කෝච්චියෙන් ගාලු ගිය දේවි බාලිකාවෝ

නොවැම්බර් 14, 2022

 

දරුවන් ගොඩක් සතුටු වුණා

දුම්රිය දෙපාර්තමේන්තුවටත් වාසියක්

 

පසුගිය දවසක කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දියණියෝත් වෙනස්ම විදියේ අපූරු චාරිකාවක් ගියා. ඒක මුහුදු සුළං වැදෙමින් පැද්දි පැද්දි ගිය අපූරු කෝච්චි ගමනක්. ඒ ගැන විදුහල්පතිනී ප්‍රදීපා සමරසිංහ මහත්මිය 'තරුණි' සමඟ මේ ආකාරයට අදහස් දැක්වූවා.

 

වාර්ෂික අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා පාසල්වලට අනුමතයි

2019 පාස්කු ප්‍රහාරය නිසා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ දේවල් නතර වෙද්දි 2020, 2021දි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ චාරිකා තහනම් වුණා. නමුත් 2022දි නැවත පාසල් ආරම්භයත් එක්ක මීට මාස දෙකකට පමණ පෙර සිට පාසල් චාරිකාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වුණා. ඒ සමඟම නැවත නැවතී තිබුණු චාරිකා යන්න සැලසුම් හැදුවා.

 

2020 සෑදූ චාරිකා සැලසුම කිසිසේත්ම 2022ට සුදුසු වුණේ නෑ

 

පාසලක දරුවන්ගේ චාරිකාව වෙනුවෙන් අනුමත මුදලක් තිබෙනවා. අප 2020දි චාරිකාව යන්න මුදල් එකතු කරලා පාසල් සංවර්ධන සමිතිය හරහා පාසලේ ගිණුමට බැර කරලයි තිබුණෙ. අවුරුදු ගාණක් දරුවො එකතු කළ ඒ මුදල් ගිණුමෙ තිබුණා. නමුන් 2020 මාර්තු 12 වැනිදා කොවිඩ් හේතුවෙන් පාසල් වසා දැමීමට සිදු වීමෙන් චාරිකාව යන්න ලැබුණේ නෑ. මෙවර යළි හිමි වුණු අවසරයත් එක්ක අප මේ ගමන යළි සූදානම් කළා. නමුත් දැන් තිබෙන ප්‍රවාහන වියදම් එක්ක ඒ එකතු කළ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒ නිසයි අප යෝජනා ක‍ළේ වියදම සහ විනෝදය සියල්ලක්ම දෙස අවධානය යොමු කරලා මෙවර ගමන දුම්රියක යන්න ඕනෑ කියලා.

 

ගුරු මඩුල්ලේ 'ඇල්ල ඔඩිසි' චාරිකාවත් හේතුවක්

 

අපේ ගුරු මණ්ඩලය ඇතුළු කාර්ය මඩුල්ල ඇල්ල ඔඩිසි දුම්රිය චාරිකාවක් ගියා. ඒ වගේම අප පාසලේ පන්ති කිහිපයක දරුවො අරගෙනත් මීට පෙර දුම්රිය චාරිකා ගිහින් තිබුණා. ඒ අනුව අපට තේරුණා ශ්‍රේණි කිහිපයක්ම එක්වර, අඩු වියදමකින් රැගෙන යෑමට නම් දුම්රියේ චාරිකාව සුදුසුයි කියලා.

 

දුම්රිය දෙපාර්තමේන්තුවෙනුත් අනගි සහායක්

 

