වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හද්දා පිටිසරෙන් සෞඛ්‍ය ඇමැති ධුරය දක්වා පැමිණි රේණුකා හේරත්
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්යවන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදී. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක හත්වැන්නයි මේ.
ලොව ප්‍රථම අගමැතිනිය අප රටෙන් බිහිවූවත් සමස්තයක් ලෙස ගත් විට මෙරට දේශපාලනය තුළ තවමත් කාන්තා නියෝජනය පවතින්නේ ඉතාම සුළු වශයෙනි. ඒ සුළු කාන්තා නියෝජනය තුළ කැපී පෙනෙන කාන්තා දේශපාලන චරිතයක් ලෙස රේණුකා හේරත් මහත්මිය හඳුන්වා දීමට පුළුවන. එක්සත් ජාතික පක්ෂ දේශපාලන කරළියේ අමරණීය මතක රැසක හිමිකාරිනිය වූ රේණුකා හේරත් මහත්මිය මෙරට දේශපාලන පොරපිටියේ පෙරළිකාර චරිතයක් ද වූවාය. ඇය එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව නියෝජනය කළාය. ඒ කාලය තුළ මන්ත්‍රීවරියක්, දිසා ඇමැතිවරියක් සහ සෞඛ්‍ය හා වනිතා කටයුතු පිළිබඳ කැබිනට් ඇමැතිවරිය ලෙසින් ද ඇය කටයුතු කළාය.
සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ උපන් ඇගේ සම්පූර්ණ නම වූයේ දුනුතිලක මුදියන්සේලාගේ රේණුකා මැණිකේ හේරත්ය. ඇගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකු වූ ඩී.බී.එම්. හේරත් මහතාය. මව සෝමාවතී මුතුමැණිකේ මහත්මියයි. සහෝදර සහෝදරියන් සිවුදෙනෙකුගෙන් යුතු පවුලේ ඇය තුන්වැන්නාය. පියා ඉගැන්වූ පදියපැලැල්ලේ කනිෂ්ඨ විදුහලෙන් සහ පදියපැලැල්ලේ මහ විදුහලෙන් මූලික අධ්‍යාපන හදාරන රේණුකා හේරත් මහත්මිය පසුව උසස්පෙළ සඳහා පොරමඬුල්ල මධ්‍ය මහා විදුහල තෝරා ගත්තාය. කුඩා කල සිටම ඇගේ බලාපොරොත්තුව වූයේ ගුරුවරියක් වී පාසල් ළමුන්ට ඉගැන්වීමයි. ඒ අනුව ඇය සිය අධ්‍යාපන කටයුතු අහවරව ඉංග්‍රීසි ගුරුවරියක්ව ගුරු ජීවිතය ආරම්භ කළාය.
බාහිර උපාධියකට හිමිකම් කියන රේණුකා හේරත් මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස ක්‍රියාකාරී දේශපාලනයට එක්ව සිටියේ ගුරුවරියකව සිටි යුගයේ සිටමය. මේ නිසා 1970 සිට 1974 වසර දක්වා ඇයව පාසල් 13කට මාරු කරනු ලැබීය. සමාජ සේවයට ඇය තුළ තිබූ කැමැත්ත විනා ඇය දේශපාලනයට පිවිසෙන්නේ පාරම්පරික පිය උරුමයෙන් හෝ දේශපාලනයට ඇති ඥාතීත්වයක් පදනම් කරගෙන නොවේ. කොතෙකුත් දේශපාලන පළිගැනීම්, පාසල් ස්ථාන මාරුවීම් ලැබුණ ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ එ.ජා.ප. කාන්තා සංවිධාන පිහිටුවීමටත් ඉන්පසුව වලපනේ ජාතික ගුරු සංගමය ද පිහිටුවා එහි ලේකම් වශයෙන් කටයුතු කිරීමටත් ඇයට හැකියාව ලැබුණේ ඈ තුළ තිබූ අප්‍රමාණ වූ ධෛර්යයත් සමාජ සේවයට ඇති කැමැත්තත් නිසාය.
දේශපාලන පළිගැනීම් වශයෙන් ඇයට ස්ථාන මාරුවීම් ලැබුණ ද ඇය ඒ කිසිදු අවස්ථාවක පාසල් දරුවන්ගෙන් පළිනොගත්තාය. ඇය වරෙක මෙම දේශපාලන පළිගැනීම්වලට එරෙහිව කවදා හෝ දිනෙක එ.ජා.ප. ආණ්ඩුවක් එනතුරු පාසලට සුදු සාරියෙන් සැරසී යාමට තීරණය කළාය. 1977 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇය පාර්ලිමේන්තු පැමිණෙන තෙක්ම පාසල් ගියේ සුදු සාරියෙන්ය. මේ නිසා එකල පාසල් ළමුන් ඇයව ආමන්ත්‍රණය කළේ “සුදු ටීචර්” යනුවෙනි.
