සෙනෙහස නොමැත නිම්මා ආදරේ ඇගිලිස් අම්මා..

පිරිමි ගෑනුන්ව සතුටින් තියන්න කොච්චර මහන්සි වෙනවද? මාමා වයසට වඩා වයස වුණේ අපි වෙනුවෙන් ඕනෙවට වඩා වැඩ කරලා
නොවැම්බර් 18, 2024

 

ජීවිතයට අපට මුණගැසුණු මිනිසුන්ගේ ජීවන කතාන්දරයන් නැවත අපගේ ජීවිතයට බොහෝ දෑ ලබාදේ. එසේ හමුවන ඇතැම් සුවිශේෂී මිනිස් චරිත අපගේ සිත්වල නිරතුරුවම ඊයම් බරු සේ කිඳා බසින්නේ ඒ නිසාමය.

අද මතක මඟක් ඔස්සේ ගමන් කිරීමට සූදානම් වන්නේ සංගුමාලවත්ත දෙසටය. සංගුමාලවත්ත කල්පිටියේ සිට මුහුද දෙසට ඇති පටු දිගු මාවතින් අවසන් වන කුඩා ධීවර ගම්මානයකි. මේ ධීවර ගම්මානය තවත් ජනාකීර්ණ වන්නේ එහි දකුණු කෙළවරෙහි පිහිටුවා ඇති ධීවර තොටමුණ නිසාමය. ධීවරයන් බොහොමයකින් සැදුම්ලත් මෙම වරායට දිනපතා පැමිණෙන බෝට්ටු ප්‍රමාණය විශාලය. ඒ නිසාම දිනපතා මේ වැල්ලේ ගැවසෙන පිරිසද විශාලය. මේ සුවිශේෂී ආදරණීය ගැහැනිය සහ ප්‍රේමණීය පිරිමියා අපට හමුවූයේ මේ වැලි තලාවේදීය. මීට වසර දෙකකට ඉහතදී අපට හමුවූ මේ සුන්දර පින්පාට ගැහැනිය අපගේ ජීවිතයට කියාදෙන පාඩම් කිහිපයකි. මෙම කතාන්දරය ඔබට අප කියන්නේ ඒ නිසාවෙනි.

මේ කියන්නට යන ඒ කතාව පටන් ගන්නේ මීට වසර කීපයකට ඉහතිනි. මුලින්ම අප ඒ කතාව අසා සිටිය ‍යුතුය. මේ කතාව අසන්නට නම් අප සුදු වැලි තලාවේ කොනක ඉදිකළ පොල් අතු මාලිගාවේ එළිපත්තේ නිස්කලංක පොල් රුප්පාවේ ඈඳිගත යුතුමය. මේ කතාවේ නායකයා පීටර මාමා වන අතර නායිකාව ඇගිලිස් නැන්දාය.

ඇගිලිස් නැන්දාගේ සහ පීටර් මාමාගේ කුඩා නිවෙස අති පිළිවෙළය. සුපිරිසුදු මෙන්ම සිරියාවන්තය. මීට කලකට පෙර පීටර් මාමා සහ නැන්දා පදිංචිව සිට ඇත්තේ තමාටම හිමි විශාල නිවෙසකය. ඒත් දැන් ඒ ගේ හිමි වෙන කෙනෙකුටය. එසේ වීමට හේතු කිහිපයක් ඇත. ඒවා පිළිබඳ කතාව පසෙක තබා කතාව දැන් ඇසිය යුතුය. ඇගිලිස් නැන්දා කතාව අරඹන්නේ මුහුදු රළ බිඳෙන තාල දෙස බලාගත්වනමය.

