මගේ රත්තරන් දුවේ... ඔයා වරදක් කළා නම් පොඩි දඬුවමක් දෙන්න තිබුණානේ

රමීෂාගේ මව තම දියණියගේ වියෝව ගැන කියන අනුවේදනීය කතාව
නොවැම්බර් 25, 2024

වෙන්නප්පුවේ අහිංසක මල් කැකුළක් වැනි දියණියකගේ හදිසි වියෝව මහපොළොව නොඋසුලයි. මේ සිදුවීම ගැන පත්තිරු සටහනක් තැබීමට පෙර මම එක්වරක් නොව සිය වරක් නැවත නැවතත් සිතන්නට සිදුවෙයි.

මේ අනුවේදනීය වූ සංවේදී සිදුවීම හමුවේ අපට කළ හැක්කේ කම්පා වෙමින් හඬා වැලපී නිහඬව සිටීමද? නැතිනම් සිද්ධියට අදාළ ගුරුවරුන් හට පමණක් චෝදනා කරමින් නීතියෙන් ඔවුන් හට ලැබෙන දඬුවම දෙස බලා සැනසෙන්නටද? මේ සමාජයේ ආදරණීය දරුවන් සිටින මව්පියන් ලෙස වැඩිහිටියන් ලෙස අපට මේ සිදුවීම පිළිබඳ ඊට වඩා බොහෝ ගැඹුරින් සිතන්නට සිදුවෙයි.

සමාජයක් ලෙස අප සියලු දෙනාටම විශාල වගකීමක් ද පැවරෙයි. එය ගුරුවරුන්ට පමණක් නොව දරුවන්ට හා මව්පියන් යන පාර්ශ්ව තුනටම සම වූ ත්‍රිකෝණයක් සේ සබැඳෙයි.

මගේ රත්තරන් දුවේ... අපි කොච්චර අමාරුවෙන්ද ඔයාව ලොකු මහත් කරලා ඉගැන්නුවේ... වැරැද්දක් කළා නම් ගුරුවරුන්ට පොඩි දඬුවමක් දෙන්න තිබුණානේ දෙයියනේ... මගේ සුදු රෝස මල පොඩි පට්ටම් කරලා මේ විදිහට ගෙදර එවන්නද ඉස්කෝලේ යැව්වේ...

මෙලෙසින් තම දියණියගේ නිසල දේහය අසල හඬා වැලපෙමින් ලොවක් අහිමි වූ ලෙසින් කම්පා වෙන්නේ පසුගියදා වෙන්නප්පුව මාටින් ද ෆොරස් මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රමීෂා දිනිති දියණියගේ මව වන ශාලිකා රුවන්දිය.

මේ අහිංසක දියණියගේ අවාසනාවන්ත මරණයට හේතුව වන්නේ ගුරුවරුන් දෙදෙනකු විසින් දඬුවම් කිරීමේ රෝහල්ගත කිරීමෙන් පසු මිය යෑමේ අවාසනාවන්ත සිදුවීමකි.

එසේ තම දියණියගේ වියෝව ගැන දරාගත නොහැකි දුක් කන්දරාව තම සිත පතුළේ සඟවා ගත නොහැකිව ඇය හඬ වැටෙයි. “ඇයි දෙයියනේ... මේ වගේ දඬුවමක් දුන්නේ... මාස තුනක් මොන දුකක්ද මගේ දුව වින්දේ.” ඇය මේ ළැතැවුල් සෝ සුසුම් කෙතරම් ගැඹුරුදැයි පවසන්නට අපට නොහැකිය. මේ අාදරණීය මවගේ සිතේ වූ කම්පනය හා වේදනාව කෙතරම් ගැඹුරු වුවත් මේ සිදුවීම හමුවේ ගුරුවරුන් දුන් දඬුවම පිළිබඳ තක්සේරු කිරීමට අපට හැකියාවක් නොවෙයි. අතීතයේ දරුවන්ට දඬුවම් කිරීම සඳහා ගුරුවරුන් යොදාගත් දඬුවම් ක්‍රම අනුව කිසිම ලෙසකින්වත් මෙවන් ඉරණමක් අත් නොවනු ඇත.

