වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඕනම ගැඹුරු ළිඳක් මට තාමත් ඔට්ටුයි
පුංචිම පුංචි කාලේ කියවූ සුරංගනා කතාවල එන සිහින කුමර කුමරියන් නොවී සැබෑ ලොවේ තතු නියමාකාරයෙන් අවබෝධ කරගත් කාන්තාවන් වීමට අපට හැකිනම්, අපේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා නොඅනුමානයි. වර්තමාන කාන්තාව ගෘහණියක් බිරියක් , මවක් ලෙස තමාගෙන් ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්නීය. ඒ අතරම තමාගේ හැකියාවන්ගෙන් රැකියාවක් සොයා ගනිමින් එයින් මුදල් උපයනා ඇය දිරිය කාන්තාවකි. මෙලෙස තමන්ගේ හැකියාවන්ගෙන් ලබාගන්නාවූ ප්‍රයෝජන දකින්නා වූ තවත් කාන්තාවන් එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් තව තවත් දිරිය කාන්තාවන් අපේ රටට නිර්මාණය වනවා නොවනු මානයි. විරැකියාව නිසා විදේශගතවන කාන්තාවන්ට ද මේ කතාව මහත් වූ ආදර්ශයක් වේවි.
සිහින කුමාරියක් නොවී මේ මහපොළවේ පයගසා ජීවත්වීමට හැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය ගැහැනියක පාදුක්ක ගලගෙදර ප්‍රදේශයෙන් අපට හමුවිය.
" මගේ නම මාලනී හෙට්ටිආරච්චි. දිද්දෙණියේ ඉපදුණු මම විවාහ වෙලා පදිංචියට ආවේ පාදුක්ක ගලගෙදරට. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගේ ජීවනෝපාය තමයි ළිං ඉසීම.
මම මේක පටන් ගත්තේ මුලින්ම රස්සාවකට කියලා නෙවෙයි. පුතාලා පුංචි කාලේ නාවන්න කියලා පුංචි පොම්පයක් ගෙනල්ලා තිබුණා. අපි පුතාලා නෑවුවේ ඒ පොම්පෙන්. පස්සේ අහළ පහළ ගෙවල්වල ළිංවලට සත්තු වැටුණහම එයාලා කිව්වා ඔයාට අර පුතාලා නාවන පොම්පයක් තියෙනවා නේද අපේ ළිඳේ වතුර අපිරිසුදු වෙලා පුළුවන්නම් ළිඳ ඉහලා දෙනවද කියලා. පස්සෙ මම පොම්පෙ දාලා වතුර අස්කරලා ළිඳ ඉහලා දුන්න. 1996 /97 කාලය තමයි මම ජීවිතයේ ගොඩක් අසරණ වෙලා හිටියේ. ඒ මැයි මාසේ දවසක තමයි ගොඩක්ම ජීවිතය ඒ විදිහට වැටුණේ. කඩාගෙන වැටුණට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ගියා. කරන්න කියලා දෙයක් තිබුණෙත් නැහැ. කල්පනා කරලා කරන්න තියෙන එකම දේ මේ රැකියාව පටන්ගත්තා.
දවසක් අඩි පහළොවක වගේ ළිඳක අයිති අයියා කෙනෙක් "අනේ අපේ ළිඳට මොකෙක්ද වැටිලා ඉහල දෙන්න පුළුවන්ද "කියලා ඇහුවම මම නොපැකිලිව හා කියලා ගියා. ගියාට පස්සේ ළිඳට බහින්න කෙනෙක් නැහැ. ඊට පස්සේ මම කිව්වා මම බැහැලා සුද්ද කරන්නම් කියලා. කටුස්සෙක් තමයි වැටිලා මැරිලා හිටියේ. එයාලට පස් ටික උඩට ඇදලා ගන්න කියලා ළිඳට බැහැලා මම සුද්ද කරල දුන්නා. ඊට පස්සේ සතිය වෙනකොට තව ගෙවල් දෙක තුනකට එහා ගෙදරක කෙනෙක් කතා කළා. මගේ පොම්පේ එදා අඩි 25ක් විතරයි වතුර අදින්න පුළුවන්. ඒ ළිඳ අඩි 27ක් ගැඹුරයි. මේ ළිඳේ වතුර අදින්න ඕනෙ. ඒත් කොහොමහරි මොළේ කල්පනා කරලා අඩි 25ක් අදින්න පුළුවන් මෝටරෙන් අපි අඩි 27ම ඇද්දා. අඩි 25ක් තියෙන පොම්පයෙන් මීට වඩා අදින්න බැහැ කියලා එදා මට හිතුණා. ඊළඟට මම කළේ පරණ බඩු විකුණන තැනක් හොයලා එතැනින් අඩි 60ක් ජලය අදින්න පුළුවන් පොම්පයක් ගත්තු එඑක ඒකෙන් වැඩ කරලා තමයි මම ලොකු ගමනක් ගියේ.
