කිසිම දෙයකට ළෙන්ගතු ගැහැනියක් නෙමෙයි

ඔක්තෝබර් 17, 2022

 

" කැපකාර මවගේ ගර්භණීභාවයේ ප්‍රථම තෙමස තුළ කිසියම් හෙයකින් ගබ්සාවක් සිදුවුවහොත් එම මවට කිසිදු මුදලක් හිමි නොවේ. එමෙන්ම දරුවා දස මසකට පසුව ඉපදුණු කළ මියගොස් සිටියේ නම් මවට ලැබෙන මුදල ඩොලර් 1000කි. මෙය දරුවා මෙන්ම මවගේ අයිතිවාසිකම් අලෙවි කිරීමක් නොවන්නේ ද? මෙහිදී දරුවා මිලදී ගන්නේ දරුවාගේ පියා වීම එම වරදෙහි බර කිසියම් ප්‍රමාණයකින් සැහැල්ලු කරන බව සැබෑය."

 

"ඒ කෙසේ වෙතත් මේ ක්‍රියාවලිය කිසියම් ලාභාපේක්ෂාවකින් කෙරෙන ගනුදෙනුවකි. සාදාචාරාත්මක සමාජය තුළ මුදලට ගත නොහැකි යම් යම් දෑ පවත්නා බව සැබෑය.

ආදේශක ගිවිසුම්වල දීර්ඝ කාලීන බලපෑම් පිළිබඳව අපි නොදනිමු. නමුත් ඉදිරිපත් වූ කරුණු අනුව දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ, මවගේ ජීවිතය කෙසේ බලපාවිදැයි අපට එක්තරා බියක් දැනෙනවා.

 

එසේ නමුත් හුදෙකලා වූ විටක තම දරුවා අලෙවි කිරීමේ ශෝකය ඇයගේ හදවතට මෙන්ම සිරුරට ද දැනෙනු ඇති."

"පොලිසිය විසින් දැරිය තමා වෙත ලබා දුන් තැන පටන් තම අයිතිවාසිකම් අභියෝගයට ලක්ව ඇති බව ද ස්ටර්න් යුවළ දැන සිටියා"

මහ රැයේ එම නඩු වාර්තා සටහන් කියවීම වේදනාවක් මෙන්ම සතුටක් ද වූයේය.

 

"වයිට්හෙඩ් මහත්මියගේ මවු අයිතිවාසිකම් අහිමි කිරීම තුළ ද කිසිදු පදනමක් දැකිය නොහැකියි. ඒ අනුව අප ඇයගේ මවු පාර්ශ්වයේ අයිතිවාසිකම් ඇයට නැවත ලබා දෙනවා."

 

දරුවා දැක බලා ගැනීමේ මගේ අයිතිය මා වෙත නැවත පවරන්නැයි පහළ උසාවිය වෙත දන්වා යැවිණි. මා දඬුවම් ලැබිය යුතු අයකු නොවන බව ද කැපකරු මවුපිය ක්‍රියාකාරීත්වය තුළ මා එක් කුඩා කොටසක් පමණක් බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කෙරිණි. එබඳු දරුවකුට සැබෑ මව සහ පියා යන දෙදෙනාම ඇසුරට ලබා දිය යුතු බව ද ඔවුහු සඳහන් කළහ. මා වෙනුවෙන් එකී තීරණවලට එළැඹීමට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දින 90ක කාලයක් ඉඩ ලබා දී තිබිණි.

ප්‍රාන්තයේ පැවරුම් විනිසුරු පීටර් සියොලිනෝ විසින් සාරාගේ නඩුව වෙනුවෙන් පත් කරනු ලැබ තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බර්ජර් ස්වීන් නමැත්තෙකි. පනස් අට හැවිරිදි වියේ පසුවූ හේ කෙසඟ සිරුරක් ඇති කාරුණික පුද්ගලයකු විය. දරුවන් තිදෙනකුගේ පියකු ද වූ හෙතෙම ඔර්ජන් කලාපයේ විනය කමිටුව සහ සුබ සාධක සංගමය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ අයෙකි.

 

නීතියෙහි සංවර්ධන පසුබිම විදහා දක්වන බිතු සිතුවම් පහක් මධ්‍යයෙහි ඔහු වාඩි වී සිටියේ සන්සුන් සිතිනි, සැහැල්ලුවෙනි. ඔහුගේ එක් පසෙකින් 'සාමය' යන වදනද අනෙක් පසින් 'සාධාරණය' යන වදනද ප්‍රදර්ශනය විණි.

"විවාදයට භාජනය කළ යුතු කරුණු කිසිවක් තිබේද?"

