අහම්බෙන් දැකපු ආදරණීය තරු දෑස නුඹට ලියන වග නම්

ඔක්තෝබර් 17, 2022

 

ඉස්සර මට පුරුද්දක් තිබුණා කළුවරට වෙලා ආකහේ දිහා බලාගෙන ඉඳිද්දි දෙකොපුල දිගේ රූරා වැටෙන කඳුළු වැස්සක සිසිලසින් හිත නිවාගන්න ....

මගේ පුංචි කුටියට වෙලා වියතක් තරම් කුරුබිලියෙන් අරමුණක් නොමැතිව ම කළුවර අහස දිහා බලාගෙන ඉඳිද්දි අනේ පුංචි තරුවක් මං දිහා බලාගෙන දිලිසෙන්න පටන් ගත්තා...

කළුවර ආකාසේ පුරහඳත් එක්කම තරු ගොඩක් විසිරිලා තිබුණා. ඒත් ඇයි එක තරුවක් විතරක් මට විශේෂ වෙලා පෙනුණේ.

" අදටත් හොයනවා මං හේතු " තෙත් වෙච්චි ඇසිපියන් වේගයෙන් සලමින් මං හැදුවේ ඒ පුංචි තරුව දිහා බලන්න පාර හදාගන්න. උත්සාහය අසාර්ථකයි. වේදනාව ඒ තරමටම වැඩියි.

ගලා හැලෙන දිය ඇල්ලක් නියඟයටවත් වියළවන්න පුළුවන් ද..? අන්න ඒ විදිහටයි වේදනාවට රිදුම් දෙන ඇස් කඳුළවලින් පිරෙන්නෙ ....

පුංචි තරුව දිහා බලාගෙනම කුරුබිලිය ළඟ කල්පනා ලෝකෙක තනි වෙලා හිටපු මගේ ළඟින් කොහොමද එළියක් විහිදුනේ......? දෙවියනේ.... ආකහේ තිබ්බ පුංචි තරුව මං ගාවට ඇවිත්....... හරිම ආදරණීය විදිහට මං දිහා බලලා පුංචි තරුව එයාගේ එක අතක් මගේ හිසට තියලා මෙහෙම කිව්වා........

 

දන්නවා ද මැණික....

ඈත ආකහේ ඉඳලා

මං ඔයා දිහා බලන් හිටියා

ගෙවුණු හැම රාත්‍රියකම........

 

ජීවිතේ කියන්නේ

දුකක්..... අප්‍රමාණ දුකක්.....

ඒක දැන ගෙන නේද

සංසාරයෙ ඇවිදින ගමන්

ජීවිතය කියන මේ

අම්බලමේ නැවතුණේ....

 

ඉතින් පලක් තියෙනවා ද

ඇසිපියන් කඳුළින් බර කරලා ..

දන්නවා......

කාටත් හොරා අඳුරේ තනි වෙන්නේ

සිතුවිලිවල බර

කඳුළින් සැහැල්ලු කරන්න කියලා..

 

මැණික ........

හිත රිදුන කඳුළුවල හැඩ රටා

දෙකොපුලේ වියළෙද්දි

නොදැනීමයි ඇහිපියන්

නින්දකින් සැනසෙන්නෙ......

 

"හඬන්නෙම දුබල අය"

හිතුවා ද මොහොතකට...

 

මෙහෙම කියපු පුංචි තරුව එයාගෙ එළිය ටික ටික අඩු කළා. අනේ මට ඕනි වුණේ එයත් එක්ක ටිකක් දොඩමළු වෙන්න.

 

ඒත්....

මං බලා ඉඳිද්දි අහස දිහා

ආකාසෙ ඉඳන්ම තරු ඔක්කොම

මට හිනා වුණා....

 

තප්පර ගණනකින් ඒ පුංචි තරුව අනිත් තරු අතරට එක් වුණේ අනිත් තරු වගේ ම වෙලා... ඇස් රිදෙනකම් බැලුවත් නෑ ආයෙ පුළුවන් වුණේ හොයාගන්න ඒ පුංචි තරුව......

අනේ කොහොමද ඒ තරම් ඉක්මනට තරුව වෙනස් වුණේ....... අදටත් කළුවර වැටුණු සැණින් ආකාසෙ දිහා බලන්නෙ ඒ සොඳුරු තරුව මට අත වනයි කියලා.......

 

ආකාසේ ඉඳන් හරි තරු දෑස දැක්කොතින් බොඳවෙච්චි මේ අකුරු......

 

එකම එක වතාවක්.... හීනෙකින්වත්....... පෙනිලා යනවා ද......... අමාවක එන්නට කලින් ඉතින් මඟ හැරුණු තරු දෑස හොයන සුවහසක් තාරකාවන් වෙනුවෙන් ...

 

මං,

තරුව හොයන තාරකාව...

 

 

නුවන්ති හංසිනී උත්පලා

සඳලංකාව

---------------------------

පළමු පාසල

 

අලුත් දවසක්... අලුත් ආරම්භයක්... වාණිජ්‍යය විෂයය සඳහා ගුරුවරියක් ලෙස අලුත් පාසලට යන අලුත් මොහොතක්. හිත සතුටින් පිරෙනවා. අම්මගෙ ගමේ, මේ පාසල අසලින් කුඩා කළ සිට ම එහා මෙහා ගිය හැම වෙලාවක ම පාසල් වත්ත පටන් ගෙන අවසාන වන තැන දක්වා ම බලමින් පරිසරය රස වින්දා. ගස්වලින් පිරිලා සෙවණ වුණු පිරිසුදු මිදුල්, ලොකු ගොඩනැඟිලි අතරට අද මමත් ඇවිත්. ප්‍රධාන පාරකට මුහුණ ලා ඇති පාසල් වත්ත බොහෝ සුන්දරයි. ගැටබරු කඳු පාමුල ගලා යන නිල්වලා ගං කොමළිය එක් පසෙක. ඈත තේ කඳු යායවල්.

