මැති සබයට ගිය පළමු කාන්තාව ඇඩ්ලින් මොලමුරේ

මැයි 1, 2023

 

ඇඩ්ලින් මොලමුරේ මැතිණිය මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු කාන්තා නියෝජනයයි. ඇය ප්‍රථම කථානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරියයි. එවක මන්ත්‍රීවරයකුව සිටි හෙන්රි ජෝන් මීදෙණිය අදිකාරම්ගේ දියණියයි. ඇය දේශපාලනයට අවතීර්ණ වන්නේ ඇගේ පියාගේ හදිසි අභාවය හේතුවෙනි.

 

රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ඇය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අතුරු මැතිවරණයට සහභාගී වූ පළමු හා එකම කාන්තාව වූවාය. මේ මැතිවරණය, ප්‍රථම වතාවට ලංකාවේ පැවැති අතුරු මැතිවරණය, මන්ත්‍රී අසුනක් සඳහා කාන්තාවක් නියෝජනය කිරීම, රුවන්වැල්ල ජනතාව සර්වජන ජන්ද බලය පාවිච්චි කිරීම, වියෝ වූ තම පියාගේ ආසනය සඳහා දියණියක් නාම යෝජනා භාර දීම, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ධූරය දැරූ පුද්ගලයාගේ බිරිය වීම යන සුවිශේෂි කරුණු නිසාත් වැදගත් වෙයි.

ඇඩ්ලින් මොලමුරේ මැතිණිය දේශපාලනයට අවතීර්ණ වනවිට ඇය මෙරට පළමු කතානායක වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ සමඟ විවාහ වී සිටියාය. ඇගේ වැඩිමහල් සහෝදරිය ඇලිස් විජේවර්ධනයි. ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධන ඇගේ සැමියාය. ජෝසප් හර්කියුලස් මීදෙණිය ඇයගේ එකම සොහොයුරායි. ඔහු වයලට් එල්ලාවල සමඟ විවාහ විය. මෙරට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජෝන් හෙන්රි මීදෙණියගේ මී මුනුපුරාය. එම නෑකමට අනුව අග්‍රගණ්‍ය රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය (විවාහයට පෙර ඈ හැඳින්වූයේ අයිරාංගනී මීදෙණිය ලෙසිනි) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නැන්දණියයි.

1931 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී ඉදිරිපත් වූ අපේක්ෂකයින් 09 න් එක් අයෙක් වූයේ ඇඩ්ලින් මොලමුරේ මැතිණියගේ පියා වූ ජෝන් හෙන්රි මීදෙණිය අදිකාරම්තුමාය. රුවන්වැල්ල ආසනය සඳහා නිතරගයෙන් තේරී පත් වූ ඇඩ්ලින්ගේ පියා හෙවත් මීදෙණිය අදිකාරම් තුමාට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඩී.එස් සේනානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සාමාජිකත්වය ද හිමිව තිබිණ. එහෙත් ඔහුට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කරන්නට හැකි වූයේ මාස හතරකුත් එක් දිනයක් පමණි. ඔහුගේ මරණයෙන් පසු පැවැති අතුරු මැතිවරණයට ඉදිරිපත් වන්නට ඇඩ්ලින් මොලමුරේ කටයුතු කරන්නේ ඉන්පසුවයි. ඒ මැතිවරණයට ඇඩ්ලින් ඉදිරිපත් වනවිට ඇය මොලමුරේ මීදෙණිය අදිකාරම්ගේ දියණිය සේම එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති වූ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ බිරිය වශයෙන් ද සමාජය තුළ කැපී පෙනෙන චරිතයක් වූවාය. පියාගේ හිතමිතුරන්, පවුලේ ඥාතීන් සහ කාන්තා සමිති සංගම් හී ඉල්ලීම් හේතුවෙන් පියාගෙන් හිස් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පුටුවට තරග කරන්නට ඇය තීරණය කළාය.