ආරම්භයේදීම බර්ජර් විමසා සිටියේය. දෙපාර්ශ්වයේම නීතිඥවරු, නිහඬව සිටියහ. අනතුරුව සාක්ෂි අසුනට කැඳවනු ලැබුවේ බිල් ය. ගැරී ස්කොලොෆ් ඔහුගෙන් විමසුවේ සාරාගේ දින චර්යාව පිළිබඳවය. ස්කොලොෆ් නොනවත්වා ප්‍රශ්න විචාරක අතර බිල් සුසුම්ලනු පෙනිණි.

'දැරියගේ පාතරාසය උසාවියට අදාළ කාරණාවක් නෙමෙයි. ස්වීන් ප්‍රකාශ කළේ බිල් දිගින් දිගටම සවිස්තරාත්මක පිළිතුරු බඳින අතරය. සැමදා උදෑසන හයට දැරිය තමා කැඳවාගෙන ශීතකරණය අසලට ගොස් රටකජු, බටර් සහ ජෙලි ඉල්ලා සිටින අයුරු ඔහු උසාවියට පැහැදිලි කරමින් සිටියේය.

' මම උත්සාහ කළේ උසාවියට දැරිය ගත කරන ජීවිතය ගැන සැබෑ පින්තූරයක් දෙන්න.'

ස්කොලොෆ් පැවසුවේ තම ආරක්ෂාව තහවුරු කර ගැනීමටය. 'වෙන යමක් ගැන කතා කරන්න.'

ස්වීන් උපදෙස් දුන්නේය.

'මේරි බෙත් ඔබ පිළිබඳව හිතා ඉන්නේ කුමන ආකාරයකට කියා ද ඔබ සිතන්නේ?'

ස්කොලොෆ් එවර විමසුවේ එබඳු පැනයකි. බිල් ස්ටර්න් තුළින් දිස්වූයේ කැළඹිලි සහිත ස්වභාවයකි.

'මගේ ධෛර්යය ඇය හෙළා දකිනවා. එපමණක් නොවෙයි, ඇගේ දික්කසාදය සම්බන්ධයෙන් සහ ඇගේ දරුවන්ගේ පීඩාකාරී මානසික තත්ත්වයට මා වගකිව යුතු බව ඇය විශ්වාස කරනවා."

අවිචාරවත් ලෙස කතා කරන බිල්ගේ මුහුණ විරූප වී තිබිණි. ඉහළ උසාවිය තුළ මා නැවත නිවැරැදිවෙමින් සිටීම පිළිබඳව බිල් හට ගැටලුවක් වූ බවක් නොපෙනිණි. ඔහු තවමත් උත්සාහ ගනිමින් සිටියේ සෝර්කොව් විනිසුරුගේ කාමරයේදී මෙන් නොයෙකුත් උපක්‍රම ඔස්සේ ජයග්‍රහණය ලබා ගන්නටය.

"මේරි බෙත් කියන්නේ කිසිම දෙයකට ළෙන්ගතු ගැහැනියක් නෙමෙයි. මෙලිස්සා ඇය අතට පත්වී විනාශ වී යන හැටි දකින්න මම සූදානම් නෑ. බෙට්සි හා මා ඇය ගැන තබා තිබූ විශ්වාසය ඈ පළුදු කළා. ඇගේ දර්ශනය බොහොම අපැහැදිලියි. ඇය කියන කිසිවක් මා විශ්වාස කරන්නේ නෑ. ඇය බොරුකාරියක්"

"ස්ටර්න් මහත්මයා?"

විනිසුරු තැන බිල්ගේ කතාවට බාධා කළේය. අවස්ථාවට නොගැළපෙන අනවශ්‍ය කතා සහ දොස් පැවරීම් නවතාලන්නට ඔහුට වුවමනා වූවා විය යුතුය.

"ඔබ යුදෙව්වෙක්. ඔබගේ බිරිය රෙපරමාදු ආගමික කාන්තාවක්. මේරි බෙත් වයිට්හෙඩ් කතෝලික ආගමිකයෙක්."

"මම ප්‍රායෝගික වශයෙන් දිගටම ආගම අදහන්නෙ නෑ." බිල් පිළිතුරු දුන්නේය.

"නමුත් ඔබ අදාළ නිවාඩු දින ලබා ගන්නවා නේද?"

විනිසුරුගේ පැනයට බිල් හිස වනා පිළිතුරු දී දිගු හුස්මක් ගත්තේය.

"දවසක් දා රාත්‍රියක මම අපේ දේවස්ථානයක් පසු කර යද්දී දැරිය එහි ඇතුළට ගෙනියන්නට වුවමනා වුණා."

බිල්ගේ කටහඬ වෙවුලන්නට වූ අතර දෑසින් කඳුළු ගලා ආවේය.

 

මීළඟ දිග හැරැම ලබන සතියේ