ගේ වැඩ ටික තනියම කරගන්න. ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න.

 

සිතන්න - ක්‍රියාත්මක කරන්න

අකැමැති කෙනෙක් යෝජනාවක් ගෙනාවම ප්‍රතික්ෂේප කරන්න. ආදරවන්තයාට ශක්තියක් වෙන්න. අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන්න. කඩන් වැටෙන තැන දී නැඟිටින්න. සුරංගනා ලෝකවල ජීවත් වෙන්න කැමැති නම් ඒ හැමදේම ඔබේ මහන්සියෙන් ලබා ගන්න. එතෙක් ඔබ ශක්තිමත් ගැහැනු ළමයෙක් වෙන්න. ළද බොළඳ වී තාත්තා, සහෝදරයා, පෙම්වතා හෝ සැමියා හැමදේම කරලා දෙයිනේ කියන සිතුවිල්ලෙන් ඉන්න එපා. එහෙම ඉන්න අය තමා ජීවිතේ එක අරමුණක් ෆේල් වුණාම ජීවිතෙන් පලා යන්න උත්සාහ කරන්නේ.

අතපය වාරු ඇති තාක් මහන්සි වෙන්න. ඔබ මවන සුරංගනා ලොව වෙත ගමන් කරන්න පුළුවන් දවස වෙනතාක් කට්ට කන්න. කකුලෙන් අදින, පහතට හෙළන, ඔබට දෙයක් කිරීමට නොහැකි බව පවසන අයට පේන්න ම නැඟිටින්න. දවසක මිනිස්සු හූල්ලයි "අපෝ මෙයා හිටියෙ නම් කොහොමද?" කියලා. ශක්තිමත් ගැහැනුන්ව කිසිදාක ආපස්සට හැරවීමට නොහැකියි. ඇයට, ඇය ගැන ආත්ම අභිමානයක් ඇත. ඒ නිසා ඔබත් ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැනු ළමයෙක් වෙන්න. දවසක තමන් ආපු දුෂ්කර ගමන් මඟ දැක සතුටු වෙන්න පුළුවන්.

 

ජීවිතය දිනන්න කැමැති නම්....

දිනය පුරා සිනාමුසුව සිටින්න. දුරකථනයට උද්‍යෝගිව පිළිතුරු දෙන්න. දිනය පුරා සිතට නැඟෙන අදහස් ඵලදායිව ප්‍රයෝජනයට ගන්න. ඕනෑම අලුත් අදහසක් සිතේ පවතින්නේ තත්පර හතළිහක් පමණක් වේ. එබැවින් යටි සිත තිළිණ කරන මාහැඟි අදහස් ලියා ගැනීමට පෑනක්, කුඩා පොතක් නිතර ළඟ තබා ගන්න. ලොව පසිඳු ක්‍රමයක් වන්නේ අඟල් 3x5 ප්‍රමාණයේ කාඩ් පත්වල අරමුණු ලියා තැබීමයි. තවත් සමහරු තම අරමුණු සහිත පින්තූර නිතර නෙත ගැටෙන පරිදි කාමරයේ එල්ලා තබා ගනිති.

චිත්‍රණය මඟින් තම අරමුණු මෙනෙහි කිරීම ද ශිල්පීය ක්‍රමයකි. "මා චිත්ත රූප දකින විට කිසිවක් නොදකිමි." යනුවෙන් මාර්ක් වික්ටර් හැන්සන් පවසා ඇත. අඩුවෙන් නිදන්න. පෞද්ගලික සංවර්ධනය සඳහා දිනකට පැයක් වත් යොදාගන්න. "හැකියි" යන්න සිතන පුද්ගලයන් ඇසුරු කරන්න. අනුන්ට පේන්න අඬන්න එපා. නැති තැන විහිළුවට පත් වේවි. සහකම්පනය රජයන සමාජයක් අද නෑ. කිසිවකුට ඔබ අවසර නොදේ නම් කාටවත් ඔබව රිදවන්න බෑ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්