තැල්ල බඳින දවසේත් රැල්ලට අහුවෙන්න එපා

ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණගෙන් මංගල ඡායාරූපකරණය පිළිබඳ උපදෙස්
දෙසැම්බර් 19, 2022

 

රැල්ලට ගසාගෙන යන්නේ බරින් අඩු දේ ය. බරින් අඩු නිසා ඒවා ජලය මතුපිට පාවේ. බර ඇති දේ ඇත්තේ රැල්ලට යටිනි. එබැවින් ඒවා ලෙහෙසියෙන් රැල්ලට ගසා නොයයි. හරසුන් මිනිසුන්ද එලෙසම ය. ඔවුන් සමාජයේ එන විවිධාකාර වූ රැලිවලට හසු වේ. නමුත් ජීවිත හරයක් ඇති පුද්ගලයන් ලෙහෙසියෙන් එසේ ගසාගෙන නොයයි.

 

විවාහ මංගල උත්සවවලද විවිධ වූ රැලි ඇති වේ. කාලයක් පැවති මනාල යුවළට 'රැග් කිරීමේ' රැල්ල මේ වන විට පහව ගොස් ඇත. එහෙත් ඉන් තම ලස්සනම දවස අවලස්සන වූ පිරිස් කොතෙකුත් සිටිති.

මේ වන විට විවාහ උත්සවවල ඇති එක් රැල්ලක් වන්නේ ෆ්‍රී ෂූට් රැල්ලයි. විවාහ උත්සවයක දී ඡායාරූප ගන්නේ මංගල උත්සවයේ අවස්ථාවන් මතක සටහන් ලෙස තබා ගැනීමේ අරමුණෙනි. එහෙත් මෑතක සිට පැමිණි ෆ්‍රී ෂූට් කිරීම් මේ වන විට මංගල උත්සවයක අනිවාර්ය අංගයක් වී හමාරය.

ඇතැම් ෆ්‍රී ෂූට් නිසා තම ජීවිතය අහිමි වූ අයද, ආබාධිත වූවන් මෙන්ම තවත් නොයෙකුත් අපහසුතාවන්ට පත් වූවන් ද බොහොමයකි. එහෙත් මෙය තව තවත් ඉහළ යන රැල්ලක් වන අයුරු පෙනෙන්නට තිබෙන්නකි. ඒ පිළිබඳ අප අදහස් විමසුවේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණගෙනි.

ඇත්තටම මම නම් පෞද්ගලිකව ෆ්‍රී ෂූට්වලට කැමැති නෑ. ඒ නිසා ඡායාරූප ශිල්පියෙක් විදියට මම ෆ්‍රී ෂූට් කරන්න බාර ගන්නේ නෑ. මම ඒ වගේ එකක් කරලා තියෙන්නේ එකම එකයි. ඒකත් නෙල්ලිගල පන්සලේ කලාත්මක විදියේ ඡායාරූපකරණයක්. ගොඩක් ෆ්‍රී ෂූට්වල බලාඉන්න අපහසු ඡායාරූපත් තියෙනවා. මේක මංගල උත්සවයට එන අනෙක් පිරිසත් අපහසුතාවට පත් කරන දෙයක්.

මම ගීත ගායනා කරන්න ගිය එක් මංගල උත්සවයකදී මනාලියගේ මව ෆ්‍රී ෂූට් එක පෙන්වද්දී සාරි පොටින් මුහුණ වසා ගත්තේ ඒ දිහා බලන්න බැරි නිසා. ඇත්තටම වැඩිහිටි, ළමා හැම කෙනෙක්ම සහභාගි වෙන විවාහ මංගල උත්සවයේදී සිරුර නිරාවරණය කෙරුණ, සරාගී ඉරියව් ඇතුළත් ඡායාරූප, වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීම කොයිතරම් දුරට සුදුසුද කියලා සිතා බැලිය යුතුයි.

සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියේ විදියට තමාගේ දියණිය කන්‍යාවක්, පිරිසුදු චරිතවත් තරුණියක් විදියට මනාලයාට බාර දෙන්නේ පෝරු මස්තකානුරූඪවයි. ඒ විදියට තමයි අපේ විවාහ මංගල චාරිත්‍ර විධි සැකසිලා තියෙන්නේ. ඒ නිසා ඒවට ගැළපෙන විදියට තමයි අලුත් අලුත් අංග වුණත් එකතු කරගන්න ඕනේ. ඉතිං ඒ වගේ පසුබිමක ඉන්න අම්ම කෙනකුට තමන්ගෙ ආදරණීය දුව සරාගිනියක් විදියට ඉන්නවා දකින්න අපහසු වීම අරුමයක් නොවෙයි. අනිත් එක මේ අපේ හතර වරිගෙ නෑයින් එකතුවන අවස්ථාවක් කියන එකත් මතක තියා ගන්න ඕනේ.

