හැන්දෑවට හැන්ද ගන්න තාත්තලාගේ කතාව

නොවැම්බර් 18, 2024

ළදරුවාගේ උපතේ සිට කුටුම්බය තුළ ගත කරන කාල පරාසය දරුවාගේ අනාගතයට ඉතාමත් වැදගත්ය. දරුවා මෙළොව එළිය දුටු විගස හඳුනා ගන්නේ තමන්ගේ මව හා පියාය. ප්‍රථම නැදෑකම ඇති කරගන්නේ තමන්ගේ පවුල සමඟය. මවුපියන් සමීපයේ හැදී වැඩෙන දරුවාට ආදරය සෙනෙහස අත්‍යවශ්‍යම උපාංගයන්ය. මෙම කාලය තුළ දරුවාට සිදු වන සිදුවීම් ඔහුගේ හෝ ඇයගේ මනසට තදින්ම බලපානු ලබයි. කුඩා දරුවන්ට ඇති වන මානසික ආතතිය පිළිබඳ වැඩිහිටි සමාජයේ අවධානය යොමු විය යුතුය. කුඩා කාලයේදී දරුවාට ඇති වන මානසික ආතතිය සමස්ත ජීවිතයේම පැවැත්ම තීරණය වීමට බලපෑ හැකිය.

දරුවන් මානසික රෝගවලට ගොදුරු වීමට එක එක හේතු බලපානවා. ඒ හේතුවල ප්‍රතිඵලය විදිහට ලැබෙන්නේ අඳුරු ව්‍යසනකාරී ළමා වියක්. දරුවා පිළිසිඳගත් පසු මවගේ කුසේ ඉද්දි මවගේ චිත්ත වේගත් දරුවාට බලපානවා.

අඳුරු ව්‍යසනකාරී ළමා වියක් ඇත්තටම දරුවකුට අයිති වෙන්නේ කොහොමද? අපි දන්න ගොඩක් තැන්වල අපි දන්න ගොඩක් මවුපියෝ දරුවන්ව පාවිච්චි කරනවා තමන්ගේ කෝපය පිට කර ගන්න. සැමියා එක්ක හරි බිරිය එක්ක හරි තරහා වුණාම තමන්ගේ පුංචි දරුවන්ව තමයි පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට මේ වගේ වෙලාවක පණිවිඩකරුවා වෙන්නේ තමන්ගේ දරුවා. අම්මා දරුවට කියනවා "තාත්තට කියන්න තේ එක බොන්න කියලා. තාත්තා කියනවා '' අද අම්මට තනියම ඔෆිස් යන්න කියන්න" කියලා. මේ දේවල් නිසා දරුවා පවුල තුළ අතිශය පීඩාකාරී තත්ත්වයකට මුහුණ පානවා. දරුවට සමාජය තුළදීත් ලැජ්ජාවට පත් වෙන්න සිද්ධ වෙනවා "ඔයාලගේ අම්මයි, තාත්තයි ඊයේ ලොකු රණ්ඩුවක් ගියා නේද? අපිටත් ඇහුණා. තාත්තා, අම්මට ගැහුවද?" මේ වගේ දේවල් අහල පහල ගෙවල්වල දරුවෝ ඉස්කෝලෙදි අහනවා. ඉතින් මේ වගේ පීඩනයකින් ඉන්න දරුවන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙකුත් නැහැ. ඒ වයසේ ඉන්න වෙන ළමයකුට කිව්වොත් ඒ ළමයි හිනා වෙනවා. ඒ නිසා මේ දරුවෝ ඒ පීඩනය හිර කරගෙන ජීවත් වෙමින් සමාජයට වෛර කරන දරුවකු විදිහට එළියට එනවා. කුඩා කාලයේදීම හිතේ හට ගන්නා මේ වෛරය දිගින් දිගට දලු ලා වැඩෙන්න ගන්නවා.

