දහඅටේ කොල්ලො කෙල්ලො මෙහෙම හිතමුද?

නොවැම්බර් 18, 2024

විශ්ව නීතිය කියලා කියන්නෙ අද වෙද්දී ලෝකයේ බොහෝ දෙනා පිළිගන්න විශ්වීය සංකල්පයක්. ඒකත් විශ්වයෙන් ලැබෙන ශක්තියට සමානයි. මේ සංකල්පයේ සරල අදහස වෙන්නේ අපි එදිනෙදා හිතන පතන, ක්‍රියාකරන දේ අනුව අපෙන් විශ්වයට මුදාහැරෙන පණිවිඩ මත  අපේ ජීවිතවලට පෙරළා ලැබෙන දේවල් තීරණය වෙනවා කියන එකයි. ඒ කියන්නෙ අපි දිනපතා සුබවාදී අදහස්, ආකල්ප දරමින් ජීවත් වෙනවනම් අපේ ජීවිතයට සුබවාදී දේත්, අසුබවාදී ආකල්ප දරමින් ජීවත් වෙනවනම් අසුබවාදී දේත්  ආකර්ෂණය වෙනවා කියන අදහස. මේ නීතිය අනුව අපි හැසිරෙන විදිහ වගේම අපේ හිතට දැනෙන සිතුවිලි පවා අපිට පෙරළා ලැබෙන දේ තීරණය වෙන්න බලපානවා.

මේ විශ්ව නීතිය කියන සිද්ධාන්තයේ සැබෑ ගැඹුර දන්න, මේ සිද්ධාන්තය අපේ එදිනෙදා ජීවිතය කොයිතරම් නම් බලපානව ද කියල දන්න පිරිස මේ ලෝකයේ බොහොම අඩුයි. හැබැයි දැනගෙන හිටියොත් අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් තියෙන කාරණාවක් තමයි මේක කොහොමහරි දැනගෙන හෝ නැතුව ජීවිතේ ගෙවන හැම තත්පරයකදීම අපි සජීවී කාන්දම් වගේ විශ්වයට නිකුත් කරන සිතුවිලි, ක්‍රියාවන්වල හොඳ හෝ නරක ප්‍රතිඵල ආකර්ෂණය කර ගන්නවා. ඒකත් හරියට අපි කරන හොඳ නරකවල ප්‍රතිඵල දවසක අපිට ඒ විදිහටම ලැබෙනවා වගේ දෙයක්.

අද කතාකරන්න යන්නෙ මේ නීතිය ප්‍රායෝගිකව භාවිත කරන්න, ඒ කියන්නෙ විශ්වයෙන් හොඳ දේවල් ආකර්ෂණය කර ගන්න භාවිත කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි. 

පැහැදිලි අරමුණු තබාගන්න

තමන්ට ජීවිතයේ අවශ්‍ය හැම දෙයක් ගැනම පැහැදිලි අරමුණු තබාගැනීම ගොඩාක් වැදගත්. මොකද කිව්වොත් සමහර දෙනෙක් ඉන්නවා තමන්ට අවශ්‍ය මොකක්ද කියන එක ගැන තමන්ටම හරි හැටි අවබෝධයක් නැති. උපාධියක්, ගෙයක්, රැකියාවක් වගේ හැම දෙයක් ගැනම පැහැදිලි අරමුණක් තියාගන්න. ඒ කියන්නෙ රැකියාවක් නම් මේ අංශයේ මෙන්න මේ තරමේ වැටුපක් ලැබෙන රැකියාවක්. ගෙයක්නම් මෙන්න මේ විදිහේ ගෙයක් කියලා ඉතාම සවිස්තරාත්මක, පැහැදිලි අරමුණු තියාගන්න. අරමුණ පැහැදිලි වෙන තරමට ඒ දේවල් ලැබෙන්න තියෙන හැකියාව වැඩියි. 

 නිරන්තරයෙන් සිහින දකින්න

මේ කියන්නෙ නින්දේදී දකින සිහින නෙමෙයි. අවදියෙන් ඉන්නකොට ඔබට ලබාගන්න ඕනෙ දේවල් ගැන නිරන්තරයෙන්ම සිහින දකින්න. සරලවම කිව්වොත් ඒ දේවල් හැබෑවුණා කියලා හිතාගෙන ෆැන්ටසි එකක ජීවත් වෙන්න. ඒ කිව්වෙ උදේට අවදිවුණාම, රෑට නින්දට යද්දී වගේම විවේකයක් ලැබෙන හැම වෙලාවකම තමන් ආසම විදිහේ ගෙදරක ජීවත් වෙනවා, ආසම රැකියාව කරනවා කියන දේවල් සම්බන්ධයෙන් චිත්තරූප දකින්න. එහෙම දකිමින් ඒ දකින දේවල සතුට හැබෑවටම සිතින් විඳින්න.

