රන් පදක්කම් දෙකක් දිනූ ගයන්තිකා අබේරත්න ලෝක ශූරතාවලිය අබියස

මැයි 15, 2023

නැවතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටිය වර්ණවත් වෙමින් තිබේ. නැවුම් බලාපොරොත්තු හා අපේක්ෂා දහසක් මැද අපේ පුංචි මවුබිමට ඔලිම්පික් පදක්කමක් හිමිකර ගැනීමේ බලාපොරොත්තුව මෝදු වෙමින් ඇත්තේ ක්‍රීඩා පිටියට නව ජවයක් එක්වෙමිනි. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නයි. ඇය ජපානයේ ඔසාකා නුවරදී පැවැත්වෙන ‘සී’ කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේ විනාඩි 2:04:26ක කාලයකිනි.

 

එයට අමතරව ඔසාකාවලදී පැවති මෙම ‘සී’ කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියේදීම ඇයට තවත් රන් පදක්කමක් ලබා ගැනීමට හැකි වූයේ වාර්තාවක් ද තබමිනි.

 

ලෝක මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ලකුණු රැස්කර ගැනීමේ තරගාවලියක් ලෙසින් පැවති මේ තරගමාලාවේදී ඇය දැක්වූ දස්කම් ඉදිරියේදී පැවැත්වෙන ආසියානු තරගාවලිය සඳහා බෙහෙවින්ම වැදගත් වේ. ඉතාම සාර්ථක තරගාවලියක් නිමකරමින් ඇය පසුගියදා දිවයිනට පැමිණි අතර, ඇය සමඟ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙදෙනකු ද සහභාගි වූහ. ඒ මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන හා මීටර් 3000 කාන්තා බාධක දිවීමේ තරගයට එක්වූ නිලානි රත්නායකයි. මෙහිදී අරුණ දර්ශන මීටර් 400 ධාවන ඉසව්වේ තම පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තාව අලුත් කිරීමට සමත් වූයේ තත්පර 45.49ක කාලයක් වාර්තා කරමිනි. මෙහිදී ඔහුට රිදී පදක්කමින් සෑහීමට පත්වීමට සිදු වූයේ තියුණු තරගයක් ලබා දෙමිනි. කෙසේ නමුත් ජපානයේ පසුගියදා පැවැති ශුසෝකා මලල ක්‍රීඩා තරගයේදී මීටර් 400 සහභාගි වූ ඔහුට එය නිම කිරීමට හැකි වී තිබුණේ තත්පර 45.59 වාර්තා කරමිනි. මෙහිදී මීටර් 3000 බාධක දිවීමේ තරගයට එක්වූ නිලානී රත්නායක තම තරගය නිම කිරීම සඳහා විනාඩි 10:02:90ක කාලයක් ගත වී තිබූ අතර එහිදී ඇයට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.

 

මේ තරගයට සහභාගි වූ තරගකරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු සජිත් ජයලත් මහතා ඇතුළු කණ්ඩායම තරගාවලිය පිළිබඳ සුබවාදී අදහස් පළ කළ අතර, සජිත් ජයලත් මහතා තරගය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

 

‘ඇත්තටම මේ තරගයට කාලගුණය නිසා විශාල බලපෑමක් සිදු වුණා. දැඩි වර්ෂාව නිසා අපේ කණ්ඩායමට තමුන්ගේ දක්ෂතාවය 100%ක් පෙන්වීමේ හැකියාව ලැබුණේ නැහැ. නමුත් ගයන්තිකා ඇය ඉතාම සාර්ථක ලෙසින් තරග දෙකම ජයග්‍රහණය කළා. මේ ලැබූ ජයග්‍රහණයෙන් ඇයට ලෝක මලල ක්‍රීඩා තරගයට සහභාගිවීමට හොඳ ලකුණු සංඛ්‍යාවක් හිමි වෙනවා.

 

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියට ඇය මේ ලැබූ ජයග්‍රහණය විශාල ශක්තියක්. සාමාන්‍යයෙන් ලෝක ශූරතා තරගාවලියට පෙර මෙවැනි තරග 5-6ක් පමණ පැවැත්වෙනවා. ‘සී’ කාණ්ඩය යටතේ අපේ කණ්ඩායම නියෝජනය කළ තිදෙනාම ඔවුන්ගේ උපරිම දක්ෂතාවය පෙන්නුම් කළා.

 

ඇත්තටම ගයන්තිකා පිළිබඳ අපට ඉදිරියේදී හොඳ බලාපොරොත්තුවක් තබන්න පුළුවන්. ඇය දැනට නාවුක හමුදාව නියෝජනය කරමින් තරග කරන ක්‍රීඩිකාවක්. තව මාස කිහිපයකින් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරගයේදී ඇය අනිවාර්යයෙන්ම පදක්කමක් හිමිකර ගනීවි. ඒ වගේම ලබන වසරේදී පැවැත්වෙන ඔලිම්පික් තරගය පිළිබඳ බලාපොරොත්තු තබන්නත් පුළුවන්.

ගයන්තිකා ආටිගල තුෂාරි අබේරත්න සූරියවැව ජාතික පාසලෙන් බිහි වූ ක්‍රීඩිකාවකි. වයස අවුරුදු 36ක් වන ඇය නාවුක හමුදාව නියෝජනය කරමින් මීටර් 800 සහ 1500 තරගය සඳහා සහභාගි වෙයි. මැද දුර ශූරියක ලෙස ඇය 2017 වසරේදී ආසියානු ගෘහස්ථ හා සටන් කලා ක්‍රීඩා උලෙ‍ෙළ්දී රන් පදක්කම ද, රිදී පදක්කමක් ද දිනා ගත්තාය. මීටර් 800 ජාතික වාර්තාවට හිමිකම් කියන ගයන්තිකා මීටර් 5000 සහ 1500 වාර්තාවට හිමිකම් කියයි.

 

ගුරුතලාවේ ශාන්ත තෝමස් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතු සිදු කරන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තාක්ෂණික අතින් හොඳ පුහුණුවක් ලැබුවත් ඔවුන්ගේ ශාරීරික හා කායික පෝෂණය සඳහා ලැබෙන පෝෂණය ප්‍රමාණවත් නොවන බව සංජිත් ජයලත් මහතා සඳහන් කරයි. අනාගතයේදී ජාත්‍යන්තර තරග සඳහා අප රට නියෝජනය කරමින් සහභාගි වන මෙවැනි දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වීම පිළිබඳ ඔහු දැඩි ලෙස අවධාරණය කළ අතර, ඔවුන්ට ඒ සඳහා ගුණදායක හා පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බව ද සඳහන් කළේ ඔසාකාහිදී තරගගගය පැවැත්වෙන අතරය.