ලක් පොළොව සරු කළ ශාකයක ඉරණම

සොබාදහමට ආශීර්වාදයක් වූ මී ගසේ කතාව
ඔක්තෝබර් 24, 2022

 

හැමදේම කෘත්‍රිමකරණයට ලක්වෙලා තියෙන වර්තමානයක මී ගස දුර්ලභ ශාකයක් වී අවසානය. වර්තමානයට හිමිකම් කියන අපේ දරු පරම්පරාවට මී ගහක් කලාතුරකින් දකින්න ලැබෙන තරමට අතීතය සහ සොබාදහම විසින් මී ගසට දුන් වටිනාකම අපෙන් ගිලිහී ගොසින් ය.

 

මී ගස සොබාදහමට විශාල ආශීර්වාදයකි. වර්තමාන අපිට එය එතරම් ගණනකට නොවුණත් අපේ පැරැන්නන් හා සොබාදහම සමඟ බැඳුණු මී ගසට ඇත්තේ හරි අපූරු කතාවකි. විශේෂ හතකින් තම වර්ගයා බිහි කරන මී ගසේ විශේෂත්වය වන්නේ ඉන් හතරක්ම අපිට ආවේණික ශාක විශේෂ වීමයි.

බහුකාර්ය ශාකයක් විලසින් මී ගස සොබාදහම පෝෂණය කළේ මෙසේය.

පසට ස්වාභාවික පොහොරකි

සොබාදහම හා සමීප සම්බන්ධතාවකට හිමිකම් කියූ මී ගස් වැඩිපුරම දක්නට ලැබුණේ කුඹුරු ආශ්‍රිතවය. කහ පාටට හුරු මී මල් වැඩිපුරම හටගන්නේ ජූනි සහ ජූලි මාසවලය. මී මල් පිපෙන කාලයට මී ගෙඩි සහ මල් ආහාරයට ගැනීමට එන වවුලන් වාසස්ථාන තනා ගන්නේද මී ගස්වලමය. මී මල් සහ ගෙඩි ආහාරයට ගන්න වවුලන් වගා බිම් හා කුඹුරු ආශ්‍රිතව වසුරු හෙලයි. එහෙයින් වවුල් වසුරුවල ඇති නයිට්‍රජන්, යූරියා, ඇමෝනියා වැනි සංඝටක ස්වාභාවිකව පසට එකතු වී වගාවන් සාරවත් කරන්නට දායක වෙයි. මේ ආකාරයෙන් කුඹුරු අක්කරයකට පමණ සෑහෙන පොහොර ප්‍රමාණයක් මී ගසෙන් ලබා ගන්න හැකි යැයි විශ්වාස කළ පැරැන්නන් මෙය 'පොහොර ගස' නමින් ද හඳුන්වා ඇත.

 

දවස පුරාම ඔක්සිජන් පිට කරයි

දහවල් කාලයේදී ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය වෙනුවෙන් කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් පරිසරයට මුදාහැරීමත්, රාත්‍රී කාලයේ දී ශාකවල ස්වසන ක්‍රියාවලිය සඳහා ඔක්සිජන් ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් පිට කිරීමත් ශාකවල සාමාන්‍ය ක්‍රියාවලියයි. නමුත් මී ගසෙන් සිදුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් බව අපේ පැරැන්නන්ගේ විශ්වාසයයි. එයින් ඔවුන්ගේ විශ්වාසයට අනුව මී ගස දහවල් මෙන්ම රාත්‍රීයටත් එනම් මුළු දවස පුරාම ඔක්සිජන් පිටකරන ශාකයක් ලෙස හැඳින් වූහ.

 

