ඕස්ට්‍රේලියාවේ හිටියට අපේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් උදවු කරන්න මට පුළුවන්

සැප්තැම්බර් 11, 2023

Be like a stamp stick untill your destination ඔබ මුද්දරයක් වෙන්න. ඔබගේ අවසාන ඉලක්කයට යන තෙක් නොගැළවී සිටින්න. මේ උපමාව ක්‍රීඩාවේ ජයග්‍රහණයට බෙහෙවින්ම ගැළපෙන්නකි. ක්‍රීඩාවේ ජය පරාජය දරාගෙන තම ඉලක්කය කරා යෑමට ඉවසීම හා පුහුණුව වඩාත් වැදගත්ය. එසේම තම ශරීරයේ ඇති වෙනස්කම් (Advantages) සමඟ ජයග්‍රහණය කරා ගමන් කළ හැකි චරිත ද අපට ක්‍රීඩා පිටියෙන් හමු වෙයි.

එයට කදිම වූ උදාහරණයක් අපට හමුවන්නේ අපගේ දැල්පන්දු කණ්ඩායමෙනි. අපගේ ජාතික දැල්පන්දු කණ්ඩායම ගැන කියූ පමණින් තර්ජිණී සිවලිංගම් නම කියැවෙයි. ඒ තරමටම ඇය ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවේ නම රැන්දූ ක්‍රීඩිකාවකි. අඩි 6 අඟල් 11ක් උස වූ තර්ජිණී තල් අරඹෙන් ක්‍රීඩා පිටියට පිවිසි දක්ෂම ක්‍රීඩිකාව පමණක්ම නොවේ ඇය ලෝකයේ දැල්පන්දු පිටියේ උසම ක්‍රීඩිකාව ලෙසින් ලෝක වාර්තාවක් ද තබයි. අපේ දැල්පන්දු පිටියේ ජය කෙහෙළි නංවමින් සියලු ජයග්‍රහණ සඳහා පොදු සාධකය බවට පත් වූ තර්ජිණී අපේ දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙසින් ද කළ අපිරිමිත වූ කැපවීම බොහෝය.

මේ සියලු කැපවීම් හා උත්සහයෝ ප්‍රතිඵල දැකීමට අපට හැකි වූ වාර බොහෝය. උතුරේ යාපනයෙන් ක්‍රීඩිකාවක ලෙස බොහෝ අභියෝග හමුවේ ඉදිරියට පැමිණි ඇය කුරිරු යුද සමයේදී පවා ශ්‍රී ලංකාවේ නාමය ලෝකයේ ඉහළින්ම තබන්න කළ උත්සහ අප නිරන්තරයෙන්ම අගය කළ යුත්තකි. මෙවන් අපිරිමිත කැපකිරීමක් කළ තර්ජිණී දැල්පන්දු ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කිරීම ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට තදින්ම දැනෙයි. ලෝක කුසලානය ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍යම වූ ක්‍රීඩිකාවක් වූ තර්ජිණී මෙලෙසින් සමුගැනීම පිළිබඳ ලෝකයේ අනෙකුත් රටවල ක්‍රීඩිකාවන්ට තර්ජනයක් නිසා අස්වැසිල්ලක් වුවත් අපගේ ක්‍රීඩා කණ්ඩායමට විශාල රික්තයකි. මේ ගැන අප ඇයගෙන් පසුගියදා විමසුවේ දුරකතනයෙනි. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තර්ජිණී මේ සොඳුරු පිළිසඳර තුළින් ඒ පිළිබඳ අපට සඳහන් කළේ මෙලෙසිනි.

“ඇත්තටම මම අපේ රටට අවුරුදු දහ හතක් ක්‍රීඩා කළා. ඉතිං මම තීරණය කළා මගේ පෞද්ගලික ජීවිතය ගැන හිතලා ලංකා ජාතික කණ්ඩායමෙන් සමු ගන්න. දැන් මම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පුරවැසිභාවය ලබාගෙන පදිංචි වෙලා ඉන්නවා. නමුත් මම සම්පූර්ණයෙන්ම ක්‍රීඩාවෙන් සමු ගන්නේ නැහැ. ඇත්තටම මම කණ්ඩායමෙන් ඉවත් වුණේ පුංචි කාලෙ පටන්ම මගේ තිබුණු පුංචි හීන සැබෑකර ගන්න.

අපි හැමෝටම හීන තියනවානේ. ඒ හීන ජය ගන්න ඉලක්කයක් තියෙන්න ඕනේ. මේ දේ ඕනෑම කෙ‍නකුට කරන්න පුළුවන් දෙයක්. මට පුංචි කාලේ පටන්ම හීනයක් වෙලා තිබුණේ ඉගෙනගෙන හොඳ රැකියාකවක් කරන්න. ඒ හීනය කිසිම දවසක අතහැරියේ නැහැ.

