හොඳ බිරිඳකට පුළුවන් කිසිම දෙයක් නැති මිනිහෙක් කෝටිපතියෙක් කරන්න

කොටියාගල මහ වන මැද හමුවූ දිරිය පවුලේ කතාව
දෙසැම්බර් 5, 2022

 

 

සුබේ යළිත් ඉඳුරංගා ගේත් පුංචි පුතු ඔනෙත්ගේත් නෙතට එබේ.සුබේ ගේ ඉදිවෙමින් පවතින නිවෙසේ මෙසේ සටහන් කොට තිබේ "බාලගිරි දෝෂය අද නොවේ ගෙට. නමුත් ඒ දිරිය පවුලේ ජයග්‍රහණය හෙට නොවේ අද

 

පොළව ඉරි තළන තරමට වෑස්සෙන කූටක අව්දැල්ල සුබරත්නට ගාණක් නැති සෙයකි. යාල වනය සිප හමන වියළි සුළං දැල මදකට හෝ ඔහු අස්වසාලයි. තනිව ඉඳිකළ මහ පොකුණට ඇවිදින් දිය නා යන ගිරා රෑන දෙස බලාසිටින සුබරත්න නැවත රබර් වගාවේ කටයුතු අරඹයි.

 

කොටියාගල ගම්මානයට යාබද යාල වන අරණ කෙළවරේම ඇති ගොවි ගම සුබරත්නගේත් ඔහුගේ බිරිඳගේත් නිමැවුමකි. කෙටියෙන්ම මොණරාගල ,කොටියාගල කෙළවරේම හුදෙකලාව දිවිගෙවන සුබරත්නගේ පවුල තනිව දුක දිනා ගත් ආදර්ශවත්ම පවුල්කි. මේ දිරිය මිනිසා කතාව පටන්ගන්නේ වෙනම තැනකිනි.

 

"මං මෙහෙට එනකොට මේක මහ වන බැද්ද. මං කොටියාගලට ආවේ මේ පාර කපන්න ට්‍රැක්ටරේ වැඩ කරන්න. ගිනි ගහන අවුකරේ වතුර පොදක් නැතුව වැඩ කරන කාලේ තමා මෙයාව හමබවුණේ. මෙ‍යා ඒ කාලේ ඉස්කෝලේ යනවා. මම ට්‍රැක්ටරේ වැඩ. කොහොමින් හරි අපේ සම්බන්ධයක් ඇතිවුණා. එතනින් තමයි මේ ජීවිතේ පටන් ගන්නේ. "

සුබේ මෙයා ලෙස හැඳින්වූයේ ඔහුගේ සදාතනික සෙවණැල්ල වන බිරිඳයි. සිනහවෙන් මුව පුරවාගනිමින් සුබේ අසලට වී සිටින බිරිඳ ඉඳුරංගා ඔවුන්ගේ ජීවිතයේ මුලට නැවත අප ගෙනයයි.

"අපේ සම්බන්ධය කාලයක් පැවතුණා. මගේ ඉස්කෝලේ ගමන නවත්තනකොට සුබේ ට්‍රැක්ටරේ වැඩ. කොහොමහරි අපි බැන්ඳා. ඒත් අපට කියල කිසිම දෙයක් තිබුණෙ නෑ. තාත්තගේ ඉඩමක් තිබුණා මහ බැද්දේ. සුබෙයි මමයි මේ බැද්දට ආවේ ඉටිකොළ වාඩියක් ගහගෙන. හතරවටේම අලි. ඒ මදිවට මහ වරුසාව. අපි මේ කැලේ තනිවුණා. අපට තනියට හිටියේ කුප්පි ලාම්පුව විතරයි. සුබෙයි මමයි හැමදාම ඉර වැටුණු වෙලාවේ ඉඳන් පොළව එක්ක ඔට්ටුවුණා. දෙන්න එක්ක බිම් කොටල පළවෙනි කන්නෙ බඩ ඉරිඟු හිටෙව්වා. මහ කැලේ මැද්දේ කාත් කවුරුත් නැතුව ඉන්න අපට සමහරු හිනා නොවී හිනාවෙන්න ඇති. මොකද කිසිම කෙනෙක් මේ මහ බැද්දේ අපි දෙන්න හේනක් කරනවා කියන එක මුලින් පිළිගත්තෙත් නෑ.

 

ඈ නැවත සශ්‍රීක ගොවිබිම දෙස බලයි. එක් අතකින් කුඩා කුඹුරකි. අනෙක් අතෙන් බඩ ඉරිඟු යායකි. අනෙක්පසින් පෙනෙන තෙක්මානයේ දිවෙන රබර් යායකි. අනෙක් පසෙන් ඉදිවෙමින් පවතින සුබේගේ නිවෙසයි. ඒ නිවෙස අසල ගවගාලකි. සැබෑවටම කිවහොත් මෙය එකම ගොවි බිමකි. එමෙන්ම වැඩ බිමකි.

කුඩා පුතු ඔනෙත් දෙස බලන සුබේ නැවත කතාව අරඹයි.

මෙහෙම කාලයක් ගතවුණා. අපේ වගාවෙන් අපට ජීවත්වෙන්න පුළුවන් ගාණට සල්ලි ලැබුණා. හැබැයි අපි දෙන්න හොඳට දුක් වින්දා. මෙයා තමයි මගේ හැම හයියටම හිටියේ. ඉස්සර අපට වතුර ගන්න තැනක් තිබ්බෙ නෑ. කිලෝමීටර් හතරක් යන්න ඕන වතුර ගේන්න. අපි දෙන්න හවස පහට විතර පුට්සයිකලේ වතුර අදින්න පටන් ගන්නවා. රෑ දෙක තුන වෙනකල් බැරල් දෙකට වතුර ගෙනත් දාල තමයි ගොවිතැන ගොඩ ගත්තේ.