 

ආදරණීය උණුසුම් පිළිගැනීමත් එක්ක විදුහල්පතිතුමා මට අයිති කාර්යයන් පවරනවා. අම්මා, තාත්තා එතුමා ඉතා හොඳින් දන්නා අය... "ගුරු හිඟය නිසා දැනට ඉස්කෝලෙ වාණිජ අංශය වැහිලා පුතා.. අපට තව අලුත් ගුරුවරු ලැබෙයි. අපි පටන් ගනිමු ආයෙත්... සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ... ළමයින්ට වෙනත් ඉස්කෝලවලට යන්න අවශ්‍ය වෙන්නෙ නෑ එතකොට." එතෙක් බලාපොරොත්තු සහිතව මම සිංහල, ජීවන නිපුණතා, බුද්ධාගම යන විෂයයන් හයේ සිට එකොළහ ශ්‍රේණි දක්වා උගන්වනවා. ඒ අතරට සහන කාලච්ඡේද.

 

ගෙදර ඉඳලා මගේ පාසලට පයින් යන දුර. උදේට මහ ගෙදර හරි කලබලයි. ගුරුතුමීලා තුන් දෙනෙක් පාසල් යන්න ලකලෑස්ති වෙනවා. ලොකු නංගිගේ පවුලේ සාමාජිකයන්, මමත් පුතාත්, තවම විවාහ වෙලා නැති දෙවැනි නංගිත්, අම්මාත්,.. අපි ඔක්කොම එකම ගෙදර. ලොකු නංගිගේ දෙවැනි දුවයි මගේ පුතායි දවල් දවසෙ ගෙදර. චූටි අක්කයි මල්ලියි හරි යාළුයි. ඒත් ඇවිලෙන සුලු යි. ආත්තම්මගෙ ඇස් බැල්මත් එක්ක උදව්වට හැමදාම රංජිනී ලොකු අම්මා එනවා. එයා දරුවන්ට තවත් අම්මා කෙනෙක් වුණා. ආත්තම්මාට බැරි දැඟලිලි සෙල්ලම් චූටි අක්කයි, මල්ලියි එයාගෙන් පිරිමහ ගන්නවා. රාජකාරියට යන්න වගේ උදේ පහට මාත් එක්කම අවදිවෙන මගේ ගෝලයාට හරි හරියට වැඩ.

 

ඇඳ උඩ පෙරළි පෙරළි එයා මම සාරිය අඳිනවා බලාගෙන ඉන්නවා. "අම්මේ මේ කටුව ගහන්න" තුන් දෙනෙක්ගෙ කටහඬ හැමදාම උදේට ඇහෙනවා. ඒ, සාරි පොටේ රැලි ටික රඳවන්න. මගේ පොඩි ලොක්කත් ඇඳේ පෙරළි පෙරළි උන් හිටි ගමන් " අම්මේ... මම රැලි ටික ගහන්න ද..." අහනවා. ඉතින්... හිනා සාගරයයි.

 

පාසල් ගමනට මුලින් ම පිටත් වෙන්නෙ නංගිලා දෙන්නා. පාසල ළඟ නිසා අවසානයේ පිටත් වෙන්නෙත් මුලින්ම නිවෙසට එන්නෙත් මම. හවස එකයි තිහෙන් පස්සෙ පුතාගෙ පුරුද්ද බැල්කනියට වෙලා පාර බලාගෙන ඉන්න එක. ආත්තම්මයි, රංජිනි ලොකු අම්මයි එක්ක අක්කලා අයියලා සුදු පාට සමනලුන් රෑනක් වගේ පාර දිගේ යනහැටි බලා ඉන්න එයා හරි ආසයි. "ඔන්න දැන් අම්මා පෙනෙයි... වංගුව දිහා බලාගෙන එයාලා පුතාව උනන්දු කරනවා. වංගුවෙන් අම්මා මතුවෙනවා. ගේට්ටුවෙන් මිදුලට ඇවිත් උඩට අත වනාගෙන නිවෙසට ඇතුළුවෙලා පඩිපෙළ දිගේ එන අම්මා දිහා බලාගෙන ඉන්න මගේ ලොකු පොඩ්ඩා ඊට පස්සෙ අතුරුදන්.

"කෝ අපේ පුතා.....? ඔයා කොහේද.....?" දොර රෙද්දක් යටින් පේන චූටි කකුල් දෙක දිහා බලාගෙන ම බෑගය පුටුවක් උඩට අතහරින මම උඩුමහල පුරාම වෙහෙස නොබලාම පුතා හොයනවා. සතුට වැඩිකමට "චිකිස්" හිනාවක්. "අම්මා මාව දැක්කෙ නෑනේ." දෑතට පනින එයා බෙල්ල බදාගෙන හිනා වෙනවා. "ඒක තමයි... මං බය වුණා. මගේ පුතා කෝ කියලා.. ඔයා අම්මව බය කළා නේද...." එයාගෙ දිලිසෙන ඇස් තවත් දිලිසි දිලිසි හිනාවෙනවා. අදට ඇති නේද...?

මං ගුරුතුමී

කුමාරි ලියනගේ

වාණිජ අංශය

මහින්ද විද්‍යාලය

ගාල්ල