"මම තරුණ කාලෙදි ගමේ බයිසිකල් රේස් එහෙම පැදලා තිබුණා. අවුරුදු උත්සව, බස්නාහිර පළාත් රේස් වගේ ඒවායින් මට ජයග්‍රහණ ලැබුණා. ඊට පස්සේ ඒ ධෛර්ය නිසා තමයි මේ ළිං ඉහින දේ කරන්න පටන් ගත්තේ. මේකෙන් ගොඩක් කුසල් රැස් වෙනවා. බොන්න වතුර නැති කෙනකුට වතුර හදලා දෙන එක ගොඩක්ම හොඳයි කියල හිතුණා. මගේ රේස් පැද්ද බයිසිකලයට ලැගේජ් සවි කරලා ඒකෙ මෝටරයක් බැඳගෙන තමයි ගිහින් වැඩ කළේ. අහල පහල ගෙවල්වලට නම් අතින් මෝටරේ උස්සගෙන ගිහිල්ලා තමයි වැඩ කළා. ඊට පස්සේ කිලෝමීටර් දෙක තුන යනකොට ෆුට් සයිකලේ බඩු බැඳගෙන ගිහිල්ලා තමයි වැඩ කළේ. ෆෝන් නම්බර් එකක් දුන්නොත් වැඩියෙන් වැඩ කරන්න පුළුවන් කියලා හිතුවා. ඊට පස්සේ දුරකථනයක් පාවිච්චි කරන්න ගත්තා. ගොඩක් වෙලාවට වැඩ එන්නේ සත්තු වැටුණාම. සමහර වෙලාවට පණපිටින් ඉන්න සත්තු ගොඩදාලා වගේම තවත් සමහර වෙලාවට මැරුණු සත්තුන් ගොඩදාලා දෙන්න වෙනවා.
සමහර කාලවලට ළිං පහ ,හය ,හත වගේ ඉසින දවස් තියෙනවා. පසුගිය කාලේ එක දවසට ළිං තිහක් ඉහපූ දවස් තිබුණා. අපි කණ්ඩායම් දෙක තුනක් එකතු වෙලා ළිං 30ක් එහෙම ඉහපු වෙලාවල් තියෙනවා.
මගෙ පොඩි පුතා එයා දැන් කොන්ක්‍රීට් වැඩපලක් කරනවා. මම එයාට කොන්ක්‍රීට් වැඩපොලක් දමාගන්න උදවු කළා. එයා ඒක කරගෙන යනවා. එයාගෙ අධ්‍යාපන සුදුසුකම් අනුව රස්සාවකට යැව්වා නම් මට බැරි වෙන කාලෙක මේවා අත ඇරිලාම යනවා. මම එයාව රස්සාවකට අරින්නේ නැතිව තියාගත්තා.
මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද මම හිටිය තැන ඉඳලා ගොඩක් දුර ඇවිල්ල කියල දැනෙනවා. හැබැයි ලොකු කැපවීමක් කරලා තමයි මම මේ තැනට ආවේ. දැන්නම් ඉතින් යායුතු දුර ගොඩක් ඇවිල්ලා. ඊළඟට තියෙන්නේ වෙනස් විදිහේ ලොකු අරමුණු ගොඩක් විතරයි. දියුණුව අරවා මේවා ඕනෙ තරම් ඇති ආව දුර. මොකද අපි තව ටික කාලයයි ජීවත් වෙන්නේ. ඉතින් ඇති කියලත් හිතෙනවා.