දරුවෝ බිහි වුණේ අපි නිසා. එතකොට දරුවන් අපි කැමැති ඉස්කෝලෙකට යවලා, අපි කැමති කැමති දේවල් කන්න දීලා, අපි කැමති දේවල්ම කරන්න පොලඹවලා ඒ හැමදේම කළාට දරුවකුට වෙනම පෞරුෂයක් තියෙනවා. අපි කියන විදිහටම ජීවත් වෙන්න පටන් ගන්න දරුවෝ, අපේ ඒ පීඩනය වගේ රණ්ඩු සරුවල් නිසා ඇති වෙන පීඩනයත් දරාගෙනයි ජීවිතය ඉස්සරහට අඩිය තියන්නේ.

අම්මලා තාත්තලාගේ රණ්ඩු අස්සේ දරුවන්ට අහන්න සුදුසු නැති දේ පවා තියෙනවා. “අනේ මම දන්නේ නැද්ද උඹ කලිනුත් කසාද බැඳලනේ හිටියේ.” මේ වගේ දෙයක් අම්මා ගැන කිව්වම දරුවා ඉතාම දුකට පත් වෙනවා වගේම සමහර විට අම්මට වෛර කරන්න පටන් ගන්නවා. ඉතින් මේ නොදරුවා අහනවා " මොකක්ද තාත්තේ ඒ කිව්වේ." කියලා. දරුවා ඒ කියපු කතාව හිතේ තියාගෙන සමහර විට මුළු ජීවිත කාලෙම වුණත් දුක් වෙන්න පුළුවන්. අම්මා, තාත්තා කසාද බැන්දේ ඒ දේවල් දැනගෙන නම් නැවත නැවත ඒවා හාර හාර වේදනාවට පත් කරන්න අවශ්‍ය නැහැ. ඕනෙම පවුලක් ඇතුළේ රහස් තියෙන්න පුළුවන්.

මම දන්න එක්තරා පවුලක ඒ සැමියා බිරියට කියනවා "තොට ඔච්චර සල්ලි තිබුණට තෝ හදාගන්න ගත්ත ළමයෙක්නේ" කියලා. මේ කතාව අහන් ඉන්න දරුවට ඒකෙන් ලොකු මානසික පීඩනයක් දැනෙනවා. ඒක කාංසාවෙන් එහා ගිය විශාදය වගේ රෝග තත්ත්වයකට එන්න පුළුවන්. ඊළඟට ළමයා මේ වගේ අඳුරු ව්‍යසනකාරී ළමා වියකට මුහුණ පාලා ඉද්දි ඒ දරුවට නින්ද යන්නේ නැතිකම. "මම ඉස්කෝලේ ගියාට පස්සේ තාත්තා අම්මට ගහලා මරයිද?" නැත්තම් අම්මා තාත්තට නිතර කියනවනේ "මම හිස හැරුණු අතක යනවා" කියලා. ඒ කතාව අහන් ඉඳලා "මම ඉස්කෝලේ ගියාම අම්මා ගෙදරින් යයිද? මට කාත් කවුරුත් නැති වෙයිද?" මේවා තමයි ඒ දරුවන්ගේ ඔළුවල තියෙන්නේ.

මේ වගේ පීඩා‍ෙවන් ඉන්න දරුවන් සමාජ අපචාර ක්‍රියාවලට යොමු වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. මොකද මේ වගේ පවුල් පරිසරයක ජීවත් වෙන අවුරුදු 12ක 13ක වගේ ගැහැනු දරුවකු දකින පිටස්තර පුද්ගලයෙක් කියන්න පුළුවන් "මට හරි දුකයි නංගි ඔයා ගැන. ඔයාලගේ ගෙදර නිතර රණ්ඩු නේද?" ඉතින් මෙහෙම කතාවක් කියද්දි මේ දරුවෝ ඒ පැත්තට යොමු වෙන්න පුළුවන්. මොකද ඒ දැරිය හිතනවා මෙයා තමයි මට ආදරේම කෙනා කියලා. ඒකෙන් තව ලොකු ඛේදවාචකයක් වෙන්න පුළුවන්. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් ළමයගෙ අධ්‍යාපනය, සෞඛ්‍ය මේ සියල්ලම පිරිහෙනවා. අම්මා ඒ ගෙදර උයන්නේ නැහැ. හොඳ නින්දක් නැහැ. හොඳ වාතාශ්‍රයක් නැහැ. වටේ හැම තැනකින්ම ලැබෙන්නේ ඍණාත්මක ශක්තිය. අනෙක් පැත්තෙන් අධ්‍යාපන මට්ටම අඩාළ වෙනවා. දරුවට පාසලෙන් ගෙදර වැඩක් කරගෙන එන්න දුන්නාම, අම්මාගෙන් ඒකට උදව් ඉල්ලුවම අම්මා නොසලකා හරිනවා නම් එතකොටත් තාත්තත් ඒ විදිහම නම් ළමයගේ අධ්‍යාපනයට මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්.

