හැමදාම මේ විදියට අඳුරේම ඉඳිමුද?

මාර්තු 7, 2022

අඳුරට සාප නොකරන ආදරණීය ගෘහණියක් වන්න

ඔබේ යුතුකමෙන් රටම එළිය කළ හැකියි

රාත්‍රියට ගෙදර හැම ලයිට් එකක්ම පත්තු කරනවා. ගෙදර හොඳට එළියෙන් තියාගන්න ඕන තමයි. අවශ්‍ය ස්ථානයට පමණක් එළිය ලැබුණොත් ඇති නේද? පාඩම් කරන මේසයට මේස ලාම්පුවක් (Table Lamp) තිබුණොත් අඩු වොට් ප්‍රමාණයකින් වැඩි එළියක් ලබාගන්නත් පුළුවන් නේද?

ඔව්. ඇත්තෙන්ම දැල්වෙන විදුලි බුබුළු සංඛ්‍යාව, ඒවායේ වොට් ප්‍රමාණ හා ඒවා දැල්වෙන කාලය අනුව නිවෙසක විදුලිය වැයවීම ගණනය කරනු ලබනවා. එබැවින් ප්‍රයෝජනවත් නොවන අනවශ්‍ය මෙන්ම අත්‍යවශ්‍ය නොවන විදුලි පහන්, විදුලි උපකරණ ආදිය ඉක්මනින් ක්‍රියා විරහිත කිරීම සුදුසුයි.

ඔබට හැකි සෑම අවස්ථාවකදීම අවශ්‍ය ස්ථානයට පමණක් විදුලි ආලෝකය ලබා ගැනීම යෝග්‍යයි.

මෙහෙම කිවුවට අපි කොහොමද ක්‍රමානුකූලව විදුලිය පිරිමසා ගැනීම සිදු කරන්නේ? නිවෙසක පාවිච්චි කරන විදුලි ඒකක ගණන අවමකර ගැනීම භාරදූර කාර්යයකි. එය දැන්නම් භාරදූර වගකීමක් වෙලා. එය සිදු කළ හැකිවන්නේ ආදරණීය ගෘහණිය වන ඔබටමයි.

නිවෙසේ බොහොමයක් වැඩකටයුතු සිදුකෙරෙන්නේ ඔබ අතින්මයි. එබැවින් මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම විදුලිය විසන්ධි කිරීමේ පාඩුව ඔබට මෙතැකැයි කිව නොහැකියි. ඔබ රැකියාවක නියුතු කාන්තාවක් නම් නිවෙසට එන ඔබට සියලු වැඩ කටයුතු කිරීමට ඇත්තේ රාත්‍රී කාලයේදීයි. ඉතිං මේ විදුලි කප්පාදුව ඔබට කෙතරම් පාඩුවක්ද?

තව දුරටත් අඳුරේ සිටිනවාද? නැද්ද යන්න තීරණය කළ හැකිවන්නේ ඔබටයි.

අද පටන් මෙන්න මේ විදියට වැඩ කටයුතු කරන්න හිතට ගන්න.

බලන්න ඔබේ ගෙදර දැල්වෙන සූත්‍රිකා බල්බය දෙසම. වොට් 60ක මෙවැනි බල්බයක් වෙනුවට LED වොට් 7ක බල්බයක් පාවිච්චි කළ හැකියි. එයින් වොට් 53ක ඉතිරියක් වේ. අපේ රටේ විදුලි පාරිභෝගිකයන් මිලියන හයකට වඩා වැඩියි. ඉන් මිලියන තුනක හරි අඩක පාරිභෝගික පිරිස මේ විදියට හිතලා එක සූත්‍රිකා බල්බයක් වෙනුවට මෙවැනි LED බල්බයක් දල්වන්නේ නම් මෙගා වොට් 159ක ඉතිරියක් සිදුවෙනවා. දැන් අපේ රටේ දැවෙන ප්‍රශ්නයට හොඳම විසඳුම ඔබටම ලබා දිය හැකි නොවේද? මෙහෙම කළොත් ඩීසල් බලාගාරයක බලශක්තිය ඉතිරි කර ගත හැකියි.

ඔබේ නිවෙසේ ගේට්ටුවට සවි කළ, නිවෙස අවට දැල්වෙන ආරක්ෂක විදුලි පහන් ආදිය සඳහා අඩු වොට් ප්‍රමාණයකින් යුත් විදුලි පහන් සඳහා සෑහෙන ප්‍රමාණයක් විදුලිය වැය වේ. එවැනි විදුලි පහන් අඳුර වැටීමට බොහෝ වෙලාවකට පෙර දල්වන අවස්ථාවද හිරු පායා බොහෝ වේලාවක් දැල්වෙන අවස්ථාද තිබේ. එසේ නොකර අඳුර වැටුණු පසු දැල්වීමෙන්ද, පසුදා සූර්යාලෝකය ලැබීමත් සමඟ හෝ සුදුසු පරිදි ඊට පෙර හෝ නිවා දැමීමෙන්ද අපතේ යන විදුලිය අවම කරගත හැකියි. එවැනි පහන් සඳහා අඳුරත් සමඟ දැල්වී, අරුණාලෝකයත් සමඟ ස්වයංක්‍රියව ක්‍රියා විරහිතවන ඉලෙක්ට්‍රොනික මෙවලමක් භාවිත කිරීම ද සුදුසුයි.