දැන් දහමට නැඹුරු වෙලා යා යුතු ගමනක් තියෙන්නේ. මගේ කෙනෙක් හරියටම මේ වැඩේ කරගෙන යනවා නම් මේක අතහැරලා දහමට යනවා කියලා තමයි අරමුණු කරගෙන ඉන්නේ.
අභියෝග ජය ගන්න නම් අපි උත්සාහ වන්ත වෙන්න ඕනෙ. හැම කෙනාම කරන දේ දිහා බලාගෙන හරි කමක් නැහැ පස්සට යන්නේ නැතිව ඉස්සරහටම යන එක තමයි මගේ අරමුණ. ඉතින් මම කාන්තාවක් විදියට කාන්තාවන්ට දෙන්න පුළුවන් ආදර්ශය නම් කාන්තාවක් කියලා බැහැයි කියලා කිසිදෙයක් නැහැ. මමත් ගොඩක් අසරණ වෙච්ච වෙලාවක තමයි මේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න පටන් ගත්තේ. ඒ නිසා මම හිතනවා හැම අවස්ථාවකම අපේ උත්සාහය තමයි තියෙන්න ඕනෙ.“
මාලිනී සමඟ මේ බාරදුර රාජකාරිය සඳහා සහය වෙන්නෙ ඇයගේ ඥාති දියණියකි. ඇය සමඟත් දොඩමළු වීමට අප අමතක කළේ නැහැ.
"මගේ නම කුමාරගේ ධම්මිකා. ගම දිද්දෙනිය. මේ ඉන්නේ මගේ පුංචි අම්මා.
‘අපි සාමාන්‍ය මිනිස්සු. ඉතින් මුල දි රබර් කිරි කැපුවා. ටික කාලෙකින් ඒ කියන්නේ 2011 වර්ෂයේදී වගේ මම මැදපෙරදිග රැකියාවකට ගියා. ගෘහ සේවයට. ඒවගේ තුන් වතාවක් විදේශගත වුණා. 4වැනි වතාවේ මං රට යන්න කියලා හිතාගෙන පුංචි අම්මා ළඟට ආවා. පස්සේ පුංචි අම්මා කිව්වා රට යනවට වඩා හොඳයි මේ වගේ රැකියාවක් කරන්න මම උදවු කරන්නම් කියල. ඉතින් දැන් මේ රැකියාව කරගෙන යනවා. දැන් නිදහසේ රැකියාව කරගෙන යනවා. රට ගියානම් නිදාගන්න නැහැ, කන්න නැහැ ඒ වගේ ගොඩක් ප්‍රශ්න. ප්‍රශ්න නැතිව පුංචි අම්මත් එක්ක සතුටින් රැකියාව කරගෙන යනවා මම දැන්. ගැඹුරු ළිං තමයි වැඩියෙන්ම අපි ඉහලා තියෙන්නේ. වැඩි හරියක් ළිං ඉහිද්දි තලගොයි කබරයො නාගයෝ වගේ සර්පයන් තමයි වැටිලා ඉන්නේ ළිඳට. පුංචි අම්මා බය නැතුව ළිඳට බැහැලා මේ දේවල් කරගෙන යන නිසා මටත් බයක් දැනුණේ නැහැ. මටත් ඕනෙම ළිඳක ට දැන් බහින්න පුළුවනි.
අපේ කාන්තාවන්ට කියන්න තියෙන්නේ රට යන්නම ඕනෙ නෑ ජීවත්වෙන්න. අපිට ඔළුව තියෙනවා නම් හැකියාවට රැකියාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳ රැකියාවක් කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාටවත් අත නොපා. මම රට ගිහින් හම්බ කළාට වඩා දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා.මගේ දවසේ වියදම මම මමම හොයාගන්නවා."
සටහන හා ඡායාරූප - ගොඩගම සමුහ
ප්‍රියංගි ජයසිංහ.