අප සැලසුම් කළ විදියට ශ්‍රේණි 5කින් දරුවො 1,200ක් මීට සහභාගී වුණා. ඒ ගැන දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්වත් කළාම ඔවුන් අපට පහසුකම් සහිත විශේෂ දුම්රියක් වෙන් කර දුන්නා. මව්පියො සහ ගුරුවරු කිහිප දෙනෙක් ගිහින් ඒ දේවල් පරීක්ෂා කර බැලුවා. අප විසින් පෙර දැනුම් දෙනු ලැබූ දිනයටම, අප කියූ ගමනාන්තයට දුම්රියක් වෙන් කරලා ඊට වැය වන මුළු වියදම අපට කලින්ම දැනුම් දෙන්න දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඒ අනුව අපට ලක්ෂ 12කට ආසන්න මුදලක් වැය වන බව දන්වා තිබුණා. අපට එකතු වී තිබුණු මුදල් ප්‍රමාණය අනුව ඒ ගණන පහසුවෙන්ම ගෙවීමටත්, ගමනේදී දරුවන්ට අවශ්‍ය අනෙකුත් පොඩි පොඩි පහසුකම් වෙනුවෙනුත් ප්‍රමාණවත් වුණා. අප කළින්ම චෙක් පතක් මඟින් අදාළ මුලද ගෙව්වා.

 

ශ්‍රේණි 5ක දියණියන් රැගෙන අභියෝගාත්මක චාරිකාවක්

 

දුම්රිය පහසුකම්, ගමන යන ස්ථාන ප්‍රතිපාදන සියල්ලක්ම සූදානම් කරගෙන සුපුරුදු පරිදි අප චාරිකාවට සහභාගී වන සෑම දියණියකගේම මව්පිය, භාරකරු අවසරය ලබා ගත්තා. අප සැලසුම් කළේ ගාල්ල ප්‍රදේශයට යන්න. දරුවන්ගේ ආරක්ෂාවට ගාල්ල පොලිසියෙනුත් විශාල සහායක් ලැබුණා. දරුවො 1,200ක් පහසුවෙන් රඳවා ගන්න ගාලු කොටුවේ ප්‍රමාණවත් ඉඩක් තිබෙන නිසායි ‍ඒ ප්‍රදේශය තෝරා ගත්තේ. කණ්ඩායම් 5කට වෙන් කරලා කෞතුකාගාර, ප්‍රදීපාගාරය, ඇතුළු ගාලු කොටුවේ නැරඹුම් ස්ථානවලට දරුවො රැගෙන යන්න ගුරුවරු සැලසුම් කර තිබුණා. ඒ වගේම ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සමඟ සාකච්ඡා කරලා පාසල් කාලයෙන් පස්සෙ පාසලේ පන්ති කිහිපයක් වෙන් කර ගත්තා දරුවන්ට පොඩි විවේකයක් ගන්න, කෑම කන්න සහ සනීපාරක්ෂක පහසුකම් සලසා ගැනීම සඳහා. ඒ විදුහල්පතිනිය අපට ඊට අවශ්‍ය පහසුකම් ඉතා සුහදශීලීව ලබා දීමට කාරුණික වුණා. සිසුවියන් ප්‍රමාණය වැඩි නිසා ඔවුන්ගේ ආරක්ෂාවට එක් පන්තියකට ගුරුවරු 2යි, මව්පියෝ 2යි බැඟින්

එක් කර ගැනීමටත් අප සැලසුම් කර ගත්තා. දුම්රිය එන්න කළින් මැදිරිවල අංක අලවල, දරුවන්ට අංක දීල, තමන්ට අදාළ ස්ථානය වෙන් කරලා, දරුවන් අතේ හඳුනා ගැනීමේ පහසුවට විවිධ වර්ණවලින් බෑන්ඩ් ගැටගසල මනා සැලසුමක් ඇතිවයි මේ ගමන යන්න පිටත් වුණේ. මොකද එක දරුවෙක්වත් මඟ හැරෙන්නත් බෑ. හැමෝගෙම ආරක්ෂාව ගැන හිතන්නත් අවශ්‍යයි. ඒ වගේම කියපු වෙලාවටම දරුවො දුම්රිය නැවතුම්පොළ වෙත පැමිණ සිටියා. දුම්රියත් කියපු වේලාවට මොහාතක් ‍හෝ ප්‍රමාද නොවී ගමන පිටත් වුණා. අතරමඟදිත් පානදුර, කළුතර හා අලුත්ගම වැනි දුම්රිය ස්ථානවලින් දරුවො සහ ගුරුවරු කිහිප දෙනෙක්ම චාරිකාවට එකතු වුණා. අප සෑම දොරටුවකටම ආරක්ෂාවට මව්පියො යෙදෙව්වා. අතරමඟ ස්ථාන තුනක දුම්රිය නවත්වල දරුවන්ව