සෑම සිදුවීමකම හොඳ දකින්න

නරක අත්දැකීම් අපි හැමෝගෙම ජීවිතවල අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒ දේවල් දිහා බලන විදිහ කෙනකුගෙන් කෙනකුට වෙනස්. අන්න එතැන තමයි ප්‍රධානවම මිනිසුන්ගේ සාර්ථකත්වයේ වෙනස තියෙන්නෙ කියල කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 

සිදුවෙන හැමදෙයක් ගැනම පැමිණිලි කරමින්, නිරන්තරයෙන් නරකම දකින අයට වඩා නරක සිදුවීමක වුණත් පුංචිම හරි හොඳ දෙයක් දකින්න කැමැති අයගේ ජීවිත ඉතාම සාර්ථකයි. ඉතින් මෙන්න මේ වාසිය ලබන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඕනෙම සිදුවීමක හොඳ ටිකක් හෝ දකින්න මනස හුරුකර ගන්න අවශ්‍යයි.

විශ්වාසය තබාගන්න

කලින් විස්තර කළා වගේ නරක අත්දැකීම් ලැබුණත් තමන්ගේ අරමුණ සහ විශ්වය ඔබට ලබාදෙන දේ ගැන දැඩි විශ්වාසයෙන් ජීවත් වෙන්න. “ඇයි මටම මෙහෙම වෙන්නේ” වගේ අසුබවාදී දේ හිතනවාට වඩා සිදුවුණ දේ හොඳම දේ බව, විශ්වයට ඔබ වෙනුවෙන් සැලසුම් ඇති බව සහ ඔබට හොඳම දේ අවශ්‍යම අවස්ථාවේ නොවැරදීම ලැබෙන බව දැඩිව විශ්වාස කරන්න. ඒ වගේම තමයි නිරන්තරයෙන් ධනාත්මක වචන භාවිත කරන්න. උදාහරණයක් විදිහට “මට මේ රස්සාව ඕනේ, මට මෙහෙම රස්සාවක් ලැබෙන්නේ නැහැනේ” වගේ දේවල් නිතරම හිතනවාට වඩා ඔබට දැනට ලැබී ඇති දේ හෝ ලැබෙන්න ඇති දේ ගැන ධනාත්මක දේ කියන්න. “මේ රැකියාව මට ලැබෙන බව විශ්වාසයි” මේ අරමුණට මාව ගෙනියන විශ්වයට  ස්තූතියි” වගේ දේවල්.

ආතතිය මඟහරින්න

මානසික ආතතිය කොයි විදිහකින් ගත්තත් අපිට යහපතක් සිදුකරන්නේ නැහැ. ඒ වගේම තමයි ආතතිය නිසා අනිවාර්යයෙන්ම සෘණාත්මක සිතුවිලි සහ ක්‍රියාවන් උපදින්න පුළුවන්. ඒ නිසා හැකිතරම් මානසික ආතතිය මඟහරින්න. අරමුණු ගැන පවා ලොකු ආතතියක් හිතේ තියාගෙන ඉන්න එපා. කලින් විස්තර කළ විශ්වාසය, හිත තුළ ගොඩනැගෙද්දී පහසුවෙන්ම මේ ආතතිය මඟහැරෙනවා. ඊට අමතරව එදිනෙදා ගැටලු නිසා ඇතිවෙන ආතතිය මඟහරවා ගන්න භාවනා, යෝගා ව්‍යායාම වගේ උපක්‍රම භාවිත කරන්න පුළුවන්.

ස්තූතිවන්ත වෙන්න

 

අපිට ලැබෙන හැමදේම වෙනුවෙන් දිනපතා ඔබ අදහන දෙවියන්ට, විශ්වයට සහ ඔබ අවට සිටින සියලුම දෙනාට ස්තූති කරන්න. හිතවත් අයට ළඟට ගිහිල්ලා කටින් කියන්න අවශ්‍ය නැහැ. හැමදාම උදේට, සවසට සිතින් සිතීම වුණත් ප්‍රමාණවත්. මේ පුරුද්ද වැඩිදියුණු කර ගන්න දිනපොතක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නෙ අද දවසේ ඔබට සතුටු වෙන්න තිබුණ කාරණා, ඔබ ඉගෙනගත්ත දේවල් සහ ඔබ අන් අයට ස්තූතිවන්ත වන බව  දිනපතා පොතක සටහන් කරන ක්‍රමය. 

 

අත් හැරීම

 

ඒ වගේම අපිට අවශ්‍ය නැති දෙයක් වගේම ඍණාත්මක දේවල් නිතර හිතෙනව නම් ඒවා සිතින් අතාරින්න උත්සහ කරන්න. ආකර්ෂණයේ නීතිය ඵලදරන්න ගොඩක්ම අවශ්‍ය වෙන්නෙ ධනාත්මක සිතුවිලි. එතකොට හැමවෙලේම ඍණාත්මක සිතුවිලි එන එක, හිතන එක හෝ ඝණාත්මක සිතුවිලි සහිත පුද්ගලයන්, දේවල්, ස්ථානවලින් ඈත් වී සිටීම තමයි මේකෙදි කියන්නෙ. නෙගටිව් වයිබ්ස්වලින් අයින් වෙලා ඉන්න එක හැම අතින්ම හොඳ දෙයක්.