තොටිල්ල පදවන අත ආණ්ඩු කරන්නේ මෙහෙමයි

නොවැම්බර් 25, 2024

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා පරමාධිපත්‍යය ජනතාවට පිහිටා ඇති අතර, එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස ක්‍රියාවට නැංවෙන්නේ මැතිවරණ තුළිනි. මෙරට ඡන්ද දායකයින්ගෙන් සියයට 56ක් කාන්තාවන් වුවද, ඔවුන්ට ප්‍රමාණවත් හඬක් හෝ ඉඩක් එකී නියෝජිත ආයතන තුළ නොමැති බවට වන මැසිවිල්ලක් දිගු කලක සිට අසන්නට ලැබේ.

පසුගියදා නිමාවට පත්වූ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පවත්නා සුවිශේෂී සංසිද්ධියක් ලෙස සැලකිය හැක්කේ කාන්තා නියෝජනයේ වර්ධනයයි. එය ඉතා අගය කළ යුත්තකි.

රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණය ජය ගනිමින් වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇඩ්ලින් මොළමුරේ ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය ලෙස හැඳින්විය හැකිය. 1960 වර්ෂයේදී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක පත් විය. 1994 දී ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත්වීමද සිදුවිය. එහෙත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පළමු පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය සියයට 6.55 ක් වුවද, එතැන් සිට 2024 නොවැම්බර් දක්වාම සියයට 6 ඉක්මවූ කාන්තා නියෝජනයක් දකින්නට නොවීය. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තා නියෝජනය පහත පරිදි සාරාංශගතකොට දැක්විය හැකිය.

1989 දී කාන්තා නියෝජනය 13 දෙනෙකි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.80කි. 1994 දී කාන්තා නියෝජනය 12කි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.30කි. 2000 දී එය 9 දෙනෙකි. ප්‍රතිශතයක් ලෙස සියයට 4.00කි. 2002 දී 10 දෙනෙකි. ප්‍රතිශතයක් ලෙස සියයට 4.40කි. 2004 දී 13 දෙනෙකි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.80කි. 2010 දි 13 දෙනෙකි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.80කි. 2015 දි 12 දෙනෙකි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.30කි. 2020 දි 12 දෙනෙකි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.30කි. 1989 සිට මේ දක්වා පැවැති මහමැතිවරණ 8දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් කාන්තා ප්‍රතිශතය සියයට 6 ඉක්මවා ගොස් නැති බව මෙයින් පැහැදිලිය. එහෙත් 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය ශ්‍රී ලංකාවේ මහමැතිවරණ ඉතිහාසය අලුත් කරමින් වාර්තා පිට වාර්තා බිහිකළ මැතිවරණයකි. 2024 පැවති මහමැතිවරණයෙන් පසු නොවැම්බර් මස 21 වන දින පළමු වරට රැස්වෙන පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 22 කි. එයින් වැඩිම සංඛ්‍යාවක් හෙවත් 20 දෙනෙකු නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන 20 දෙනාගෙන් 19 දෙනෙකුම මෙවර මහමැතිවරණයෙන් තරග කොට තම මන්ත්‍රී ආසනය රැකගත් උදවියයි. එක් අයකු පමණක් ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එක්වී ඇත. ඇය සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම නීතිඥවරියක වන ලක්මාලි හේමචන්ද්‍රයි.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන, ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කළ ආචාර්ය හරිනි අමරසූරිය ඡන්ද 655,289ක් ලබාගෙන දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එය මහමැතිවරණ ඉතිහාසයේ තනි පුද්ගලයෙකු විසින් ලබා ගත් වැඩිම මනාප අතුරින් දෙවන ස්ථානයයි. හරිනි අමරසූරිය මීට පෙරාතුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරියක ලෙසය. ඒ නිසාම ඇය මැතිවරණයකට තරග කොට ජයග්‍රහණය ලැබූ පළමු අවස්ථාව මෙයයි. ජාතික ජන බලවේගය හැරුණු විට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරියන් දෙදෙනාම සමගි ජන බලවේගය නියෝජනය කරයි.

ඒ රෝහිණී කවිරත්න සහ චමින්දාණි බණ්ඩාර කිරිඇල්ලයි. මෙ දෙදෙනා අතුරින් චමින්ද්‍රානි කිරිඇල්ල ද, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ පළමු වරටය.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරී පත්වූ කාන්තා මන්ත්‍රීවරියන් සහ ඔවුන් ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව පහත පරිදිය.

01. බදුල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සැමුවෙල් අම්බිගා – 58,201

02. මාතර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සරෝජා පෝල්රාජ් – 148,379

03. මාතලේ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – දීප්ති වාසලගේ – 47,482

04. මාතලේ දිස්ත්‍රික්කය – සමගි ජන බලවේගය – රෝහිණී කවිරත්න – 27,845

05. ගාල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හසාරා නයන්තාර ප්‍රේමතිලක – 82,058

06. මහනුවර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ – 58,223

07. මහනුවර දිස්ත්‍රික්කය – සමගි ජන බලවේගය – චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල – 30,780

08. කළුතර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – නිලන්ති කොට්ටහච්චි – 131,375

09. කළුතර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – ඔෂානි උමංගා – 69,232

10. මොනරාගල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – චතුරි ගංගානි – 42,930

11. පුත්තලම දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හිරුණි විජේසිංහ – 44,057

12. කෑගල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සාගරිකා අතාවුද – 59,019

13. රත්නපුර දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – නිලූෂා ලක්මාලි – 48,791

14. කුරුණෑගල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – කුමාරි හේරත් – 84,414