බස්සන්නේ නැතිව අවට නරඹන්න අවස්ථාව දුන්නා. ඒ වගේම කියපු වේලාවටම සවසත් ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වුණු දුම්රිය මරදාන දුම්රිය නැවතුම්පොළට ආරක්ෂාකාරීව පැමිණියා. බසයක එක් පන්තියක් පමණක් යනවාට වඩා එකමුතු වෙලා පන්ති කිහිපයක් එක ගමනක්, එක අත්දැකීමක් සුහද හමුවක් විදියට මේ දුම්රිය ගමන දරුවන්ටත් විශේෂ ගමනක් වුණා.

 

දරුවන්ගේත් වැඩි උනන්දුවක්

 

වැඩි වියදමකින් බසයේ යන චාරිකාවට වඩා දරුවොත් පැය දෙකහමාරක මේ දුම්රිය චාරිකාවට ලොකු කැමැත්තක් දැක්වුවා. අප පාසල් නිල ඇඳුම මේ ගමනට අනිවාර්ය කළේ නෑ. දරුවන්ගේ විනෝදය හා පහසුව තකා දිග කලිසම, පාසල් ටී ෂර්ට් හෝ සුදු ටී ෂර්ට් එකක් සහ පාසලේ සපත්තු පැළඳීම මේ ගමනේදී අනිවාර්ය කළා. මේ නිසා ඔවුන් ඒ දවස ඉතාම සතුටින් හා සැහැල්ලුවෙන් ගත කළා.

 

සෑම දරුවකුටම කෑම ගෙදරින්

 

මේ ගමන අපි ගියේ දරුවො විශාල සංඛ්‍යාවක් එක්ක නිසා අප වෙනදා වගේ හැමෝටම කෑම ඇනවුම් කරන්න ගියේ නෑ. මොකද මේ වගේ පිරිසකට එක්වර කුමක් හෝ අජීර්ණයක් හෝ කෑම විස වීමක් වුණොත් කළ යුත්තේ කුමක්ද කියන දේ අප හිතුවා. ඒ නිසා කළින්ම දරුවන්ව දැනුම්වත් කළා නරක් නොවන කෑම රැගෙන එන්න කියා. සවස තේ වේලාවට පමණක් පාසල මඟින් කෑම ඇණවුම් කරල දරුවන්ට දුන්නා.

 

පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුවටත් වාසියක්

 

දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පාසල් සමඟ සාකච්ඡා කරලා මේ වගේ ගමන් සැලසුම් කරනවා නම් ඒක ඔවුන්ගේ දෙපාර්තමේන්තුව පැත්තෙනුත් විශාල වාසි ගෙනෙන ව්‍යාපෘතියක්. මොකද අපට කියපු ගණනසම්පූර්ණයෙන්ම අපි ගමනට කළින් චෙක් එකකින් ගෙව්වා. අනෙකුත් පාසල්වලිනුත් ඒවා ගෙවන්නේ චාරිකාව වෙනුවෙන් එකතු කරන මුදල් මිස පාසලේ මුදල් නෙවෙයි. ඒ නිසා ණය ‍නොවී අත්පිට මුදලට මෙවැනි ගමන් සැලසුම් කිරීමෙන් ඔවුන්ටත් ලාබ ලැබිය හැකියි. මේ වකවානුවේ හැටියට කළින් ගෙවූ ගණනට වඩා තුන් ගුණයක් බස් රථයකට ගෙවීමට සිදු වන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව හරි සැලසුමකින් මේ සම්බන්ධ ප්‍රවර්ධනයක් කළොත් කාටත් හොඳක් වෙන්න පුළුවන්.

 

ඡායාරූප

රුක්මාල් ගමගේ

චින්තක කුමාරසිංහ