මේ අතරේ තමයි ගමට ස්ටාර් ව්‍යාපෘතිය එන්නේ. ඒක රජයේ එකක්.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ වූ කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන වැඩසටහනට මාව සම්බන්ධ කරගන්නේ අපේ ජීවිතේ වෙනම පැත්තකට හරවමින්.

සැබෑවටම සුබරත්න දැන් ව්‍යවසායකයෙකි. අක්කර විශාල ප්‍රමාණයක හිමිකරුවකුවන සුබරත්න සහ ඉඳුරංගාගේ ජීවිතය මේ වන විට ගොඩ නැඟෙමින් පවතී. එදා ඔවුන් ජීවත්වූ ඉටිකොළවලින් වට කළ වාඩි නිවෙස වෙනුවට දැන් තිබෙන්නේ ඔවුන් විසින්ම සකසා ගත් නිවෙසකි.

අපි මේ මහ කැලේ රබර් වවන්න හදනව කිව්වමත් මට යාළුවො ඔච්චම් කළා. ඒත් ඒ හැමදේම එක්ක මගේ නෝනා හිටිය. රබර් වවනව කිව්වම ලොකුම බාධාව වුණේ වතුර. ආයෙමත් කිලෝමීටර් හතරක් ගිහිං එළි වෙනකල් වතුර අදින්න ඕන නේද කියල හිතුණත් අපි දෙන්න මේ වගාව අතෑරියෙ නෑ. ව්‍යාපෘතියෙන් හැමදේම ලැබුණා. ඒ නිසා අනාගතේ හදාගන්න ඕන කියල අපි දෙන්න ආයෙමත් තීරණේ කළා.

 

සුබරත්න නැවත ඉඳුරංගා දෙස බලයි. සැබැවින්ම ඈ යකඩ ගැහැනියකි. එදා සුබරත්න සමඟ මේ අලි ගහන බැද්ද සමඟ ඇයද පොර නොබදන්නට මේ සශ්‍රීක ගොවිගම අද මෙතන නොවන්නට තිබුණි.

කොහොමහරි සුබෙයි මමයි එකතුවෙලා මුලින්ම පොඩි පොකුණක් හැදුවා. පෑවිල්ල කාලෙට සත්තුන්ටවත් වතුර බොන්න තැනක් මෙහෙ නෑ. ඒ නිසා අපි හැමෝටම ප්‍රයෝජනයක් ගන්න තමා පොකුණ හෑරුවෙ. මොකද මේ බැද්දේ කෙලවරේ ඉන්නේ අපි තුන්දෙනයි අලියි විතරයි. හවස හතරවෙද්දි අලි පෝලිම අපේ ගේ අද්දරින් කැලේට වදිනවා. අපි සත්තුන්ට කරදරයක් නැත්නම් සත්තුත් අපට කරදරයක් නෑ. පස්සේ ස්ටාර් ව්‍යාපෘතියේ උදව්වෙන් පොකුණ ලොකු කළා. දැන් අලිත් පෑවිල්ලට වතුර බොන්නේ මේ පොකුණෙන්.

අපිට පුතා ලැබෙන්න ඉන්නකොට තමා අලුතෙන් මෙහෙට රබර් වගාව ආවේ. ස්ටාර් ව්‍යාපෘතියෙන් හැමදේම ලැබුණා. අපි දෙන්න තමා මේ යායම වැව්වෙ. දැන් දැනෙන සතුට කියල නිම කරන්න බෑ. මොනවත්ම නැතුව මහ වනාන්තරේට ආපු අපි වැවිලිකරුවො බවට පත්වුණා. තව ටික කාලෙකින් රබර් කපන්න පුළුවන්. රට යවන්නත් පුළුවන්. මං හිතන්නේ අපට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.

ඔහු ජවසම්පන්න සැමියා දෙස නැවත සිනාසී බලන්නේ එතැන් සිට කතාව සුබේට බාර කරමිනි. හැම පිරිමියකුටම හොඳ බිරිඳක් ලැබුණොත් ඉන්න තැනින් උඩට යන්න පුළුවන්. ඉටිකොළ ගහගෙන පැළක් අටවගෙන මේ හේනට ආව අපි දෙන්නම දැන් ව්‍යවසායකයෝ. තව ටික දවසකින් රබර් වගාවෙන් අපේ රටට ඩොලර් ගේන්න හැකි වේවි. අපට උදව් කළ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ස්ටාර් ව්‍යාපෘතියටත් ස්තූතිය පුදකරන්නම ඕන. මොන උදව් ගුරුහරුකම් ලැබුණත් හිතේ හයිය නැත්නම් මොනවත් කරන්න බෑ. ඉඳුරංගා එයා තමයි මේ හැමදේටම හයිය. අපේ ආදරේ අපිට අලුත් ජීවිතයක් දුන්නා. මහ බැද්ද අපට අලුත් පාරක් පෙන්නුවා.

සුබේ යළිත් ඉඳුරංගාගේත් පුංචි පුතු ඔනෙත්ගේත් නෙතට එබේ. සුබේගේ ඉදිවෙමින් පවතින නිවෙසේ මෙසේ සටහන් කොට තිබේ "බාලගිරි දෝෂය අද නොවේ හෙට. නමුත් ඒ දිරිය පවුලේ ජයග්‍රහණය හෙට නොවේ අදය.

 

ඡායාරූප - සමන්ත වීරසිරි