15. කොළඹ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හරිනි අමරසූරිය – 655,289

16. කොළඹ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – කෞශල්‍යා ආරියරත්න – 80,814

17. කොළඹ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – සමන්මලී ගුණසිංහ – 59,657

18. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – මුතුමැණිකේ රත්වත්තේ – 32,145

19. ගම්පහ දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – හේමාලි සුජීවා – 66,737 –

20. නුවරඑළිය දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – අනුෂ්කා තිලකරත්න – 34,035

21. නුවරඑළිය දිස්ත්‍රික්කය – ජාතික ජන බලවේගය – ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි – 33,346

22. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය – ජාතික ජන බලවේගය – ලක්මාලි හේමචන්ද්‍ර

 

එමෙන්ම 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය පක්ෂයෙන් කාන්තා නියෝජිතවරියන් 36 දෙනෙකු ඉදිරිපත් වූ අතර එය එක් දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වූ ලංකා ඉතිහාසයේ ඉහළ ම කාන්තා නියෝජනයද විය.

රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුව ද කාන්තාවන් පිළිබඳ වැදගත් තීන්දු තීරණ ගන්නා ස්ථානවල කාන්තාවන් නියෝජනය නොවීම රටක් ලෙස ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත්, තමන් කුමන පක්ෂයකට ඡන්දය භාවිත කළ ද එම අපේක්ෂක ලැයිස්තුවේ සිටින කාන්තාවක් වෙනුවෙන් එක් මනාපයක් පළ කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂය හරහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 2024 නොවැම්බර් 07 වැනිදා BBC මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර තිබුණි.

අග්‍රමාත්‍ය හරිනි අමරසූරියද මහමැතිවරණයට පෙරාතුව BBC මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පවසා තිබිණි.

“කාන්තා බහුතරයක් ජනගහනය තියෙන රටේ තීරණ ගන්නේ ඒ 52%ක අත හැරලා. ඒ අත හැරෙන කොටසේ තවමත් නොවිසඳුනු ප්‍රශ්න රාශියක් තියෙනවා. 34%යි තවමත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් විධිමත් රැකියාවල නිරතවෙලා ඉන්නේ. 66%ක් නිවසට වෙලා රැකබලාගැනීම් වගේ ගෘහණියන් විදිහට කාන්තාවන් පූර්ණකාලීනව වගකීම් ඉෂ්ට කරනවා. ඒ සඳහා ඇගයීමක්වත් නෑ. ඔවුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි” ඇය විසින් අවධාරණය කළ පරිදිම සතුටුදායක ප්‍රතිචාරයක් ඡන්ද දායකයින් ලැබී තිබුණු බව මෙම ප්‍රතිඵල දෙස බැලීමෙන් තහවුරු වේ.

2020 පැවති මහ මැතිවරණයෙන් පත් වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකු සිටි අතර ඉන් මන්‍ත්‍රීවරියන් 4 දෙනෙකු ජාතික ලැයිස්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන් විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය ලෙස සංවිධානය වී මහජන නියෝජිතවරියන්ගේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරින අවස්ථාව වන විට සිටියේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේය. ඇය පවසා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් කාන්තා නියෝජනය සම්බන්ධ කෙටුම්පත් ද පාර්ලිමේන්තුවට ගෙන ආ බවයි.

"ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තා නියෝජනය ලබා දෙන්න කියලා කෙටුම්පතක් අපි පාර්ලිමේන්තුවට ගෙන ආවා. නමුත් ඒක පාර්ලිමේන්තුව විසුරවපු නිසා හරි ගියේ නෑ. ඒ වගේ ම අපි අපේක්ෂක ලැයිස්තුවලින් තුනෙන් එකක් කාන්තාවන් ඇතුළත් කරන්න කියන එකත් නීතියක් විදිහට සම්මත කරගන්න උත්සහ කරමින් සිටියේ," ඇය සිහිපත් කර තිබිණි.

පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය තවදුරටත් වැඩි කිරීමේ වගකීමද පැවරෙනු ඇත්තේ අපටමය. අවම වශයෙන් 15%ක නියෝජනයක්වත් කාන්තාවන්ට හිමිවන පාර්ලිමේන්තුවක් අනාගතයේදී හෝ දකින්නට ලැබෙන්නේ නම් අගනාය. මීට පෙරාතුව පාර්ලිමේන්තුව තුළද අත්දකින්නට ලැබුණේ පාර්ලිමෙන්තු විවාද තුළද, භෝජනාගාරය තුළද ස්ත්‍රීන් අපයෝජනයට ලක්වීමේ ඛේදජනක සිදුවීම්ය. මින් ඉදිරියට එවැනි කනගාටුදායක සිදුවීම් සිදුනොවනු ඇති අතර කලාතුරකින් හෝ එවැන්නක් සිදුවීනම් නිහඬව අහක බලා සිටින බහුතරයක් වෙනුවට අසාධාරණයට එරෙහිව නැඟී සිටින පිරිසක් අපට දැකබලාගත හැකිවෙනු නියතය. ඒ නිසාම ස්ත්‍රීන්ටද, මේ රටේ දේශපාලනයට සක්‍රීයව දායකවීමේ උනන්දුව ඉහළයනු ඇත. ඒ අනුව 2024 මැතිවරණයට පෙර පැවති මහ මැතිවරණ හා සසඳා බලන කළ මෙවර පැවැති මහ මැතිවරණය, කාන්තාවන් දේශපාලනය තුළ සවිබල ගැන්වුණු මැතිවරණයක් බව අවිවාදිතය.