පමා නොවි ඒමේ අත හදාගන්න හැඳුනුම්පත

රස්තියාදු නොවි හැඳුනුම්පත හදාගන්නේ මෙහෙමයි
නොවැම්බර් 21, 2022

විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට ද හැකියාව පවතී. එමඟින් ජාතික හැඳනුම්පත භාවිත කරමින් සිදු කෙරෙන අක්‍රමිකතා රැසක් මඟහරවා ගැනීමට හැකියාව පවතී. ඔබත් දැනටමත් පැරණි ජාතික හැඳනුම්පත භානිත කරන්නකු නම් පහසුව හා ආරක්ෂාව පිණිස නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පතට මාරූ වීම සුදුසු වේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතියදී ඉන්දියාවෙන් මෙරටට වතු කම්කරුවෝ විශාල ප්‍රමාණයක් සංක්‍රමණය වූහ. එකල මේ දෙරටම යටත්විජිතයන් වූ නිසාවෙන් ඒ කිසිදු ආගමනයකට ගැටලුවක් නොවීය. එහෙත් මේ සියල්ල වඩා සංකීර්ණ වෙමින් 1947 අගෝස්තු 15 වැනිදා ඉන්දියාව නිදහස ලැබීමත්, 1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව නිදහස ලැබීමත් සමඟ රටවල් අතර සංක්‍රමණය එතරම් පහසු නොවීය. ඒ අතර පුරවැසිභාවය සම්බන්ධයෙන් ද අදහස් මතු විය. මේ සමඟම උතුරු මුහුදින් කල්ලතෝනි මෙරටට පැමිණීමත්, ඉන්දියානුවන් මෙරට නතර වීමත් නිසා මෙරට පුරවැසියන් වෙන් කර හඳුනා ගැනීමට හැඳුනුම්පතක් නිකුත් කිරීමට තීරණය කෙරිණි. ඒ වන විට මැලේසියාවේ ක්‍රියාත්මක කෙරුණු හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ද හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ විය.

 

ශ්‍රී ලංකාවේ පළමු ජාතික හැඳුනුම්පත සිරිමා බණ්ඩාරනායකට

 

1968 වසරේ ජුනි මස 22 වැනිදා සම්මත කර ගත් 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට අදාළව 1971දී නීති රෙගුලාසි පැනවීමෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 5 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයන් ලියාපදිංචි කර හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක නීති රෙගුලාසි ක්‍රියාත්මක ‍කෙරිණි. ඒ සඳහා 1971 ඔක්තෝබර් 01 වැනිදා පළමු වරට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කළේය. මෙම දෙපාර්තමේන්තුව මඟින් එතැන් සිට මෙරට සෑම පුරවැසියකුටම ජාතික හැඳුනුම්පතක් නිකුත් කෙරුණු අතර, එසේ නිකුත් කළ පළමු ජාතික හැඳුනුම්පතට හිමිකම් කියූවේ එවකට ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඒ, 1972 සැප්තැම්බර් මස 14 වැනිදාය. එවක පටන් මේ දක්වා සෑම වැඩිහිටියකුම ජාතික හැඳුනුම්පතකට හිමිකම් කීම අනිවාර්ය විය. ඒ අනුව මේ වන විට වයස් සංශෝධනයට යටත්ව

වයස අවුරුදු 15 ඉක්මවූ සියලු දෙනා ජාතික හැඳුනුම්පතකට හිමිකම් කියයි.

 

ජාතික හැඳුනුම්පතක් හදන්නේ මෙහෙමයි

 

අපට ජාතික හැඳුනුම්පතක් සාදා ගැනීමට අවශ්‍ය නම් වටේ යමින් රස්තියාදු නොවී නිසි ක්‍රමවේදය අනුව හරි පාරට අවතීර්ණ වීම පළමුවෙන්ම කළ යුතුය. එහිදී අපට අවශ්‍ය වන්නේ අලුතින්ම හැඳුනුම්පතක් සාදා ගැනීම ද, නැති වූ හැඳුනුම්පත වෙනුවට අලුත් හැඳුනුම්පතක් ලබා ගැනීම ද, හැඳුනුම්පත වෙනස් කර ගැනීම ද, නම වෙනස් කිරීම ද යන්න පිළිබඳ පළමුව අවබෝධ කර ගත යුතුය. මේ සම්බන්ධ කටයුතු සියල්ලක්ම දැන් ඔබේ පහසුවට ඉතා ඉක්මනින් කර ගැනීමේ කටයුතු සලසා තිබේ.

 

ජාතික හැඳුනුම්පතක් අලුතින් සාදා ගැනීමට සුදුසුකම් සැපිරූ අයදුම්කරුවකුට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළු වීමෙන් ඒ සඳහා වන අයදුම්පත බා ගත කර ගැනීමට හැකියාව ලැබේ. ඊට අමතරව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරී කාර්යාල හරහා ද, පාසල් අයදුම්කරුවන්ට පාසලේ විදුහල්පතිවරයා හරහා ද මෙම අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව පවතී. මෑතක සිට අලුත් අයදුම්කරුවකුටත්, අස්ථානගත වූ හැඳුනුම්පතක් වෙනුවෙන් ඉල්ලුම් කරන අයදුම්කරුවකුටත්, නම් වෙනස් කිරීම් ඇතුළු සංශෝධන සඳහාත්, අයදුම්පත අලුත් කිරීම සඳහාත් එකම අයදුම්පත භාවිත කිරීමෙන් ඉල්ලුම්කරුවන්ට මෙම කාර්යය තවත් පහසු වේ.

