2023 වසරේ මංගල වසන්තය ඇරැඹේ

ජනවාරි 9, 2023

 

වසරේ පළමු මංගල ප්‍රදර්ශනය “විවාහ” 2023 ජනවාරි 06,07,08 සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී

 

නිර්මාණාත්මක කුසලතාවය හා සංවිධානාත්මක හැකියාව එක්තැන් වූ කල බිහිවන්නේ දැවැන්ත ශක්තියකි. එවැනි ශක්තියක් කාන්තාවට උරුමකර ගැනීම අසීරු ඉලක්කයකි. එවැනි හැකියාවන්ගෙන් පිරිපුන් කාන්තාවන් අතින් බිහි වූ නිර්මාණයක් පිළිබඳ අපට අප රටේ අසන්නට ලැබෙන්නේ ද කලාතුරකිනි.

අපේ රටේ කාන්තාවන් ගැන ගිනස් වාර්තා පොතේ සටහන්ව ඇත්තේ ද ඉතාම අල්පය. නිරෝෂා ප්‍රියදර්ශනි මෙන්ඩිස් ඇයගේ නම ගිනස් වාර්තා පොතට එක් වන්නේ දැවැන්ත කටයුත්තක් නිර්මාණාත්මක ලෙසින් ලොවට ප්‍රදර්ශනය කරමිනි. The Most Brides in a bridal fashion show නමැති මනාලියන් දැක්ම ඇය සංවිධානය කරනු ලබන්නේ 2019 වසරේදී ය. ගිනස් වාර්තා පොතේ අලුත්ම පිටුවක් පෙරළමින් ලොව විශාලතම සැබෑ මනාලියන්ගේ ප්‍රදර්ශනයක් පවත්වා වාර්තාවක් තබා දැන් වසර කිහිපයකි.

රූපලාවන්‍ය කේන්ද්‍රයේ දැවැන්ත පෙරළියත් සමඟ ඇය අපට මෙවර හමුවන්නේ 14 වැනි වරටත් පවත්වන ‘විවාහ’ මංගල ප්‍රදර්ශනයෙනි. උදාවූ නව වසරේ ප්‍රථම මංගල ප්‍රදර්ශනය ලෙසින් Event Media ආයතනය සංවිධානය කරන ‘දුරුතු මහේ මහා මංගල්‍යය’ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම්ය. ජනවාරි මස 06,07,08, දින තුන පුරා උදෑසන 10.00 සිට රාත්‍රී 08.00 දක්වා පවත්වන මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය හා ඇතුළත් අංග පිළිබඳ නිරෝෂා මහත්මිය අපට සඳහන් කළේ ප්‍රදර්ශන භූමිය සකස් කරන මොහොතකදී ලැබූ පුංචි විරාමයකදීය.

“අපි මේ ප්‍රදර්ශනය පවත්වන්නේ 14 වැනි වරටයි. අපේ මුල්ම ප්‍රදර්ශනය 2009 වසරේදී ආරම්භ කළේ මුල්ම රූපලාවන‍ය ප්‍රදර්ශනය ලෙස වාර්තාවක් තබමින්.

මේ වසරේ ‘විවාහ‘ උත්සවයක් පැවැත්වීමේදී ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය අඩුකර ගැනීම ගැන සෑම මනාල යුවළකටම සිතන්න වෙනවා. ප්‍රදර්ශන කුටි 100ක් පමණ පවතින මේ ප්‍රදර්ශනයේදී මංගල ඡායාරූප, හෝටල්, රුපලාවන‍ය ශිල්පීන්, මංගල සැරසිලි, ආභරණ, සංස්කෘතික අංග යන සියල්ලම මේ ප්‍රදර්ශනයේදී ඔවුන්ගේ අංගයන් හා පැකේජයන් ඉදිරිපත් කරන්නේ විශේෂ සහනදායි මිල ගණන්වලට අනුකුලවයි. මේ ප්‍රදර්ශනය තුළින් අපේක්ෂා කරන්නේ කඩා වැඩුණු රූපලාවන‍ය ක්ෂේත්‍රයට නව ජීවයක් එකතු කිරීමයි. හුඟ දෙනෙක් මේ වගේ අභියෝගයක් භාර ගන්න බයයි. නමුත් මම කාන්තාවක් ලෙස අපගේ ආයතනයේ සභාපතිනිය ලෙස විශාල පිරිසක් වෙනුවෙන් අත දෙන්න ඉදිරිපත් වුණේ සැමටම ආදර්ශයක් ලබා දෙන්න. මේ කටයුත්තේදී මා සමග අපගේ ආයතනයේ අධ්‍යක්ෂ සම්පත් ප්‍රියන්ත මහතා විශාල සහයෝගයක් ලබා දෙනවා.”