රේණුකා හේරත් මහත්මියට වලපනේ ආසන සංවිධායකකම ලබාදීමේදී එවකට එ.ජා.පක්ෂයේ නායක ජේ.ආර්.ජයවර්ධන මහතා ඇගෙන් ප්‍රශ්න තුනක් ඇසුවේය. “රේණුකා ඔබ දැන් ගුරුවරියක් නේද”? “ඔව් සර්” යනුවෙන් රේණුකා ඊට පිළිතුරු දුන්නාය. “එතකොට ඔයා කැමති ද දේශපාලනය කරන්න” පෙරළා නායකතුමා ඇගෙන් ප්‍රශ්න කළාය. එවිට ඇය උත්තර දුන්නේ “ඔව් සර් මගෙන් ජනතාව ඉල්ලීම් කරනවා අවස්ථාවක් ලැබුණොත් කරනවා” යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. නැවතත් නායකතුමා ඇගෙන් මෙසේ විමසීය. “හේරත් මහත්තයාගේ හැටි ඔයා දන්නවානේ. හේරත් මහත්තයා ඔයාට ගැහුවොත්” හේරත් මහතා එකල වලපනේ ශ්‍රී.ල.නි.ප. සංවිධායක විය “මට නිකන් ගහන්න ආවොත් මාත් ගහනවා සර්” ලෙසින් ඇය ඊට පිළිතුරු දුන් විට නායකතුමා නැවතත් “නුවරඑළියේ කඳුකර ප්‍රදේශයක් බැවින් කඳු නැඟීමට හැකි දැයි” ඇයගෙන් විමසා සිටියාය. ඇය හැකි යැයි පිළිතුරු දුන් විට “ඔබ ඡන්දෙන් පැරදුණොත්? ” යනුවෙන් නැවතත් ප්‍රශ්න කළේය. ඒ අවස්ථාවේ ඇය පිළිතුරු දුන්නේ “සර් මට නැවත උගන්වන්න යන්න පුළුවන් නේ දැයි” විමසමිනි. මේ කතාබහෙන් දින තුනකට පසුව නායක ජේ.ආර්. ජයවර්ධන මහතා වලපනේ ආසන සංවිධායකකම ඇයට පවරන ලදී.
වලපනේ ආසන සංවිධායකකම භාරගත් ඇයට නුවරඑළියේ ප්‍රථම මහජන රැස්වීම ද විශාල අභියෝගයක් වූවාය. එ.ජා.පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ රැස්වීමේ කතාවක් කරන ලෙස නායකතුමා විසින් ඇයට පෙර දැනුම්දීමකින් තොරව ඒ අවස්ථාවේදී කරන ඉල්ලීමට අනුව ඇය කතා කිරීමට වේදිකාවට ගිය ද ඒ අවස්ථාවේදී හූ හඬක් සමඟ රේණුකා අපිට එපා යනුවෙන් විශාල හඬක් නඟමින් පැමිණ සිටි පිරිස විරෝධය පළ කරන්නට විය. නමුත් ඇයට දිගටම කතාව කරගෙන යන ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ඒ අවස්ථාවේ ඇයව දිරිමත් කළ බව පසු කලෙක ඇය විසින් සිදුකළ පුවත්පත් ලිපියක සඳහන්ය. ඇය එම හූ හඬ නොතකා වලපනේ ආසනය ජයග්රහණයකර පෙන්වන බවට එහිදී සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශ කරමින් විනාඩි 15ක පමණ කතාවක් කළාය. කතාව අවසානේ ඇගේ පිටට තට්ටුවක් දමමින් වෙරිගුඩ් රේණුකා යනුවෙන් නායකතුමා ඇයට ප්‍රශංසා කළේය.
1977 මහ මැතිවරණයෙන් එ.ජා.පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් අතර එ.ජා.ප. නායක ජේ.ආර්. ජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. වලපනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වශයෙන් තේරී පත්වූ රේණුකා හේරත් රටේ ඇතිවූ ආර්ථික, සමාජ, දේශපාලන වෙනස්කම් තුළින් මධ්‍යම කඳුකරයේ ජන ජීවිතය නඟාසිටුවීමට ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති රැසකට මූලිකත්වය දී අවශ්‍ය මඟපෙන්වීම සිදු කළාය. වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙණිගල වැනි ජලාශ ඉදිකිරීම, මහවැලි සංවර්ධන වැඩසටහන කඩිනම් කිරීම වැනි කටයුතුවලදී සිය සහයෝගය ලබා දෙමින් වලපනේ, හඟුරන්කෙත මැතිවරණ කොට්ඨාසවල දැවැන්ත සංවර්ධනයක් ඇති කිරීමට ඇය කටයුතු කළාය. මේ මැතිවරණ ජයග්‍රහණය සඳහා ඇගේ සුවිශේෂී කැපවීම අගය කරමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඇයව ශ්‍රී ලංකාවේ ප්‍රථම දිසා ඇමැතිවරිය වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට පත් කළේය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති පාලන සමයේ නියෝජ්‍ය සංස්කෘතික ඇමැති ධුරයට ද ඇය පත් වූවාය. රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙසත් ඇය විශාල කාර්යභාරයක් ඉටු කළාය.