 

ජාතික හැඳුනුම්පතක් සෑදීමට මේවාත් අවශ්‍යයි

 

ඉහත කී අකාරයට ලබා ගත් නිවැරදිව පිරවූ අයදුම්පතක්, උප්පැන්න සහතිකයේ සහතික කරන ලද පිටපතක්, පදිංචිය සනාථ කළ ලිපියක්, අනුමත කළ ස්ටුඩියෝවකින් ජාතික හැඳුනුම්පත් ඡායාරූප ලබාගෙන ඊට අදාළ බා කෝඩ් එක ඇතුළත් රිසිටිපත, රැකියාව ඇතුළත් කිරීමට අවශ්‍ය නම් පමණත් සේවය කරන ආයතනයෙන් මාස 6ක් ඇතුළත ලබා ගත් සේවා ලිපියක්, අවුරුදු 50ට අඩු පුද්ගලයකු නම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. 50ට වැඩි අයකු නම් උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකයක් නොමැති විට එම ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහනක්, උපන්දිනය තහවුරු කරන ලද දිවුරුම් ප්‍රකාශයක්, පාසල් හැර යෑමේ සහතිකය, අයදුම්කරුගේ උපන්දිනය සඳහන් වන දරුවන්ගේ උප්පැන්න සහතිකවල පිටපත්, උපන්දිනය ඇතුළත් මෙරට පුරවැසි සහතිකයක් ආදියෙන් කුමන හෝ විකල්ප ලේඛන 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, ඔබ විදේශයක උපත ලැබූවකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසියකු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ පුරවැසි සහතිකයක් හා එහි ඡායා පිටපතක්, විවාහයකින් පසු සැමියාගේ නම ඇතුළත් කිරීමට අවශ්‍ය නම් විවාහ සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතු වේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර හෝ උපසම්පදා සහතිකය, අනෙකුත් පූජකවරු ඊට අයත් දෙපාර්තමේන්තු මඟින් ලැබූ සහතිකය, පැවිදි බව අත්හැරි අයකු නම් අදාළ දෙපාර්තමේන්තුවෙන් ලද සහතිකයත් ඉදිරිපත් කළ යුතුය. මීට අමතරව අස්ථානගත වූ හැඳුනුම්පතක් නැවත සාදා ගැනීමේදී පොලිස් පැමිණිල්ලක් ද අනිවාර්ය වේ.

 

සාමාන්‍ය සේවාව යටතේ නම්,

 

ඔබ හැඳුනුම්පත සාදා ගන්නට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය සේවාව යටතේ නම් ඔබ විසින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත හා අදාළ ලිපි ලේඛන ග්‍රාම නිලධාරීවරයාට භාර දිය යුතුය. පාසල් අයදුම්කරුවකු නම් අදාළ ලේඛන විදුහල්පතිවරයාටත්, වතු සේවකයකු නම් වතු අධිකාරීවරයාටත් භාර දීම කළ යුතුය. එහිදී ඔවුන් විසින් එම ලේඛන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගනී. නව ගාස්තු සංශෝධයත් සමඟ මේ සඳහා ඔබට වැය වන්නේ රුපියල් 200ක් පමණි.

 

එක්දින සේවාව යටතේ නම්,

 

ඔබට ඉක්මනින්ම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය නම් එය එක්දින සේවාව යටතේ ලබා ගැනීමට හැකියාව පවතී. එහිදී ඔබ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණීම අනිවාර්ය වේ. ඊට නව සංශෝධිත ගාස්තු අනුව රුපියල් 2,000ක් ගෙවීමට සිදු වේ. ඔබ ජාතික හැඳුනුම්පත සාදා ගැනීමට බලාපොරොත්තු වන්නේ එක් දින සේවාව යටතේ නම් ඒ බව ලිපියක් මඟින් ග්‍රාම නිලධාරීවරයා දැනුම්වත් කළ යුතුය. එම අවශ්‍යතාවය ඇත්තේ සිසුවකුට නම්, ඒ බව විදුහල්පතිවරයාට ලිඛිතව දැන්විය යුතුය. මෙහිදී පළමුවෙන්ම අයදුම් පත්‍රයත්, අනෙකුත් ලිපි ලේඛනත් ග්‍රාම නිලධාරීවරයා විසින් සහතික කරනු ලැබිය යුතුය. පසුව එය ප්‍රාදේශීය ලේකම්වරයා ලවා සහතික කරවාගෙන එම සියලු ලිපි ලේඛන රැගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යා යුතුය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යෑම සඳහා වන දිනය ඔබට ලබා දෙනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟිනි. එම දිනයට යෑමෙන් ඔබට එක්දින සේවාය යටතේ ඔබගේ හැඳුනුම්පත පැය කිහිපයක් තුළ ලබා ගැනීමට හැකියාව ඇත.

 

ස්මට් ජාතික හැඳුනුම්පත

 

දැන් ඔබට නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට ද හැකියාව පවතී. එමඟින් ජාතික හැඳනුම්පත භාවිත කරමින් සිදු කෙරෙන අක්‍රමිකතා රැසක් මඟහරවා ගැනීමට හැකියාව පවතී. ඔබත් දැනටමත් පැරණි ජාතික හැඳුනුම්පත භාවිත කරන්නකු නම් පහසුව හා ආරක්ෂාව පිණිස නව ස්මාට් ජාතික හැඳුනුම්පතට මාරු වීම සුදුසු වේ. ඒ සඳහා කළ යුත්තේ ඉහත පියවර කිහිපය අනුගමනය කිරීම පමණි. තවද ඔබ අනිවාර්යයෙන්ම නැති වූ හැඳුනුම්පත වෙනුවට නව හැඳුනුම්පතක් ගැනීමෙන් අනතුරුව නැති වූ හැඳුනුම්පත යළි ලැබුණහොත් එය අනිවාර්යයෙන්ම කොමසාරිස් ජනරාල්වරයා වෙත භාර දීමට ද පියවර ගත යුතුය.