වේවැල් කෝටූ නාරං සියඹලා අතු

කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු
මේ හැම ඉපල් මගේ දෑතට නොපෑ අතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

රමීෂා දිනිති දියණියගේ මව මෙලෙසින් හඬ වැලපෙමින් පවසන්නේ මෙවැනි දඬුවමක් තම සුරතල් දියණියට දෙන්නට තිබුණු බව හැඟීමකින් යුතුව වන්නට ඇත. එහෙත් සිදුවී ඇත්තේ එයට වඩා බොහෝ වෙනස් වූ බරපතළ සිදුවීමකි. ඉකුත් අගෝස්තු මස 09 වැනිදා 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි රමීෂා දියණිය අැතුළු තවත් සිසුවියන් තිදෙනෙක් පාසල ආරම්භ වීමෙන් පසුව පංති කාමරය තුළ නොසිටි බව පවසමින් පංතිභාර ගුරුවරිය විසින් සිසුවියන් තිදෙනාට අතින් පහර දී තිබේ. මේ බව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙන අතර පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ද සිද්ධිය විමසා සිසුවියකට මුහුණට පහරක් එල්ල කර ඇති බව අනාවරණය කරයි. ඉන් පසුව මේ සිසුවියන් පාසලේ මිදුලේ දැඩි අව්රශ්මිය ඇති ස්ථානයක දණ ගස්සවා ඇත. එම අවස්ථාවේ මේ දැරිවිය ක්ලාන්ත වී අැද වැටී තිබේ.

මෙසේ ඇද වැටුණු පසු මෙම ගුරුවරුන් දෙදෙනා දරුවා පංති කාමරය තුළට ගෙන ගොස් බංකුවක් මත තබා දරුවාගේ මව්පියන්ට දුරකතන පණිවුඩයක් යවා ගෙන්වාගෙන තිබේ. පසුව ඇයගේ මව්පියන් දරුවා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිවියගේ රෝගී තත්ත්වය දවසින් දවස අසාධ්‍ය විය. ඉන්පසුව ඇය වහාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබේ. ඇය ජාතික රෝහලේ මාස දෙකක් පමණ ප්‍රතිකාර ලබා එහි වාට්ටුවකට යොමු කරන ලද්දේ යම් සුවයක් ලැබීමෙන් පසුවය. දින කිහිපයකට පසුව ඇය නැවතත් මාරවිල රෝහලට එවීමට වෛද්‍යවරු කටයුතු කර තිබේ. එසේ එවීමෙන් පසු අැයව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම මූලික රෝහලට යොමු කර ඇත. එහෙත් ඇයට මෙලොව රැඳෙන්නට තරම් ඉරණම වාසනාවන්ත නොවීය. ඉකුත් 13 දා අලුයම ඇය සියලුදෙනාගේ දෙනෙත් කඳුලේ ගිල්වමින් මෙලොවින් සමු ගත්තාය.

ඇයගේ මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු සිදු කළ මරණ පරීක්ෂණයෙන් පසු හෙළි වූයේ දැරිවියගේ මස්තිෂ්කයේ නහරයක් පිපිරීම නිසා ඇති වූ අධික ලේ වහනය වීමෙන් සිදු වූ සංකූලතාවක් හේතුවෙන් අැය මිය ගිය බවයි.

මේ සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන පොලීසිය විසින් සිදුවීමට මුල් වූ ගුරුවරුන්ගේ කට උත්තර ද සටහන් කරගෙන තිබේ. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ “මේ සිසුවියන් පළමු පීරියඩ් එකේ විනාඩි විස්සක්ම හිටියේ නැහැ. ඊට පස්සේ ඒ ගැන ඇහැව්වාම තුන්දෙනා කිව්වේ පරස්පර විරෝධි කතාවක්... ඊට පස්සේ තමයි පාදවලට පහරක් ගහලා අව්වේ දණ ගස්සලා තිබ්බෙ...”