ස්වාභාවික පළිබෝධ නාශකයකි

වර්තමානයට වඩා අතීතයේ පැවති සුවිශේෂී ලක්ෂණය නම් ඔවුන් සියලු දේ හුරුව තිබුණේ සොබාදහමත් සමඟ එකට කැටි වීමෙනි. එහෙයින් ඔවුන් වගාබිම්වලින් පළිබෝධකයන් පලවා හැරීමට කෘත්‍රිමව නිපදවන කෘමි නාශක යොදා ගත්තේ නැත. ඔවුන් සොබාදහමෙන් උත්පාදනය වන පළිබෝධකයන් පලවා හැරීමට සොබාදහමෙන්ම උපක්‍රම සොයා ගත්හ. එහි එක් උපක්‍රමයක් ලෙස ඔවුන් වගාබිම් සහ කුඹුරු ආශ්‍රිතව මී ගස් සිට වූහ. වගාබිම් ආශ්‍රිතව ඇති මී ගස්වල ගෙඩි සහ මී මල් ආහාරයට ගැනීමට එන වවුලන් සහ අනෙකුත් කුරුල්ලන් වගාවන්ට හානිකර කෘමි සතුන් ද ආහාරයට ගත්හ. මී ගසේ උපකාරයෙන් හටගන්නා ආහාර දාමයක අනුග්‍රහයෙන් පළිබෝධකයන් පලවා හැර වගාවන් සාර්ථක කරගන්නට තරම් අපේ පැරැන්නෝ දක්ෂ වූහ.

 

ආහාර සකස් කරයි

ස්වාභාවිකත්වයෙන් පිරි දේශීය ආහාර රටාව අපේ පැරැන්නන්ගේ නීරෝගි කමේ රහසයි. ඔවුන් රසයෙන් ගුණයෙන් පිරි විවිධ රස කැවිලි වර්ග සෑදීමට මී මල් යොදා ගත්හ. මී මල් යොදාගෙන කැවුම් සහ හැලප සැකසූහ. එය ඉතාමත් ප්‍රණීත ආහාරයක් ලෙස පැරැන්නන් සැලකුව ද අද වන විට මී මල් යොදාගෙන ආහාර සකසන කෙනකු හෝ මී මල් යොදාගෙන සැකසූ ආහාර සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අපහසුය. එය වර්තමාන පරපුර අත්විඳින අභාග්‍යසම්පන්න ඉරණමකි. වර්තමාන ජීවන රටාව දෙස බලන විට අනාගතයට නම් මෙවැනි ආහාරයන් පිළිබඳව ලිපියකින්වත් අහන්නට දකින්නට නොලැබීමේ සම්භාවිතාව වැඩිය.

 

මීට අමතරව කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා අද ගිලින අහුරු ගණන් බෙහෙත් පෙති වෙනුවට එදා පැරැන්නෝ මී ඇට යොදාගෙන සිඳින ලද තෙල් භාවිත කර ආහාර සකසා ගත්හ. එය අතුරු ආබාධයකින් තොරව ශරීරයට හිතකර අයුරින් රෝග පාලනය සඳහා පැරැන්නන් යොදාගත් උපක්‍රමයයි.

තවද මී තෙල් සිඳීමේ දී ඉතිරි වන මීමුරු නමින් හඳුන්වන කොටස සත්ත්ව ආහාර සඳහා ද යොදා ගත්හ. අවට පරිසරයේ ඇති විසබීජ විනාශ වීම සහ ප්‍රියමනාප සුවඳක් පරිසරය පුරා විහිදුවා හැරීමට මී තෙල් සිඳීමේ දී ඉතිරි වන මී මුරු සමඟ ස්වාභාවික අමුද්‍රව්‍යයන් එකතු කර දුම් ඇල්ලීම සිදු කළහ.

 

වෙදකම

අද වන විට හෙළ වෙදකම අපෙන් ගිලිහීයාමේ තර්ජනයට ලක්වී තිබුණත් ආයුර්වේද වෙදකම තවමත් පණගැහෙමින් හුස්ම යදියි. එහෙයින් හෙළ වෙදකම මෙන්ම ආයුර්වේද වෙදකම සඳහාත් මී ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන සියල්ලක්ම යොදා ගනියි. මී ගසෙන් ලබාගන්නා සියලු කොටස් එක්කර බෙහෙත් සාදා කැඩුම් බිඳුම් සුව කරන්නට යොදා ගන්නා අතර අදටත් ආයුර්වේද වෙදකමේ දී මී තෙල් වේදනා නාශකයක් ලෙස යොදා ගනියි.