මට මුණගැහෙනවා හැන්දෑවට බය ළමයි. අපිට හැන්දෑව ලස්සන වුණාට.. එයාලට හැන්දෑව ලස්සන නැහැ. මොකද තාත්තා බීලා ගෙදර එන්නේ ඒ වෙලාවට. පාරවල් දිගේ කුණුහරුප කිය කියා වැටි වැටී ගෙදර ඇවිත් ළමයින්ට ගහනවා.. බිරියට ගහනවා. ඉතින් මේ වගේ පවුල් පරිසරයක් තියෙද්දි ළමයා ලොකු ලජ්ජාවකින් තමයි සමාජයට මුහුණ දෙන්නේ. බය සහ හීනමානය ඔවුන් තුළ ඇතිවෙනවා. ඉතින් මම හැම අම්මා තාත්තා කෙනෙක්ටම කියන්නේ අනාගතයේදී මානසික රෝගයෙක් සහිත දරුවෙකු නිර්මාණය කරන්න අවශ්‍ය නම් ඔයාලා දරුවෝ ඉස්සරහා රණ්ඩු වෙන්න. දරුවෝ ඉස්සරහ රණ්ඩු වෙන එක ඉතාම නරක දෙයක්. දරුවන්ගේ හොඳ පෞරුෂයක් හදන්න නම් දරුවෝ ඉස්සරහා හොඳ ආදර්ශමත් අම්මා තාත්තා කෙනෙක් වෙන්න. මතවාද ඇති වෙන්න පුළුවන්. මතවාද ඇතිවුණාම කරන්න හොඳම දේ කාමරයක් ඇතුළේ දොර වහගෙන දෙන්නා දෙමහල්ලන්ගේ ප්‍රශ්න විසඳගන්න එක. නැත්තම් දරුවෝ නිදිය ගන්න කම් ඉන්න. එහෙමත් නැත්තම් එළියට ගිහින් මුහුදු වෙරළකට, හරි පාක් එකකට හරි ගිහින්, ඔයාලගේ ප්‍රශ්නය හීමිට කතා බහ කරලා විසඳගන්න.

ඊළඟට අනියම් සබඳතා. ඒවත් දරුවන්ට ගොඩක් බලපානවා. තමන්ගේ අම්මට හරි තාත්තට හරි වෙන ප්‍රේමයක් තියෙනවා කියලා තමන්ගේ දරුවො දැනගත්තම මේ දරුවෝ මානසිකව වැටෙනවා. ඒක ආයේ කවදාවත් හදන්න බැහැ. හොඳ කෙනෙක් නම් පවුලක් කඩලා ඉහිරවන්න ළං වෙන්නේ නැහැනේ. ඒක තේරුම් ගන්න බැරි තමන් යහපත් කෙනෙක් නෙවෙයි නිසයි. ගැහැනියක් හෝ පිරිමියෙක් මේ අහිංසක පවුලක් ඇතුළට මෙහෙම එන්නේ ඇයි? ඒක හරියට කල්පනා කළොත් අනියම් සබඳතාවලට යොමු නොවී ජීවත් වෙන්න පුළුවන්.

අපේ හැම ජීවිතයකටම ඉල්ලක්ක තියෙනවා. පවුලකටත් ඒ විදිහේ ඉලක්ක තියෙනවා. පවුලක් පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනේ. ඉඩමක් ගන්න ඕනේ. ගෙයක් හදන්න ඕනේ. ඉතුරුවක් තියෙන්න ඕනේ.

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව