වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මල් කුමාරයා තරුණීට කතා කරයි
දවසක මං චීනෙට යන්නෙ
මල් යාළුවෝ සෙට් එකත් එක්ක
එයා හරිම කෙට්ටුයි කළුයි . . .
නමුත් ජීවිතයට ආදරය කරන වෙහෙස මහන්සි වෙන ඔහු හරිම කඩවසම්, මම දවසක ලංකාවට ගියොත් මමයි මගේ යාළුවොයි එයාගේ මල්වලට ආසා හිතේවි . . . .
මම එයාව හඳුනාගන්න ආසයි . . .
මේ සොඳුරු සටහන පසුගිය දිනක පළවෙන්නේ චීනයේ සමාජ මාධ්‍ය ජාලයේ තරුණියකගේ සටහනක. මේ කොලු ගැටයට කෝටි දහතුනක් චීන ජාතකයින් වසඟ වුණත් ඒ තරුණයාගේ කතාව ඔහු අත රැඳී ලස්සන මල් තරම්ම ලස්සන එකක් නෙවෙයි. චීන ජාතිකයින් කියන මේ මල් කුමාරයා ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන මේ මහ පොළොවේ බව බොහෝදෙනෙක් දැනගන්නේ ඔහු ගැන චීනයේ වෛයිරල් වුණාට පසුවයි. ඹ්ඪටඥ ඪඵ දධබ ච ඡඥඤ ධට පධඵඥඵ කියන යෙදුම ඔහුගේ ජීවිතයට වඩාත්ම සමීපයි. මල් සමඟ සුන්දර නුවරඑළියේ ජීවත් වෙන මේ තරුණයාගේ ජීවිතය හරිම කර්කෂයි. එහෙත් ඔහුගේ මුවග රැඳී අහිංසක සිනහරැල්ල චීන සංචාරකයින්ගේ සිත් වසඟකර ගත්තා. එලෙසින් වසඟ කරගත් දහතුන් කෝටියක පිරිසක් ඔහුට ආදරය කරන්න විතරක් නොවෙයි සමහරු ඔහු සොයාගෙන දැන් ලංකාවටත් එනවා. ඇත්තටම අපට ඔහුගේ කැප කිරීම හා දිරිය ශක්තිය නොපෙනුනාට, ඔහුගේ වටිනාකම කැපවීම ගැන ඔවුන්ගේ හදවතට දැනුන නිසයි මේ තරුණයා සොයාගෙන චීනයේ සිට ලංකාවට එන්නේ.
චීනයේ සුවහසක් ජනතාවගේ මල් කුමාරයා වූ ඔහු තමයි නුවරඑළියේ, රන්බොඩ, ලබුකැලේ ජීවත් වෙන දිලීප් මධුෂන්ක. ඔහුට විදේශීය සංචාරකයින් කොයිතරම් ආදරය කරනවා දැයි කියන්න කදිම සාක්ෂිය තමයි මේ තරුණ මල් කුමාරයාව හරි අපූරු ලෙසින් චීන ජාතියන් ඔහුව චිත්‍රයට නැඟීම. මේ තරම් ආදරය කරන මුළු ලෝකයක් කතා කරන මල් කුමාරයාගේ තොරතුරු සොයාගෙන පසුගිය දිනක අප ගියා ඔහු ජීවත් වෙන කොණ්ඩගල, රන්බොඩ ප්‍රදේශයට. මෙලෙසින් මල් විකුණන දිලීප් තමුන් මල් විකුණන්න පටන් ගත් තැනින්ම ඔහුගේ ජීවිත කතාව පටන් ගත්තේ මෙලෙසිනි.
“මම සෑහෙන කාලයක පටන්ම මේ මල් විකුණන්න පුරුදු වෙලා හිටියේ. මේ අවට ප්‍රදේශයෙන්ම තමයි අපි මල් හොයාගන්නේ. ඊට පස්සේ කැලේ ගිහින් කොළ
සොයාගෙන ඇවිත් මිටි බඳීනවා. ඊට පස්සේ මේ පාරේ යන ටුවරිස්ලාට අපි මේ මල් විකුණනවා. සංචාරකයන්ගේ වාහනයක් එනවා පේනකොට අපි පාරට දුවගෙන එන්නේ සෑහෙන දුරක ඈත ඉඳලා, එහෙම දුවගෙන ඇවිත් කන්ද මුදුනේ වාහන හෙමින් යනකොට අපි ඒ වාහන පස්සේ සෑහෙන දුරක් දුවගෙන යනවා. සමහර වාහන නම් නවත්තන්නේ නැහැ. හැබැයි අපි මේ මලක් විකුණා ගන්න මහන්සිය දැකලා හුඟාක් වාහන නවත්වනවා.” දිලීප්ගේ ජීවිතය මේ මල් තරම් සොඳුරු නොවන බව සටහන් තබන්නේ මහත් සංවේදී ලෙසිනි. 10 ශ්‍රේණියේදී තම පාසල් දිවියට සමුදෙන දිලීප් තම සම්පූර්ණ දිවියම මලක් මත විශ්වාස තබන්නේ අගහිඟකම් නිසාමය. විදේශිකයින්ගේ වාහන පසුපස කිලෝමීටර් හතරක් පහක් දිවයන දිලීප් මලක් විකිණීමට ගන්නා උත්සාහය දකින විට කාටත් ඇතිවන්නේ මහත් සංවේදී හැඟීමකි. තම සිතේ ඇති වේදනාව සඟවාගෙන මුවට සිනහවක් පුරවා ගනිමින් ඔහු මෙලෙසින් තම පාසල් ගමනට සමුදුන්නත් ඔහුට පාසල් යන්න තිබෙන කැමැත්ත තවමත් ඔහුගේ මුහුණේ ලියැවී තිබේ.
"මට දැන් වයස අවුරුදු 17යි. 10 පන්තියේදී මම පාසල් ගමන නැවැත්තුවා. ප්‍රශ්න තිබුණ නිසා ඉස්කෝලේ ගමන නවත්තලා මල් විකුණන්න පටන් ගත්තා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් කසාද බැඳලා. අනෙක් අක්කයි අම්මයි තාත්තයි තමයි අපේ ගෙදර ඉන්නේ. ඒ දෙන්නා එළවළු වෙළඳාම කරනවා. නමුත් ලොකු මුදලක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගෙදරට බරක් නොවී ජීවත් වෙන්න හිතාගෙන මම මල් විකුණනවා. මේක පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලෙදිමයි. අවුරුදු 8ක් විතර මම මල් විකිණීම මේ විදිහට කරනවා. ඉස්කෝලේ ඇරිලා මල් විකුණලත් මුදලක් ඉස්සර සොයාගත්තා. දැන් හැමදාම මල් විකුණන එක තමයි කරන්නේ. මල් බන්ච් එකක් රුපියල් 200ක් විතර වෙනවා. විදේශික සංචාරකයින්ට නම් රුපියල් 300 -400 කියනවා. සීසන් එකට තමයි අපට ලොකු බිස්නස් එකක් තියෙන්නේ. සමහර මල් නම් ටිකක් මිල වැඩියි. මම වගේම මල් විකුණන සෙට් එකක් ඉන්නවා. ඈත වාහනයක් එනකොට අපි තරඟයට දුවනවා. අපේ දුක මහන්සිය දැකලා හුඟදෙනෙක් මල් කිනිත්තක් ගන්නවා.
අම්මටයි, තාත්තටයි එළවළු විකුණලා ලොකු මුදලක් සොයාගන්න බැරි නිසා තමයි මමත් මේ මල් විකුණලා මුදලක් සොයාගන්නේ. අපි මේ ඉන්නේ නුවරඑළියේ කොණ්ඩගල කියන ප්‍රදේශයේ. ගම්පොළ පහු කරලා නුවර පාරේ එනකොට තමයි දම්රෝ තේ පැක්ටරිය හම්බවෙන්නේ මේ හරිය තමයි අපි මල් වෙළඳාම කරන්නේ. ඇත්තටම අපි මේ රස්සාව කරන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසයි.”