ඒ අනුව 1931 ඔක්තෝම්බර් 06 වැනිදා රුවන්වැල්ල ආසනයේ අතුරු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සිදුකෙරුණි. මේ සඳහා නාමයෝජනා 04 ක් ඉදිරිපත් විය. ඒ.ඇස්. මොලමුරේ කුමාරිහාමි, ආර්. ඇස්. ඇස් ගුණවර්ධන, ඇලන් වී.සේනානායක, ඊ. වී. ආර් ද සිල්වා යන අය මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ අයයි. මේ කාලයේ දේශපාලන පක්ෂ නොතිබූ නිසා ජන්දය ලබා දීම සඳහා ඒ ඒ අපේක්ෂකයින්ට වර්ණයක් ලබා දී තිබුණි. ඇඩ්ලින් මොලමුරේට හිමි වර්ණය වූයේ සුදු වර්ණයයි. මෙම අතුරු මැතිවරණය 1931 නොවැම්බර් 14 වැනිදා පැවැති අතර ප්‍රතිඵල 16 වැනි දින කෑගල්ල නගර ශාලාවේදී ප්‍රකාශ කරන ලදී. එහි මුළු ජන්දදායක සංඛ්‍යාව 31562 ක් වූ අතර මොලමුරේ මැතිණිය ජන්ද 13866 ක් ලබා ජයග්‍රහණය කළාය. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අතුරු මැතිවරණයට සහභාගි වුණු පළමුවැනි සහ එකම කාන්තාව ලෙස ඇඩ්ලින් මොලමුරේ මැතිණිය මෙම මැතිවරණයෙන් ඉහළ ජයග්‍රණයක් හිමි කරගත්තා පමණක් නොව රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් ද තැබුවාය.

ඇඩ්ලින් මොලමුරේ මැතිණියගේ සැමියා වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මැතිතුමා ලංකා ජාතික සංගමයේ ප්‍රබල සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරමින් දේශපාලනයට අවතීර්ණ වු අයෙකි. 1931 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට දැදිගම ආසනයෙන් තේරීපත් වී මෙරට ව්‍යස්ථාදායක සභාවේ පළමු කතානායක බවටත් 1947 පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණයට බලංගොඩ ආසනයෙන් තරග වැදී වැඩි ජන්දයෙන් මැතිසබයට පත්ව එම පාර්ලිමේන්තුවේ කතානායක ධූරයටත් පත්වෙමින් මෙරට ප්‍රථම කතානායක ලෙස ලාංකේය දේශපාලනය තුළ සිය නම සනිටුහන් කළේය.

මොවුන් දෙදෙනාගේ එකම දියණිය වුයේ සීතා මොලමුරේ මහත්මියයි. ඇය 1967 දී සෙනෙට් සභාවට තේරී පත්වූවාය. 1961 වසරේ දී සිය මව සෙනෙට් සභාවෙන් ඉවත්ව සිටියත් මවක් හා දුවක් සෙනෙට් සභාව නියෝජනය කළ පළමු අවස්ථාව ලෙස මෙම අවස්ථාව හඳුන්වා දීමට පුළුවන.

1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ හඳුන්වා දුන් උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත් වූ ප්‍රථම කාන්තාව වශයෙන් ද ඇඩ්ලින් මොලමුරේ මැතිණිය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත. ඇය උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියක් ලෙසත් උප සභාපති ලෙසත් කටයුතු කළාය. දේශපාලන පවුල් පසුබිමකින් දේශපාලනයට අවතීර්ණ වුවත් කාන්තාවක් වශයෙන් දේශපාලනයේ නිරත වීම ඇඩ්ලින් මොලමුරේට ද එතරම් පහසු එකක් නොවන්නට ඇත. එසේ වුවත් කාන්තාවක් වශයෙන් එකල සමාජය තුළ මුහුණ දෙන්නට සිදුවූ සමාජ, ආර්ථික, දේශපාලන අභියෝගයන් සාර්ථකව ජය ගනිමින් ඇය දේශපාලනයේ නිරත වූ අයුරු අපූරුය. ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනයට දොරටු විවර කළේ ඇයයි. ඒ නිසාම ඇය කාන්තා දේශපාලනය වෙනුවෙන් කළ කාර්යය ඉතා විශිෂ්ටය.