ඇත්තමයි.. සොබාදහම මොනතරම් අපූරුද..? අපි එතරම් තැකීමක් නොකළත් මී ගස එදා පැරැන්නන්ට නම් පුදුමාකාර සවියක් විය. එදා පොල් අතු සෙවිලි කළ මැටි ගෙවල් තුළට විදුලිය නොමැති වූ නිසා ආලෝකය ලබාගන්නට සිදුවූයේ කුප්පි ලාම්පුවලින් ය. නමුත් ඔවුන් දීර්ඝ කාලයක් කුප්පි ලාම්පු භාවිත කිරීමේ අතුරු ආබාධයන් ලෙස ලාම්පු දැල්ලේ සැරට ඇස් දැවිල්ල ඇතිවන්නට විය. එවන් අවස්ථාවක අපි අද භාවිත කරන්නට පෙලඹෙන Eye Drop එකක් වෙනුවට ඔවුන් අපූරු පිළියමක් සෙවූහ. මී ඇට යොදාගෙන සිඳින ලද මී තෙල් යොදාගෙන කුප්පි ලාම්පු සකස් කර ගත්හ. මී තෙල් ලාම්පු දැල්ලෙන් ලැබෙන සිසිලස ඔවුන්ගේ ඇස් ආරක්ෂා කරගන්නට දායක වූහ. ඉතින් මී ගසේ ඉතිහාසය සංෂිප්‍තව බලන විට නිධානයකටත් වඩා මිල කළ නොහැකි වටිනාකමක් ගැබ්ව ඇති බව ඔබට වැටහෙනව ද.. ?

 

මරණ දණ්ඩනය

වර්තමානයෙන් මොහොතකට මිදී හෙළ රජ සමය දෙස බලන කල දේවානම් පියතිස්ස රජතුමා විසින් මී ගසක් කැපීම මරණ දණ්ඩනයට හේතුවක් ලෙස රාජ නීති සංග්‍රහයට එකතු කළහ. එකල ලංකාව පාලනය කරන ප්‍රධාන පුරවැසියා පවා සොබාදහමට ආදරය කිරීම, ගෞරව කිරීම, සොබාදහම ආරක්ෂා කිරීම රටවැසියන්ට හා සොබාදහමට විශාල ආශීර්වාදයක් එක් කළහ. එහෙයින් මිනිස් ජීවිතයක වටිනාකම මී ගසක වටිනාකමට අතීත සිංහලයා විසින් සමාන කරන ලද්දේ මී ගසේ වටිනාකම මිල කළ නොහැකි නිසාවෙන්මය.

 

විනාශයක ඇරඹුම

සිංහලයාගේ අවාසනාවට සුද්දන් විසින් ඉදිරිපත් කළ කෝල්බෘක් ප්‍රතිසංස්කරණය මඟින් මී ගස කැපීමට අවසර ලබා දුන්හ. මී ගසේ වටිනාකම හඳුනාගත් පිටරැටියන් අපේම සිංහලයන් ලවා මී ගස් විනාශ කර වූ අතර ඒ සමඟම සිංහල පොළොවේ සාරවත් බව ද විනාශ වීමට පටන් ගත්හ.

 

වර්තමාන දරු පරපුරට අහන්නට නොලැබෙන විශාල ඉතිහාස කතාවක් මී ගස වටා පවතියි. නමුත් සොබාදහමට ආදරය කළ අපේ සිංහල රජ පරපුර සහ අපේ පැරැන්නන් මිහිමතින් සමුගෙන අවසාන නිසා මී ගස සේම, සිංහල පොළොවේ සාරවත් බව ද විනාශ විමේ තර්ජනයට ලක්ව අවසානය.

 

මොහොතක් සිතන්න

ඇත්තටම මේ තරම් වටිනා ගසක් කපා දැමීම මොන තරම් අපරාධයක් ද ..? දැන්වත් හිතෙනවා ද ස්වභාවයෙන් අපිට ආරක්ෂා වෙන්න දීපු දේවල් අපි විසින්ම විනාශ කරලා නිකරුණේ දුක් විඳිනවා කියලා. අපේ දේවල් රැක ගන්න ඕනි අපිමයි. අද සිටවත් අපි අපේ දේවල් රැකගන්න එකතුවෙමු. ශාකයක වටිනාකම හඳුනා ගනිමු. දේශීය දේවල්වලින් නීරෝගි වෙමු. කෘත්‍රිම දේවල්වලින් ඈත් වෙමු. වර්තමාන අපගේ යුතුකමක් ලෙස අනාගත දරු පරපුරට දායාද කරන්නට හැකි අයුරින් මී ගස් රෝපණය කරමු.

 

සටහන - නුවන්ති හංසිනී උත්පලා

සඳලංකාව