ෆ්‍රී ෂූට් එකක් කරන්න ඕනෙම කියලා ආසාවක් තියෙනවා නම් සංයමයෙන් යුතුව කලාත්මක එකක් කරන්න පුළුවන්. ඇත්තටම මම නම් කසාද බඳින්න කලින් ගන්න ඡායාරූපවලට ලිප් කිස් දෙන ඡායාරූපවත් ගන්න කැමැති නෑ. සමහර ඡායාරූප ශිල්පීන් ඓතිහාසික ස්ථානවල සිරුර නිරාවරණය නොවන ඇඳුමින් සැරසුණ කලාත්මක ඡායාරූප ගන්නවා දැකලා තියෙනවා. ඇත්තටම ඒවගේ ඡායාරූප නම් ගත්තත් කමක් නැහැ. ඒත් ඉතාමත් පහත් පෙළේ ඡායාරූප තමයි අද වැඩි වශයෙන් ෆ්‍රී ෂූට්වල දකින්න ලැබෙන්නේ..

කවදා හරි මේ ඡායාරූප හෝ වීඩියෝ තමන්ගේ දරුවන්ට දකින්න ලැබෙන බවත් මේ අය මතක තියා ගන්න ඕනේ. තමන් ආදර්ශවත් විදිහට ඉන්නේ නැතිව දරුවන්ට උපදෙසක්වත් දෙන්න බෑ. ඒ නිසා කාට වුණත් බය නැතිව පෙන්වන්න පුළුවන් විදියේ ඡායාරූප ගන්නවා නම් වඩා හොඳයි.

විවාහයකින් පස්සෙ ලෝකයේ සෑම අයෙක්ම කරන දේ සාමාන්‍යයි. ඉතිං ඒක ඡායාරූපවලින් හරි වීඩියෝවකින් හරි හැමෝටම පෙන්විය යුතු නෑ. ඒක හරි අශෝභනයි.

විවාහයේ අරමුණ මතු පරපුරක් බිහි කිරීමනේ.. ඉතිං අපි මතු පරපුරට ආදර්ශයක් වෙන දේවල් තමයි කරන්න ඕනේ..

මනාලියගේ ඇඳුම් වුණත් සංවර වෙන තරමට හොඳයි. මොකද උත්තරීතර මවු පදවියට වරම් ලබන මුල් අවස්ථාව නිසා සිරුර නිරාවරණය නොවන විදිහට ඇඳුම් ඇඳීම තමයි සුදුසු. එහෙම නැතිනම් මංගල දිනයේ ම මනාලිය රාගික පුද්ගලයන්ගේ ඉලක්කයක් විය හැකියි. විවාහ මංගල උත්සවයක් සංවිධාන කිරීමේ දී නව අංග එකතු කරගත්තත් නිතරම මධ්‍යස්ථව කටයුතු කිරීම තමයි හොඳම දේ.

තවත් අය පන්සලේ විවාහ උත්සවය ගන්න සූදානම් කරනවා. ඒත් අපි බැඳීම් නැතිකර ගන්න යන තැනකට බැඳීම් ඇතිකර ගන්න යන එක සුදුසු නෑ. ආශීර්වාද ගන්න යනවා නම් මංගල ඇඳුම් නැතිව චාම් ඇඳුමකින් සැරසිලා පන්සලට යාම තමයි හොඳම දේ.

අපට අපේ රටට ආවේණික දේවල් වටිනවා. ඒ වටිනාකම දැනෙනකොට අපි ඒවා නැතිකරගෙන ඉවරයි. දේශීය වෙදකම වුණත් කොයිතරම් වටිනවද? මේ වගේ අපේ රටට ආවේණික වටිනා දේවල් රැක ගන්න එක අපේ යුතුකමක්.

විදේශිකයන් අපේ විදිහට හුරුවෙන කොට අපි අපේ හරවත් අත්හැර හරසුන් දේවලට පුරුදු වෙලා. මේ දේවල් ගැන හොඳින් හිතලා වැඩ කළොත් අපිට අනාගතයේ දී පසු තැවෙන්න වෙන්නෙ නැති බව මතක තියාගෙන වැඩ කරන්න.