1989 සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරිය වශයෙන් අමාත්‍ය මණ්ඩලයට එක් වී මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ඇය සිදු කළ කාර්යභාරය සුවිශේෂී වේ. කාන්තාවන්ගේ පෝෂණය, ජීවන තත්ත්වය නඟාසිටුවීම, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඇය පෙනී සිටියාය. ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළාය. ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙස කාන්තා පරපුරේ ප්රගමනය වෙනුවෙන් වැඩසටහන් දියත් කරමින් ඊට පෙරමුණ ගත්තාය. 1999 වසරේ දී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා පැවති රැලිවලට එක්වී ජල ප්‍රහාරවලට පවා ලක්වූවාය. 1977න් ආරම්භ කළ ඇගේ දේශපාලන ගමන 2010 දක්වා වසර 33ක කාලයක් ඇය පාර්ලිමේන්තුව නියෝජනය කළේ එකල දේශපාලනය තුළ වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාව වශයෙන් ඉතිහාස ගතවෙමිනි.
1977න් ඇරඹි ඇගේ දේශපාලන ගමන් මඟේ ඇය මුහුණදුන් අභියෝග බාධක අතරේ 88 – 89 ජේ.වී.පී භීෂණ සමය අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් වූවාය. එකල ඇගේ ප්‍රදේශයේ විසූ ජේ.වී.පී ප්‍රබල නායකයෙක් දේශපාලනයෙන් ඉවත්වන ලෙසත් එසේ නොකළොත් වෙඩි තබා හෝ බෝම්බ ගසා මරා දැමීමේ සූදානමක් ඇති බවටත් දැනුම් දුන්නේය. මේ පණිවිඩයෙන් තරමක් තැති ගත් ඇය ඇගේ එකම දරුවා වූ හිරන්‍යා රත්නවීර දියණිය ඔවුන්ගේ පවුල් මිත්රෙයකුට භාර දී අන්තිම කැමති පත්‍රය ලියා තබා තමන් මියයෑමට බිය නැති බව ජේ.වී.පී. පණිවිඩකරුවන් වෙත දන්වා සිටියාය. ඇය එදා තම ජීවිතය පවා පරදුවට තබා දේශපාලනයේ නිරත වූයේ නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවට සේවය කිරීමේ උදාර අරමුණු ඇතිවයි.
වෘත්තියෙන් ගුරුවරයෙකු වූ ඇගේ ආදරණීය සැමියා ඇයට හමුවන්නේ දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිය පියා ඉගැන්වූ පදියපැලැල්ලේ විදුහලට ස්ථාන මාරුවීමක් ලැබුණු අවස්ථාවේදීය. එම පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස කටයුතු කළ විමල් බණ්ඩාර රත්නවීර මහතා ද දේශපාලන පළිගැනීම්වලට ලක්ව එහි ඉගැන්වීම් කටයුතුවල නිරත වූ අයෙකි. පසු කාලයේ ඇගේ දේශපාලන දිවියට සවියක් වී ඇගේ අත ගත්තේ මේ ක්‍රීඩා ගුරුවරයාය.
කඳුරට දුෂ්කර ප්‍රදේශයක ඉපිද ගමේ පාසලෙන් සහ පොරමඬුල්ල මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය තම සිහින සැබෑ කර ගැනීමේ අධිෂ්ඨානයෙන් දේශපාලනයට පිවිසියාය. ඇය දේශපාලන පවුලක ඉපදුණේ නොවේ. ඇයට දේශපාලන ප්‍රභූ සම්බන්ධතා තිබුණේ නැත. එහෙත් ඇය දේශපාලනයට පිවිස ජය ලබා අවසානයේ සෞඛ්‍ය සහ වනිතා කටයුතු කැබිනට් ඇමැති ධුරය දක්වා පිය නැඟුවාය. දේශපාලනයේ ජය මඟ තරණය කරන්නට අවශ්‍ය වනුයේ පවුල් සම්බන්ධතා නොව ආත්ම විශ්වාසය, ධෛර්යය සහ කැපවීම බව ශ්‍රී ලාංකික කාන්තා පරපුරට ඇය පෙන්වා දුන්නාය. 2017 මාර්තු මස 13 වැනි දින රෝගී තත්ත්වයක් හේතුවෙන් සිය දිවිසැරිය නිම කරන විට ඇය 72 වැනි වියේ පසුවූවාය.