 

ඇත්තටම ඒ තමා අපේ ජීවිතේ ගෙවුණු සුන්දරම දවස් ගොඩ. පීටර් එක්ක විවාහ වෙලා අපි පදිංචි වුණේ ආනවාසල කියන ගමේ. ඒ කාලේ අපේ එක්කෙනා මහන්සියෙන්ම වැඩ කළා. ට්‍රෝලර්වල ගිහින් හොඳට සල්ලි හෙව්වා. ධීවර රස්සාවෙන් තමා ජීවිතේ රැක ගත්තේ. සමහර දවස්වල කලපුවේ රස්සාව. මමත් කරට කර උදවු කරනවා. ඔහොම කාලයක් ගතවුණාම ලොකු පුතා හම්බවුණා. ඊට පස්සේ දෙවෙනියා. අපි හරිම සන්තෝෂයෙන් ජීවිතය ගෙවාගෙන ගියා. ගෙදර සතුටින් පිරිලයි තිබුණේ. කිසිම කරදරයක් තිබුණේ නෑ. කාලයක් ගතවෙද්දී රස්සාවෙන් ලැබෙන සල්ලි ජීවත්වෙන්න මදිවුණා. අපි හොඳටම අසරණවෙලා කරකියාගන්න දෙයක් නැතිවුණා. මේ කරදරවලින් මිදෙන්න ණය වුණා. එදා වේලට සල්ලි නැතිවුණාම වටේන් පිටින් ණය ගත්තා. දරුවන්ට කන්න බොන්න දෙන්න මහන්සි වුණා. අන්තිමේ ණය බර එන්න එන්නම වැඩිවුණා. අපිට කියල තිබුණේ ගේ පොඩියක් විතරයි. අන්තිමට අපි මුළු ජීවිතේම දිය කරල හදපු ගේ විකුණල ණය බර හෑල්ලු කරගන්න තීරණය කළා. ඒත් අපිට කියල ආදරණීය ජීවිතයක් තිබුණා. දවසින් දවස අපි පාරට වැටෙන ලකුණු පහළ වුණා. ගමේ ඉන්න බැරිම තැන අපි පාරට ආවා. ඒ ආපු ගමන නැවතුනේ මෙතැන.

ඇගිලිස් අම්මා කහට බැඳුණු ඇඟිලි දෙස බලයි. බිමට බර දෑසෙහි කුඩා කඳුළු කැට කිහිපයක් වැලි තලය මත රූරා වැටෙයි. ඒ පාරක් තොටක් නොමැති කඳුළු කන්ද ඇගිලිස් අම්මාගේ කුඩා එළවළු පාත්තිය දෙසට ගලා යයි.

නැවත කතාව ඇරඹිය යුතුවුවද ඇගිලිස් අම්මාට කෙටිම කෙටි විවේකයක් ලබාදිය යුතුය. ඒ විවේකය අතරද ඇගිලිස් අම්මා මාමාගේ හිස අත ගාමින් සනසමින්

අප මේ කතාව ඔබට කීමට තීරණය කළ ප්‍රමුඛ හේතුව නම් මේ නොබිඳෙන ආදර අන්දරයය. මෙයාට කතා කරන්න, ඇවිදින්න අමාරුයි. ඒක නිසා මම තමා වැඩ පළ කරන්න යන්නේ. හැමදාම උදේට අපි දෙන්න නැඟිටිනවා. පස්සේ දෙන්න එක්ක ටිකක් නිවිසැනසිල්ලේ කතා කරනවා. අපේ ගෙදර කොච්චර පුංචි වුණත් ඒ ගේ ඇතුලේ ලොකු සතුටක් තිබෙනවා. ගෙදර වත්තේ පුංචි ගෙවතුවගාවකුත් අපි හදල තියෙනවා. දෙන්න එක්ක එතනට වෙලා ටිකක් ඉන්නවා.මෙයාට වැඩ කරන්න තරම් දැන් ශක්තියක් නැහැ. ඒක නිසා ගෙදරම තමා ඉන්නේ. ඉස්සර යාළුවන්ට ගොඩක් උදව් කරපු කෙනෙක් මෙයා. මම මොනවහරි කරල එයාව ජිවත් කරවනව". කොච්චර ප්‍රශ්න ආවත් එයාට මම ගොඩක් ආදරේ. ඒක නිසාම තමා නිවිසැනසුමේ ඉන්න මෙතන තෝර ගත්තේ.

