පරිසරය රැක ගන්න හිතට ගන්න

සොබාදහම ගවේෂණය කරන අපූරු තරුණයා
නොවැම්බර් 7, 2022

 

ඔහු හුදෙකලාවේ සොබාදහම විඳින තරුණයෙකි. සමාජ මාධ්‍යන් ඔස්සේ අපූරු සංචාරයන් ගෙන එමින් ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තෙකි. ඒ නිසාම තරුණී වෙනුවෙන් අප ඔහුව කතාබහකට සම්බන්ධ කර ගත්තෙමු. මේ ජනප්‍රිය සංචාරක මධුෂාන් නෙරන්ජන් කරුණාතිලක නැතිනම් Solo Hiker සමඟින් කළ කතාබහයි.

 

මධුෂාන් ගැන මුලින් කිව්වොත්?

මම මධුෂාන් නෙරන්ජන්. ගිරිතලේ ගම. මොරටුව කැම්පස් එකේ ඉංජිනේරු විද්‍යාව හදාරලා දැනට පාසලක ගුරුවරයෙක් ලෙස සේවය කරනවා.

Traveling කෙනෙක් විදියට ඔබ social media වල ජනප්‍රිය වෙනවා. ඇයි ඇත්තටම මෙහෙම සංචාරකයෙක් වෙන්න හිතුවේ?

මම හැදුනෙ වැඩුනෙ ගමේ. පුළුවන් තරම් සොබාදහමට ළඟින් ඉන්න උත්සාහ කළා. වහිනකොට වහලෙන් වතුර වැටෙන සද්දෙ අහගෙන, ඒක දිහා බලාගෙන කවි ලිව්වා. ඒ වැස්සට මං මාර විදියට ආදරේ කළා. වහලය උඩ නැඟලා අහසේ තරු දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ හවසට වැව ගාවට ගිහිල්ලා ඉර බහින දිහා බලන් ඉන්නවා. සොබාදහමට ළං වෙන්න පුළුවන් හැම තැනකම ළඟින් හිටියා. නිදහස විඳින්න පුළුවන් හැම තැනකම වින්දා. ඊට පස්සෙ කැම්පස් ගිහිල්ලා කට්ටිය එක්ක ඇවිදින්න පුරුදු වුණාට පස්සෙ කඳු එහෙම නැඟලා ඒ අත්දැකීම් ලැබෙන කොට මට හිතුණා ලංකාව මෙච්චර ලස්සනයිනෙ. මට මේ හැමදෙයක්ම හැම තැනක්ම බලන්න ඕනෙ කියන අදහස ආවා. ඊට පස්සෙ හිතුණා මෙච්චර දේවල් තියෙන ලංකාවේ මේ සුන්දරත්වය මට තනියෙම විඳින්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. මට ඒ වගේ වෙනස් දෙයක් කරන්න ඕනෙ කියන එක පුංචි කාලෙ ඉඳලා තිබුණා. ඒක මොකද්ද කියලා දන්නෑ. මේකත් එක දෙයක් විතරයි මම කරන දේවල්වලින්. එක තැනකට සීමා වෙන්න කැමැති නැහැ. මොකක් හරි දේකින් ඔළුව stress වෙනකොට ඒකෙන් ගැලවුණේ සොබාදහම ඇතුළෙන්. හුදෙකලාවෙ ඒ නිදහස මට මාර විදියට feel වුණා. ඉතින් මම තීරණය කරා මේ දෙය කරන්න දිගටම.

 

කොහොමද මේ Solo Hikerගේ සංචාර ගමන ආරම්භ වෙන්නෙ?

Solo Hiker කියන්නේ මගේ Traveling page එකේ නම. කැම්පස් එකේ 2nd year, 3rd year වගේ ඉන්නකොට මට හිතුනා hike එකක් යන්න. තෝර ගත්ත තැන අදටත් මතක් වෙනකොට මම කරා ද කියලා මට තාම හිතා ගන්න අමාරුයි. කේම්බි වාඩිය, තුම්මිස්ගල හරහා නකල්ස් දූවිලි ඇල්ල හොයාගෙන හැටන්වල ගමට ගිය දවස් තුනක ගමන. ඒක තමයි ජීවිතයේ මම ගිය best එක. පාරවල් මුකුත් දන්නෙ නැතුව. පාරවල් හොයාගෙන. ගේමක් ගහලා ගිය ගමනක්. ඉතින් ඕක social media වල develop කරන්න හිතන් ගිය ගමනක් නෙමෙයි. ඒක මගේ ආත්ම තෘප්තියට මට fit වෙන්න කර ගත්ත දෙයක්. හැබැයි ඒකෙ story එකක් මන් ලිව්වා. කතාව ලියලා දැම්මම ඒක ගොඩක් කට්ටිය අතරට ගියා. ඒකත් එක්ක මම දැක්කා කට්ටිය සොබාදහමයි හුදෙකලාවයි අතර සම්බන්ධෙට කැමැතියි කියලා. ඒක ගොඩක් අයට කරන්න බැරි නිසා හෝ තමන් ඒ තුළින් සොබාදහම විඳිනවා කියන හැඟීම නිසා වගේ මොකක් හරි හේතුවක් මත කට්ටිය ගොඩක් ආස කළා. මම හිතුවා හුදෙකලාවයි සොබාදහමයි ගැළපෙන තැන ඒ concept එක ඇතුළෙ කාට හරි දෙයක් හරි ලස්සනට විඳින්න පුළුවන් කියලා. ඒ දේ වෙනුවෙන් concept එකක් විදියට develop කළා.