මේ පිළිබඳ රමීෂා දියණියගේ මව හැඬු කඳුළින් යුතුව වචන ආවර්ජනය කරයි.

“මේ සිද්ධිය වුණේ අගෝස්තු 09 වැනිදානේ. එදා මට ඉස්කෝලෙන් දුරකතන පණිවිඩයක් ආවා. දුවට ඔළුව කැක්කුමයි එන්න කියලා. මම ගියා. යනකොට දරුවා සිහිය නැතුව ඉන්නවා මම ඇහැව්වා ඇයි කියලා. ටීචර් කිව්වා 'පීරියඩ් එකක් කට් කරපු නිසා දරුවාට පහරක් ගැහැව්වා' කියලා. ඒ වුණාට ඊට පස්සේ සංගීත මිසුත් එයාට ගහලා තියෙනවා. එයාව අව්වේ දණ ගස්සලා තියෙන්නේ ඊට පස්සේ. සිහිය නැතිවෙලා. දරුවා තවත් ළමයි තුන්දෙනෙක් උස්සාගෙන ඇවිත් ඩෙස් එකකට දානකොට දරුවාගේ ඔළුවත් වැදිලා තියෙනවා. මම ඉක්මනට ත්‍රීවිල් එකක දරුවාව මාරවිල හොස්පිටල් එකට අරගෙන ගියා."

අනේ මගේ දරුවා... ඇය නැවතත් වචන අමුණා ගන්නට නොහැකිව හඬා වැටෙයි. "මගේ දරුවා කොළඹ මහා ඉස්පිරිතාලේ මාස ගණනක් දුක් වින්දා... අපි දරුවා බේරාගන්න හැම දෙයක්ම කළා. ඒත් මගේ දරුවා හොරු අරගෙන ගියා වගේ අපිට නැතිවුණා. මම කියන්නේ මගේ දරුවා නැති වුණු එක වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. මගේ දරුවාට වුණු දේ තවත් දරුවෙකුට වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ."

මේ සිදුවීම හමුවේ ගැටලු කිහිපයක්ම නිර්මාණය වෙයි. පාසලක ගුරුවරයෙක් තම සිසුන්ට දඬුවම් කිරීමේදී ගුරුවරයාට තිබෙන සුරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ගැටලුවක් නිර්මාණය වේ. එසේම සිසුවෙක් වරදක් කළ විට දඬුවම් කිරීමට පෙර ගුරුවරයාගේ තමුන්ට ඇති සීමාවන් ගැනද ස්වයං පාලනයක් ඇති කර ගැනීමට සිදුවේ. තවද ගුරුවරයා ලබා දෙන දඬුවමින් දරුවට ඇති කරන බලපෑම හා හානිය ගැන ගුරුවරයා වඩාත් කල්පනාකාරී විය යුතු වෙයි. මේ සීමාවන් තුළ කොටු වී දරුවෙකුට දඬුවම් කරමින් නිසි මඟට ගැනීම තරමක අභියෝගාත්මකය. මේ සිදුවීම හමුවේ දරුවන්ට දඬුවම් කිරීම පිළිබඳව සීමා තහංචි පැනවීම සාධාරණ නොවෙයි. දරුවෙක් කළ වරදකට දඬුවම් කිරීමේදී උපක්‍රමශීලී ලෙසින් එම දරුවාගේ වරදට දඬුවම් කිරීමට ගුරුවරයකු යොමුවීම ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාවය හා නිපුණත්වයයි. එවිට පාසල තුළ ගුරු ගෝල සම්බන්ධතාවය වඩාත් සුන්දර වනු ඇත. එසේම කිසි දිනක පාසල් පද්ධතිය තුළ මෙවැනි අනුවේදනීය සිදුවීම් අපට අසන්නට නොලැබෙනු ඇත.

 

ඡායාරූප

මාරවිල සමූහ

මිහිර විජේකෝන්