දිලීප් මධුෂන්ක ඔහුගේ ජීවිත කතාව දිගටම පවසන්නේ මහත් සැහැල්ලුවෙනි. එහෙත් ඔහුගේ සිනහව තරම්ම ජීවිතය සොඳුරු නොවන බව ඔහුගේ දෙපා දෙස බලන විට පෙනෙයි. දෙපයට මිරිවැටි සඟලක්වත් නොමැතිව ඔහු මඟ බලා සිටින්නේ මලක් විකුණා මුදලක් හොයාගෙන ජීවිතය සවිකර ගන්නටය. එහෙත් ඔහුගේ එදවස සවිමත්වීමෙන් ඔහුගේ ඉදිරි අනාගතය සාර්ථක නොවෙයි. ඔහුගේ අපේක්ෂාව වන්නේ හෙට දිනයේ දී ද මල් විකුණා මුදලක් සොයාගන්නටය. එය සිතන තරම් ලෙහෙසි පහසු නොවනු ඇත.
මෙලෙසින් චීනය පුරා වෛරල් වූ දිලීප් සොයා දිනපතාම විදේශ සංචාරකයන් දැන් පැමිණෙයි. අප හමු වූ දිනට පෙර දිනයේදී ද එලෙස පැමිණි චීන ජාතික යුවළක් ඔහුට උපකාර කිරීමට ඉදිරිපත්වීම ඔහුට මහත් සතුටකි. එලෙසින් පැමිණි පිරිස ගැන ඔහු සඳහන් කළේ මෙලෙසින්. “ඊයේ අපේ ගෙදරට මාව සොයාගෙන චීන ටුවරිස්ලා දෙන්නෙක් ආවා. මගෙන් ඇහැව්වා බිස්නස් එක දියුණු කර ගන්න මොනවාද ඕනේ කියලා. ඒ අය අපේ ගේ දැකලා වහලය හදලා දෙන්නම් කියලා කිව්වා. මම දැන් මල් විකුණන පොඩි හට් එක ඉරිලා තෙමෙනවා. ඒ වෙනුවට පොඩි කඩ කෑල්ලක් ගහලා දෙන්නත් ඒ අය පොරොන්දු වුණා.
තව මට පුංචි හීනයක් තියනවා චීනයට යන්න. හැබැයි මම චීනෙට යනවා නම් යන්නේ තනියම නෙවෙයි. මම වගේ මල් විකුණන යාළුවෝ 14 දෙනෙක් ඉන්නවා. ඒ යාළුවොත් එක්ක තමයි යන්නේ. තනියම නම් යන්නේ නැහැ.“
දිලීප්ගේ අව්‍යාජත්වය හා අවංක බව ඔහුගේ වචන තුළ කැටි වී තිබෙයි. ඔහු මෙන්ම ඔහුගේ යාළුවන් ගැන ද සිතීම කොයි තරම් නම් අගනා අදහසක් ද? බොහෝදෙනෙක් මෙවැනි අවස්ථාවක් උදා වූ විට තම යාළු මිතුරු නෑයන් ගැන සිතන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් මේ අසරණ අහිංසක තරුණයා ඔහු මෙන්ම දුක් විඳීන යාළුවන් ගැන ද සිතයි. එය ඔහු ලොවටම හඬ ගා කීම වටිනාම ආදර්ශයකි.
කැපවීමෙන් ජීවිතය සොයන මෙවැනි තරුණයන් ගැන විදේශ සංචාරකයින්ට දැනෙන සංවේදී හැඟුම අපට තිබුණේ නම් දිලීප් වැනි තරුණයන්ගේ ජීවිතය මෙලෙසින් මහ අරගල කරන්නට සිදු නොවනු ඇත. එහෙත් ඔහු ගන්නා මහන්සිය ගැන ඔවුන් තැබූ සටහන අපගේ නෙත් ඇරලවන්නට සමත්ව තිබේ. දිනක ඔබත් සුන්දර නුවරඑළියේ සංචාරය කරන විට දිලීප් වැනි තරුණ තරුණියන් ඔබට හමුවෙනු ඇත. ඔවුන් තම ජීවිතය ජයගන්නට කරන සටනට ශක්තියක් වී මලක් මිලදී ගන්නට ඔබටත් හැකිවේ නම් එය විශාල පිනකි.
ඡායාරූප
හැටන් සංචාරක ජී. ක්‍රිෂාන්තන්