ඇගිලිස් අම්මාගේ කතාව සෑම ගැහැනියකටම ආදර්ශවත් බව සිතේ. ඒ වනවිට පීටර් මාමා වයෝවෘද්ධව සිටි අතර මාමාගේ සියලු කටයුතු සිදු කරන ලද්දේ නැන්දා විසිනි. මාමා වත්තන් කර ගනිමින් නැන්දා දිනකට කිහිපවරක් මුහුදු රළ පාගන්නට යයි. කුඩා දරුවකු මෙන් සතුටු වන මාමා දෙස බලා හිනැහෙන නැන්දා පැරණි අතීත රස යස මතක පැස දිගහරී.

" පිරිමි, ගෑනුන්ව සතුටින් තියන්න කොච්චර මහන්සි වෙනවද? මාමා වයසට වඩා වයස වුණේ අපි වෙනුවෙන් ඕනවට වඩා වැඩ කරලා. ඉතින් දැන් මාමව බලාගන්න එක මට අයිති රාජකාරියක්."

එදා නැන්දා එසේ කීවේ මාමාගේ අවුල්ව ගිය හිස සරසමින් ය. හිස අවුල්වුවද මාමාගේ හිත කිසිදු විටෙක අවුල් නොකිරීමට නැන්දා වග බලාගත්තාය. ඒ ආදරය එතරම් විශ්වාසනීය වූ බව එදින අප අත්විඳගත්තේ නැන්දා සහ මාමාගේ නොබිඳෙමින් පිටව ගලන හැඟුම් සමුදායෙනි.

සමහර ගෑනු උදවිය ඉන්නව මිනිස්සු වයෝවෘද්ධ වුණාම පිටුපාල යනවා. ඒත් ආදරේ නිසා මට කොයිම වෙලාවෙවත් එහෙම හිතුණෙ නෑ. එයා කන්න ආස කෑම පවා තාම මම හදල දෙනවා. හැමදාම මට දැනෙන්නෙ අපේ ආදරේ තාම අලුත් කියල. දැන් ඉන්න දරුවෝ ආදරේ ගැන මොනවද දන්නෙ. ඇගිලිස් අම්මා නැවත ලොකු හිනාවක් පා ඇස් ගෙඩි කොස් ගෙඩි තරම් ලොකු කර ගෙන අප දෙස බැලුවාය. එදා ඒ ආදරණීය සිනහවේ බොහෝ දේ ගැබ්ව තිබූ බව අපි දුටුවෙමු.

මේ මතක අහුර ඔබ සමඟ බෙදා ගැනීමට සිත් වුයේ ආදරය පිළිබඳත් ආදරයේ වයස සහ ගෞරවාන්විත බව ගැනත් නැවත නැවතත් ඔබට කීමටය.

ඇගිලිස් අම්මාට සහ පීටර් මාමාට ආදරය හැර ජීවිතයේ කිසිවක් එදා අප හමුවන මොහොත තෙක් ඉතිරිව තිබුණේ නැත. ඉතිරිව තිබුණා නම් ඒ පොල් අතු ඉරුවලින් වටවූ ආදරයේ මාලිගාව පමණක් ය. නමුත් මේ දෙදෙනාගේ උතුරා පිටාර ගලන, හැලෙන, පිරෙන සතුට අප හමුවන මොහොතේද ඔවුන් පළමුව හමුවූ දවසේ මෙන් යැයි කීවේ නැන්දාය. මාමාද ඊට උත්තර දුන්නේ අහිංසක, මනමාල, සුකොමළ සිනහවකින් ය.

මේ දෙදෙනා අපට හමුව දැන් වසර දෙක තුනකට වඩා ඉක්ම ගොස් ය.

මතක මංපෙත අතරින් ඇගිලිස් අම්මාගේ කතාන්දරය ඔබට කීවේ ඇය මට හමුවූ ආදරයේ පූර්වාදර්ශයක් වන නිසාමය. ආදරය, ජීවිතය අත්හැර යන සෑම විටකම මට සිහිවෙන්නේ ඇගිලිස් අම්මාය. පීටර් මාමා වගේම ඒ ආදරණීය සිනා වැහිය. වැහිය නොහැකි ආදර අහසක අපූරු දේදුන්නක සිරියාවමය.

 

ඡායාරූප - සමන්ත වීරසිරි