ශ්‍රී ලංකාවේ වැඩිම විදුලි ඉල්ලුමක් ඇති කාලය සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර කාලය ලෙස ද සොයාගෙන තිබේ. ඉතිං ගෘහණිය වන ඔබට මේ කාලය තුළ විදුලිය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තිබේ නම් එය රටට කරන මහත් යහපතක්. ඒ වගේම ඔබේ සැමියාගේ මුදල් පසුම්බියට ලොකු සහනයක්.

මේ විදුලිය පිරිමසා ගැනීමේ කාර්යයට ඔබට පුංචි පුංචි උපක්‍රම යොදාගන්නත් පුළුවන්. එනම් ගෘහ නිර්මාණකරණයේදී නිවෙස තුළට නැගෙනහිර සහ බස්නාහිරට පමණක් ජනෙල් යෙදීමෙන් උදෑසනට හා සවස් කාලයට පමණක් වැඩි ආලෝකයක් ලැබෙයි. උතුරු සහ දකුණු පැතිවලට වැඩි ජනෙල් ප්‍රමාණයක් යොදා ගැනීමෙන් දවස පුරාම උපරිම ස්වභාවිකත ආලෝකය ලබාගත හැකියි. තිර රෙදි බිත්ති ආලේපන තීන්ත වැනි දේවල් ආලෝකය උද්දීපනය වන පරිදි යෙදීමෙන් ද උපක්‍රමශීලිව විදුලිය පිරිමසා ගත හැකියි.

විදුලි පංකා භාවිතය ද අවමකර ගැනීමට උස බිත්ති සාදා ගැනීම, වහළයට යොදන අමුද්‍රව්‍ය ගැන සැලකිලිමත් වීම වගේම ජනෙල් දොරවල් වලින් ස්වභාවික වාතාශ්‍රය නිවෙසට කැන්දාගෙන එන පරිදි සැලසුම් කිරීම කළ හැකියි.

කාන්තා ඔබ ලස්සනට හැඩට ඉන්නත් කැමැතියිනෙ. මේ සඳහා ද හෙයාර් ඩ්‍රයර් වැනි විදුලි උපකරණ භාවිත කරනවා. එහෙත් මෙවැනි කාලයකදී හෙයාර් අයන් එක, හෙයාර් ඩ්‍රයරය භාවිතයෙන් ඈත්ව කටයුතු කරන්නට ඔබ සමත්විය යුතුයි.

Online අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් පරිගණක, ලැප්ටොප්, දුරකථන චාර්ජ් කරන අවස්ථා වැඩියි. මේවා ද 6.30ත් රාත්‍රී 10.30ටත් පෙර සිදුකර තබා ගැනීමට කල්පනාකාරී වන්න.ඒ අතරම වතුර මෝටරය, රෙදි අයන්කර ගැනීම, රෙදි සෝදන මැෂිම මේ කාල පරාසය මඟහැර ක්‍රියා කරවීමටත් ඔබට හැකි නම් කාලයේ තාලයට හැඩවුණ ආදරණීය ගෘහණියක් වන්නට හැකියි.

මේ පුංචි පුංචි කරුණු කාරණා තුළින් සැමියාගේ ඇගයීමට ලක්වන ආදරණීය බිරියක් වන්නට ඔබට පුළුවනි.

මේ ආකාරයෙන් ඔබේම සංයමයෙන් විදුලිය අරපරෙස්සම් කර ගැනීමට දායක වන්නේ නම් හෙට දවස අඳුරු නොවේවි.

ඔබේ ගෙදර වැයවන විදුලි ඒකක ගණන මේ විදිහට බලාගත හැකියි.

ඒකක මිල

0 - 60 - රු. 7.85

61 - 90 - රු. 10.00

91 - 120 - රු. 27.75

121 - 180 - රු. 32.00

180 සිට ඉහළට - රු. 45.00

මධ්‍යම පාන්තික දිවි පෙවෙතක් ගත කරන ඔබ ඒකක ගණන කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වමින් කටයුතු කරන්නේ නම් එය ඔබට වගේම රටට ද මහත් ඉතිරියකි. අඳුරට ශාප නොකර සිටීමට අපූරු මඟක්.

 

උපදෙස් - ලක්මාලි කරුණානායක
ප්‍රධාන ඉංජිනේරු, බලශක්ති කළමනාකරණ වයඹ 01

සටහන
අචිනි ලක්මාලි චන්ද්‍රෙස්කර