 

ඔබේ පුංචි video එකක් වුණත් ඉක්මනින් ප්‍රේක්ෂකයා වැලඳ ගන්නවා. මේකට හේතුව කුමක්ද?

ගොඩක් වෙලාවට මිනිස්සු ඉන්නෙ stress වෙලා. ඔළුව ප්‍රශ්නවලින් පුරවගෙන. එතැනදි හුදෙකලාවයි සොබාදහමේ ගැළපුණු තැන. ඒ රූප රාමුවක් දකිද්දි මිනිස්සුන්ට ඒක මාර නිදහසක් දැනෙනවා කියලා ගොඩක් කට්ටිය කියලා තිබුණා. මගේ video එකෙන් ඒ අය එතැන ඉන්නවා වගේ දැනෙනවා කියනවා. Solo නිසා තනියෙන් යන නිසා සහ ගොඩක් අයට කරන්න අමාරු දෙයක් නිසා වැඩියෙන් දැනෙනවා ඇති. එයාල හරි ඉක්මනින් වැලඳ ගන්නවා කියලා මට හිතෙන්නෙ.

 

කොහොමද ඒ ලැබෙන ප්‍රතිචාර?

මුලින්ම ගොඩක් video බලන්න ගත්තෙ කට්ටිය tiktok එකෙන්. මුලින් ගියේ ඒකේ. යහන් ගල ගිය ගමනත් එක්ක තමයි ගොඩක් අය මාව අඳුර ගත්තෙ. මම අද මෙහෙම social media වල concept එකක් විදියට develop කරනවා නම් කරන්න හේතුව මේ කට්ටිය තමයි. ඒ video බලලා කියන දේවල් එයාලට ඒව දැනුණ හැටි ඒක තමා මගේ number one motivation එක වුණේ. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි. මට හැමෝටම reply කරන්න බැරි වෙන්න පුළුවන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක. ගොඩක් ආදරෙයි හැමෝටම. ගොඩක් ආදරෙන් වැලඳ ගත්තට. හැමෝටම ගොඩක් ස්තුතියි.

 

ඔබ වැඩියෙන් කැමැති මොනවගේ තැන්වල සංචාරය කරන්නද?

කඳුකර පැතිවල

 

සංචාරයට වගේම ගායනයටත් වැඩි කැමැත්තක් දක්වනවා නේද ඔබ?

ඔව්. නිදහස ලැබෙන හැම වෙලාවකම

 

ඉදිරි වැඩ කටයුතු මොනවද?

ගුරුවරයෙක් විදියට දැනට කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකාවේ සංචාරක කර්මාන්තයට සේවයක් කරන්න වැඩකට සම්බන්ධ වෙලා ඉන්නවා. සුපුරුදු පරිදි කන්දක් නැඟලා නිදහසේ ඉන්න තමයි බලාපොරොත්තුව.

 

සොබාදහමේ අගය වැඩියෙන් දැනෙන කාලයේ ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් දුනනොත්?

සොබාදහම කියන්නෙ අපිට අයිති දෙයක් නෙමෙයි. අපට පාලනය කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. හැබැයි අපිට විනාශ කරන්න පුළුවන්. එහෙම විනාශ කරන්න, විනාශ වෙන්න දෙන්න එපා. ගොඩක් ඔය ඇවිදින තැන්වල බෝතල් කුණු ජරාව සෑහෙන්න තියෙනවා. එහෙම දාන්නඑපා. එක්කෙනා දෙන්නා දාලා ඒ වගේ ගොඩක් එකතු වුණාම සෑහෙන්න ලොකු කුණු ගොඩක්. බෝතල් කැඩිලා. ඒවා සත්තුන්ගේ ඇනිලා තුවාල වෙනවා. සත්තුන් තුවාල වෙනවා. ඒවා හිතන්න. පරිසරය විනාශ කරන්නෙ නැතුව රැක ගන්න හිතට ගන්න.