මම පුංචි කාලේ පටන්ම ආසා කළේ ඉගෙන ගන්න. නමුත් අහම්බෙන් ක්‍රීඩාවට එන්න වුණා. ඒ කතාව ටිකක් දිගයි. හැබැයි මම ක්‍රීඩාවට යොමුවීමත් එක්ක ලොකු කැපවීමක් කළා. අපේ කණ්ඩායමේ හිටිය එකම ‍දෙමළ ක්‍රීඩිකාව මමයි. මම හිටියේ කොළඹ බෝඩිමක. අම්මා තාත්තා පවුලේ අය දාලා ඇවිත් තමයි මම කොළඹ බෝඩිමක ඉඳගෙන ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ. මම කොළඹ ඉඳන් යාපනයට යන්නත් පැය අටක් විතර යනවා. නමුත් මේ හැම දෙයක්ම දරාගෙන මගේ ඉලක්කයට ගියා. අපේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. මම කිසිම දවසක බැහැ කියලා අත හැරියේ නැහැ. මගේ හිතේ හයියෙන් හැම අභියෝගයකටම මුහුණ දෙමින් ක්‍රීඩාව කළා.

දැන් අපේ රටේ නවක ක්‍රීඩිකාවෝ ඉදිරියට එනවා. මම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන කාලේ කණ්ඩායමක් ලෙස මට පුදුම සහයෝගයක් තිබුණේ. අපි එකම පවුලක් විදිහට තමයි ක්‍රීඩා කළේ. ඒ කාලෙ මගේ සමකාලීන ක්‍රීඩිකාවෝ මට හුඟක් උදව් කළා. අපි ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඒ බැඳීම තවම

කිසිම අඩුවක් නැහැ. පසුගිය වසරේ තිබුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට පවා මම උදවු කළා. මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා මේ රටේ සිටින අපේ අලුත් ක්‍රීඩිකාවන්ට උදව් කරන්න. පසුගිය ආසියානු තරගයේදී පවා අපේ ක්‍රීඩිකාවන්ට සපත්තු තිබුණේ නැහැ. ඒවා ලබා ගැනීම පවා මෙල්බන්වල අය උදව් කළා. බන්දු දිසානායක, රෝහණ මහතා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා අනුග්‍රහය දැක්වූවා.

මේ සඳහා මට උදව් කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජ සමඟ මගේ සම්බන්ධය නිසයි. ඒ සඳහා ඕස්ට්‍රේලියා දැල්පන්දු සංගමය මට සහයෝගය දක්වනවා. මම හිතනවා ඉදිරියේදී අපේ රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තව උදවු කරන්න මට අවස්ථාව ලැබෙයි කියලා. මම සම්පූර්ණයෙන්ම ක්‍රීඩාව අත හැරියේ නැහැ. නමුත් කණ්ඩායමෙන් ඉවත් වෙලා දැන් මෙල්බන්වල පදිංචිවෙලා ඉන්නේ. මගේ උසස් අධ්‍යාපන කටයුතු මෙහෙ විශ්වවිද්‍යාලයක කරනවා. ඒ වගේම තවත් සමාජ සේවා කටයුතු රැසකට දායකත්වය ලබා දෙනවා.

ඉතිං මම කැමැතියි අපේ රටේ ඉන්න නංගිලාට පුංචි පණිවුඩයක් දෙන්න. ඔයාලා කවදාවත් අභියෝගවලදී සැලෙන්න එපා. ඉදිරියටම යන්න. මම ක්‍රීඩා කරනකොට මුළු ලෝකයේ හැම රටකටම තර්ජනයක් වුණේ මගෙ තිබුණු හැකියාව හා ශරීරයේ ලක්ෂණ. එයින් මම උපරිම ප්‍රයෝජන ගත්තා. උපරිම අයුරින් ක්‍රීඩා කළා. අපේ රට පුංචි වුණත් දක්ෂයෝ ඉන්නවා. ඒ දක්ෂයන්ට ඉදිරියට එන්න අත දෙන්න අපට පුළුවන්. ඒ නිසා තමයි මම මේ වගේ රටකට ඇවිත් අධ්‍යාපන කටයුතු කරමින් ක්‍රීඩාව වෙනුවෙන් කාලය යොදවන්නේ. මට විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කළ යුතු පිරිසක් ඉන්නවා. ඒ අතුරින් තිලකා ජිනදාස අපේ ක්‍රීඩා උපදේශකතුමිය තමයි මට විශාල ශක්තියක් වුණේ. ඇය තමයි සෙලාන් බැංකුවේ ක්‍රීඩා සංචිතයට මාව තෝරාගෙන ක්‍රීඩා කරන්න උදව් කළේ. ඒ වගේම මාව මේ ලෝකයට බිහි කරපු අම්ම, තාත්තා, අයියලා ඇතුළු පවුලේ හැම දෙනාම මට ආශිර්වාද කරනවා. අපේ රටේ කිසිම දවසක මම දමිළ කියලා වෙනසක් කළේ නැහැ. අපි සහෝදරියෝ වගේ එකට ක්‍රීඩා කළා. ඒ සහෝදරත්වය ඉදිරියටත් තබාගෙන ක්‍රීඩා කරන්න කියලා තමයි අපේ නංගිලාට කියන්න තියෙන්නේ.”

මෙලෙසින් සඳහන් කළ තර්ජිනී අපට මේ පුවත් පිළිසඳර තුළින් ඇයගේ පැරැණි මතකයන් බොහෝ සිහිපත් කළ අතර ඉදිරි අනාගතයේදී ඇයගේ අපේක්ෂා සාර්ථක වේවායි අපි සුබ පතමු.